brand logo

මම හොඳට රඟපාපු නිසා මගේ චරිතෙ දිගට ලියන්න පටන් ගත්තා

06 April 2019

හිමාලි සයුරංගි අද බොහෝ දෙනෙක් හඳුන්වන්නේ උදේනිගේ නමින්. ඒ තරමටම දෙවැනි ඉනිමේ චරිතය ඇය වඩාත් ජනප්‍රිය කළා කිව්වොත් හරි. හිමාලි අද වෙනකොට රටේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුණත් ඇය පටන් ගත්තේ පුංචිම තැනකින්. ‘මං පටන් ගත්ත තැන’ ගැන හිමාලි අපිත් සමග බෙදා ගත්තේ මෙලෙසය. මතකද හා හා පුරා කියලා කැමරාවක් ඉස්සරහ රඟපාන්න පටන් ගත්ත විදිය? මොකද මතක නැත්තේ. ඒක හර්බට් රංජිත් පීරිස් මහත්තයාගෙ නාට්‍යයක්. වාඩිය තමයි නම. එතකොට මගේ වයස අවුරුදු 11 ක් විතර වෙනවා. මේ අවස්ථාව ලැබුණෙත් හරි අහම්බයකින් වගේ. කොහොමද මේ අවස්ථාව ලැබුණෙ කියමුකෝ? සුරංගි රුවන්මලි අක්ක නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණෙ. ඇය රංගන ශිල්පිනියක්. හදිසියේම ඇගේ චරිතෙට නංගි කෙනෙක් ඕන වෙලා තිබුණ. ඇය මගේ අසල්වැසියෙක්. ඉතින් ඒ නිසා ඇවිත් මට කතා කළා. එතකොට මම නිදිලු. මම නිදි අතරෙම ඇවිත් බලලා උදේට එන්න කියලා ගිහින්. ඒ වෙනකොට රඟපාන්න කැමැත්තක් තිබුණද? ඔව්. මට උප්පත්තියෙන්ම රඟපාන්න හැකියාව ලැබිලා තිබුණාද කොහෙද? රඟපාන්න මම හරි කැමැතියි. ඒ නිසා පාසලේ මම නාට්‍යවල පවා රඟපෑවා. ඒ හැම තැනදීම මට මුල් තැන ලැබුණා. ඒ නිසා කැමරාව ඉස්සරහ රඟන්න මට කිසිම අපහසුවක් තිබුණේ නැහැ. මතකද මුලින්ම කියපු දෙබස එහෙම? අම්මෝ මතකයි. මට තිබුණෙ රත්නා සුමනපාල මහත්මියත් එක්ක රඟපාන්න. ඇය මගේ අම්මට තමයි රඟපෑවේ. මට තිබුණේ ඇය එක්ක ලූනු සුද්ද කරන කොටසක්. මේ කතාවේ හැටියට මම හරි කම්මැලියි. අම්මයි, තාත්තයි බෝඩිමක් කරන්නෙ. ඉතින් මේ කෑම කඩේ කන්න මිනිස්සු එනකොට ඉක්මනට උයන්න ඕනි. ඉතින් අම්මා කියනවා, ඔය ලූනු ගෙඩියේ පොත්ත සුද්ද කරපන් කියලා. ඉතින් මම කියනවා පොත්තෙ මොනවද සුද්ද කරන්න තියෙන්නෙ, අම්මා පොත්තත් කනවද කියලා කෑගහන්න තිබුණේ. මම ඒක හොඳට කළා. කොහොම හරි හර්බට් රංජිත් මහත්මය අත්පුඩියකුත් ගැහුවා නැගිටලා. එයාට හිතාගන්න බැරි වුණා මම දෙබස් වරද්දන්නේ නැතිව කොහොමද පළවෙනි පාර කැමරාව ඉස්සරහ රඟපාන්නේ කියලා. ඉතින් මේ ප්‍රතිචාර එක්ක මොකද වුණේ? හර්බට් රංජිත් මහත්මය තිර පිටපත ලියන්නෙ සාමාන්‍යයෙන් සෙට් එකට ඇවිත්. ඉතින් ඊට පස්සේ මාව ඉස්සරහට ගන්න ඕන කියලා මගේ චරිතෙ තව දිගට ලියන්න පටන් ගත්තා. මට මුලින් තිබුණෙ පුංචි කොටසක රඟපාන්න. ඒත් මම හොඳට රඟපාපු නිසා මගේ චරිතෙ දිගට ලියන්න පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ මට ආරාධනා ගොඩක් ලැබුණා, මම භාර ගත්තේ නැහැ. ඉගෙන ගන්න නිසා. ඊට පස්සෙ ආයෙත් සම්බන්ධ වුණේ ​ගොඩකාලයක් ගිහින්. පළමු ටෙලි නාට්‍යය ‘වාඩිය’ වෙනකොට සිනමාව පටන් ගත්ත තැනත් මතක් කරමු? සනත් ගුණතිලක මහත්තයාගේ ‘එකමත් එක රටක’ කියන සිනමා පටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. මල් කෙල්ලෙකුගේ චරිතයක් තමයි කළේ. හැබැයි මුලින් තිරගත වුණෙ සිකුරු හතේ කියන සිනමාපටය. මට හොඳට මතකයි චිත්‍රපටය පටන් ගන්න කොට මුල් නාමාවලියේ දානවා සිනමාවට හඳුන්වාදෙන නිළිය කියලා. මගේ නම, පුංචි කොටසක් තමයි මට කරන්න තිබුණේ. හැමදාම උදේට සනත් ගුණතිලක මහත්තයට මල් දෙන්න. දෙබස් අඩුයි, ඉරියව්වලින් තමයි කරන්න තිබුණේ. ටෙලිනාට්‍ය, සිනමාවට පස්සේ ඔබ වේදිකාවට සම්බන්ධ වෙනවා? මුලින්ම සම්බන්ධ වුණේ ‘මායාදේවි’ වේදිකා නාට්‍යයට. කේ. බී. හේරත් මහත්මයගෙ වේදිකා නාට්‍යයක්. අනු චරිතයක් තමයි මට කරන්න තිබුණේ. ප්‍රධාන චරිතය වුණේ මාධනී මල්වත්ත. ඊට පස්සේ මම ‘දස්කොන්’ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. හැබැයි ඒක ඔස්ට්‍රේලියාවේ විතරයි පෙන්නුවේ. මම රඟපැවේ වේදිකා නාට්‍ය දෙකක විතරයි. මේ හැම රංගනයකින්ම මුලින්ම සම්මානයක් ලබා ගන්නෙ මොන නිර්මාණයටද? සිකුරු හතේ සිනමාපටයට මට හම්බ වුණා, නැගී එන නිළිය කියන සම්මානය. ඒක තමයි මට සිනමා රඟපෑම වෙනුවෙන් මුලින්ම ලැබුණු සම්මානය. ඊට පෙර රයිගම් සම්මානයත් හිමි වුණා, කුසලතා සම්මානයක්. ඒ ‘ඉසුරු ගිරි තරණය’ කියලා නාට්‍යයක් වෙනුවෙන්. දැන් මේ කලා ගමනට කොයිතරම් කාලයක් වෙනවද? මේ වෙනකොට වසර 16 ක් විතර වෙනවා, කලාවට සම්බන්ධ වෙලා. මේ වසර 16 තුළ කලා ලෝකය කොයිතරම් වෙනස් වෙලාද? අද කලා ලෝකය එදාට වඩා වේගවත් වෙලා, හැම විනාඩියක්ම මුදල් කියන තැනට ඇවිත්. ගාමන්ට්වල ටකර්ට් තියෙනවානේ. ඒ වගේ තමයි දැන් කලාවත්.  
 

More News..