brand logo

එයා මගේ අඩුපාඩු සම්පූර්ණ කරනවා

28 January 2019

1. ගෙවුණු අවිවේකී සුන්දර දින කිහිපය ගැන කොහොමද දැනෙන්නෙ? ඒ අවිවේකය තුළ තිබුණේ පරම තෘප්තිකර වෙහෙසක් මිසක් විඩාවක් නෙවෙයි. අපි හැමෝම මාස ගණනාවක් මහන්සි වෙලා සැලසුම් කළ මේ සුදුර්ලභ අබිසෙස් ත්‍රිමංගල උළෙල හරියට මීට කලිනුත් එහෙම මංගල්‍ය තුනක් එකට සිදුවී තිබෙනවා වගේ අති සාර්ථක ලෙස සැලසුම් ප්‍රකාර සැහැල්ලුවෙන් ගලාගෙන ගියා. ඒ සාර්ථකත්වය පිටිපස්සෙ හුඟක් අය හිටියා. ඒ හැමෝම මතක් කරන්න ඕනෙ. ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මේ හැම දෙයක්ම අති සාර්ථක කරගන්න සිරිත මංගල සැලසුම්කරුවෝ විශේෂයෙන් ලසන්ත පීරිස් අයියා ගොඩක් මහන්සි වුණා. 2. විවාහ චාරිත්‍ර සිදු වුනෙ කොහොමද කියමු අපි ජනවාරි 18 වෙනිදා උදේ වරුවේ කඩවත කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ආශිර්වාදකාර පූජා ප්‍රසාදයෙන් බන්ධන වරම් ලත් යුවළ තුන දහවලේදී අපේ ගමේ පැරණිම මෙන්ම ජනප්‍රියතම සම්භාෂණ ශාලාව වන අතුල රෝස් ගාඩ්න්හිදී පෝරුමස්තක වුණා. පල්ලියේ අති විශාල මල් සැරසිලි අපට කරලා දුන්නේ ග්‍රීන්ස් ෆ්ලවර් ආයතනයෙන්. රෝස් ගාඩ්න් එකේ සැරසිලි කලේ ග්‍රෑන්ඩ් ෆ්ලෝරා හි අමල් අයියා. එදා මගේ ඇඳුම් නිර්මාණය කළේ චරිත් විජේසේකර. සාරි සැපයුවේ සරීටා ආයතනයෙන්. මාව හැඩ කළේ චන්දිමාල් ජයසිංහ අයියා. සැලෝන් ලියෝ මනමාල පාර්ශ්වයේ කොන්ඩා සැරසිලි කළා. උඩරට මුල් ඇඳුම් කුලගෙදර ආයතනයෙන්. මනාලයන්ගේ බටහිර ඇඳුම් නාමල් බාලචන්ද්‍රගෙන්. ඊට පස්සෙ 19 වෙනිදා වෙන්නප්පුව ඇවෙන්‍ රා ගංගාරා හෝටලයේදී අපේ හිතවතුන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් වුණා. එය වෙනුවෙන් ඇවෙන් රා ආයතනයේ සභාපති ආචාර්ය දනේශ් ද සිල්වා මහතා සහ වොරන් ඇතුළු කාර්ය මණ්ඩලය සතුටින් මතක් කරන්න ඕනෙ. මහේෂ් බදුරලිය ඇතුළු චමත්කාර ෆ්ලෝරා ආයතනයත්, මේරියන්ස් සංගීත කණ්ඩායමත්, චන්න උපුලී, චන්දන වික්‍රමසිංහ සහ ගයාන් ශ්‍රීමාල් නර්තන කණ්ඩායම් ගෞරවයෙන් මතක් කරන්න කැමැතියි. මේ දවස් දෙකේම ඡායාරූප සහ වීඩියෝ සජීව විකාශය සිදු කෙරුනේ ඩාක් රූම් සහ ස්ටූඩියෝ 3000 අනුග්‍රහයෙන්. 3. ඔයාගෙ ඇඳුම් කවුද නිර්මාණය කළේ මට සාරි, සරීටා ආයතනයෙන් දුන්නා. චරිත් විජේසේකර විසින් තමයි සියල්ල කටුසටහන් අඳිමින් ඩිසයින් කළේ. වර්ණ ගැන සංකල්ප නම් මගේමයි. 4 . මිලාන්ගෙ විස්තර සහ පවුලෙ විස්තර ටිකක් මතක් කරමුද ? මිලාන් ධනංජය සිල්වා වන ඔහු වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ ගුවන් සේවකයෙක්. හරිම නිහතමානී, මිත්‍රශීලී සහ අවංක කෙනෙක්. එයා මං වගේ කලබල නැති නිවුනු චරිතයක්. අප්පච්චියි, අම්මයි හරි ආදරෙයි එයාට. අප්පච්චි එයාට කියන්නෙ "මගෙ රත්තරං" කියලා. එයාගෙ තාත්තා නැතිවෙලා, වසර 2ක්. අම්මා සහ අක්කලා දෙන්නා තමයි ඉන්නේ. අක්කලා සුභා සහ ජනිතා ඒ දෙන්නම පුද්ගලික ආයතනවල විධායක ශ්‍රේණියේ රැකියාවන්හි නිරත අය. එයාලගේ දෙදරුවන් සිතුප, ලීනාදි සහ මස්සිනා රොහාන් අයියා අපි හැමෝම එකට ඉන්නෙ. මට හැමෝම හරි ආදරෙයි. 5. අලුතෙන් පදිංචි වෙන්නෙ වෙන්න හිතන් ඉන්නෙ කොහෙද මාධවි ? මිලාන්ගෙ ගෙදර රාගම තියෙන්නෙ ඉතින් එහේ නවතිනවා. අපේ ගෙවල්වලට හුඟක් කිට්ටුයි. 6. ගෙදර මල්ලිලා, නංගිලා, අම්මා, අප්පච්චි නැතුව පාළු නැද්ද? එයාලා නැත්තේ නෑනේ. අපි දිනපතාම වගේ එහෙත් යනවා ඒ නිසා ලොකු පාලුවක් නැහැ . 7. රසට උයන්න පුළුවන්ද මාධවීට, මිලාන් කන්න කැමැති මොනවද වැඩිපුරම ? ඔව් මම පොඩි කාලෙ ඉඳලා උයන්න කැමැතියි. අප්පච්චි කියන්නෙ මට ආච්චි අම්මා කෙනෙකුට වගේ ඉවමන පිහිටලා තියෙනවා කියලයි, අත්ගුණයෙන්. හැබැයි මිලාන් කැමැතියි පැණිරස කෑමවලට. තව රසට හදන ඕනම කෑමකට එයා කැමැතියි. මමත් ගෙදර එක එක කෑම ජාති හදනවා. ටෝෆූ බටර් මසාලා, චීස් කොත්තු, තායි ස්වීට් ඇන්ඩ් සවර් චිකන්, ස්පිසි ගාලික් බ්‍රෙඩ්, තායි නූඩ්ල්ස්, බුරියානි වගේ දේවල්වලට තමයි එයා කැමැති. 8. සැමියා මිලාන් ගැන දෙයක් කිව්වොත්? අප්පච්චි, මල්ලිලා ළඟට මාව හොඳින්ම තේරුම්ගත්තු පිරිමියා. එයා මගේ අඩුපාඩු සම්පූර්ණ කරනවා. 9. ජීවිතෙ හැමදෙම වෙන්නෙ හොඳට. මේ ගැන මාධවීගෙ තියෙන විශ්වාසය ගැන කිව්වොත්? ජීවිතේ හැමදේම තීරණය වෙන්නෙ අපි කරපු හොඳ නරක අනුව. මම කර්මය තදින්ම විශ්වාස කරනවා. මම කාටවත් වරදක් කළේ නැත්නම්, මට වරදින්නේ නෑ. පිරිසිදු හිතින් පතන දේ ලැබෙනවා. අපි ලොකූ සැලැස්මක කොටසක්. ඒක ළඟ රූපයේ නොපෙනුණත් දුරු රූපයේදී පැහැදිලිව පේනවා. සුබවාදීව, ආත්ම ගෞරවය සහිතව හොඳ නරක අවබෝධයක් ඇතිව ජීවත් වෙනවා නම් ජීවිතේ රසවත් වෙනවා.   උපුලි පුන්සරා
 

More News..