brand logo

මම මගේ පවුල් ජීවිතයෙදී ඇයව අනුගමනය කරනවා

28 December 2018

දේදුනු ආකාසේ සිනමා පටයෙන් රිදී තිරයට පෑයූ චූලක්ෂි රණතුංග සිනමා නිළියක් පමණක් නෙවෙයි පාසල් වියේ සිට ජාත්‍යන්තරය දක්වා ගිය බාස්කට් බෝල් ශුරියක්. එමෙන්ම චූලක්ෂි ලක් රෑ රුජින කිරුළටද හිමිකම් කියු තරැණියක්. මේ හැම දෙයක් අතරින් නිරූපිකාවක ලෙසද ඉදිරි ගමනක් ඇති ඇය තමන්ගේ දිවියේ හොඳම යෙහෙළිය ලෙස කතා කරන්නට තෝරාගත්තේ ඇගේ පාසලේ සිටි වැඩිහිටි සොහොයුරියකයි. ඇය මධුෂා අමරසිංහ. මධුෂා ගැන කතාකරන්න පෙර චූලක්ෂි තම මිතුරු මිතුරියන් ගැන විශේෂ සටහනක් තැබුවා. මම පාසල් නොවාසිකාගාරයේ හැදුන ගැහැනු ළමයෙක්නේ. ඒ නිසා මට හොඳම යෙහෙළියන් පොකුරක්ම ඉන්නවා. එයින් එක්කෙනෙක් තෝර ගත්තොත් ඒක අනිත් අයට කරන අසාධාරණනයක්. ඇත්තම කතාව කියනවා නම් මම අදටත් පෙම්වතියක් නෙවෙයි. මේ වයසට පෙම්වතියක් විදිහට ගෙවිය යුතු මං, මගේ යෙහෙළියන් එක්ක විනෝදයෙන් ගත කරන නිසා ඒ අඩුව, පාළුව දැනේන්නේ නැහැ. මධූෂා අමරසිංහ එයා ව්‍යාපාරික කාන්තාවක් එයා අපේ පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක්. අපේ පාසලේ බාස්කට් බෝල් කණ්ඩායමෙහි කැපී පෙනෙන ක්‍රීඩිකාවක්ව හිටිය කෙනෙක්. මමත් බාස්කට් බෝල් ක්‍රීඩාව සමග පාසල් විය ගෙවූ කෙනෙක්නේ. පාසලේ බාස්කට් බොල් ක්‍රීඩිකාවක් විදහට මධූෂා අක්කව මම දැනගෙන හිටියට අපි අතරේ ඇසුරක් නම් තිබුණේ නැහැ. අපි හොඳම මිතුරියන් වෙන්නෙ මෑත කාලයෙයි. මම බාස්කට් බෝල් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමට යෑමත් නිරූපණ ක්ෂේත්‍රයේ මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කිරීම, රංගනයට පිවිසීම යන මේ සියලු කාරණාවන්වලදී අපේ පාසලේ කෙනෙක් විදිහට මට කතා කරලා සුබ පැතුවා. එයා මා ගැන සතුටු වන බව පවසා සිටියා. මට ඉදිරියට යන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මම මධූෂා අක්ක තුළින් දකින හොඳම ගුණාංගය තමයි කාන්තාවක් විදිහට ඇය ඇගේ පවුල් සංස්ථාව සාර්ථකව පවත්වාගෙන යන ආකාරය. ඒ වගේම එයා සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. බිරිඳක්, මවක් විදිහට වගේම ව්‍යාපාරික කාන්තාවක් විදිහටත් එයා ජිවිතය කළමනාකරණය කරගන්නා ආකාරය හරිම විශිෂ්ටයි මධුෂා අක්කා හොඳ බිරිඳක්, මවක්, හොඳ ශිෂ්‍යාවක් ක්‍රීඩිකාවක් ඔය හැම චරිතයකම ඇය හරිම සාර්ථකව කරන කෙනෙක් සමහර වෙලාවට අපේ යාළුවො අහනව අක්කා කෙහොමද මේ කටයුතු මේ තරම් කරගෙන යන්නෙ කියලා. එයා නිතරම මට උපදෙස් දෙනවා. එයින් වටිනාම උපදේශය තමයි තමන් කරනා දේ හරියට කරන්න සහ පටන් ගත්ත දෙයක් අතරමග නතර නොකර අවසානය දක්වාම සාර්ථකව කරගෙන යන්න කියලයි. අපි හැම දෙයක්ම ලබා ගන්නේ දුෂ්කරතා මධ්‍යයේයි. ඒ නිසා ඒ ලබාගත් දේවල් රැකගන්න කියලයි එයා මට කියන්නේ.. තවම මම එයාව අනුකරණය කරලා නැහැ. ඉදිරියෙදී මම මගේ පවුල් ජීවිතයෙදී ඇයව අනුගමනය කරයි කියලා මම හිතනවා. අද අපි මොන ක්ෂේත්‍රයේ හිටියත් ඉදිරි දවසක මම කාන්තාවක් විදිහට පවුල් ජීවිතයට ඇතුළු වෙලා මවක් වුණාමනේ පරිපූර්ණ කාන්තාවක් වෙන්නේ. විවාහ වෙලා දරුවො හදලා මමත් සාර්ථක කාන්තාවක් විදිහට දිවි ගෙවන්න බලාපොරොත්තු වෙනවා. එදාට මධුෂා අක්කා මට ආදර්ශයක් වේවි. මම එයාව අනුකරණය කරාවි කියලා මට හිතෙනවා. යාළුවන්ට මම හරිම අවංකයි. ඒ ගතිගුණය මධූෂා අක්ක තුළත් මම දකිනවා. මගෙන් වරදක් වුණොත් අක්කා මම මේ දේ කළ කියලා මම එයාට කියනවා. එයා ඒක අහගෙන ඉඳලා එතැනදී ඒ වෙනුවෙන් මම කටයුතු කළ යුත්තේ කොහොමද කියලා මට කියලා දෙනවා. හැබැයි එයා ව්‍යාපාරික කාන්තාවක් විදිහට දරුවො දෙන්නගේ කටයුතු එක්ක හරිම කාර්යබහුලයි. අපිට හැමවෙලාවෙම කතා කරන්න මගේ හැම දෙයක්ම එයාට කියන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි මගේ ජීවිතයේ කාගේ හරි අවවාදයක් ඕනෑම තැනකදී මම එයාට කතා කළොත් කියන්න නංගි කියලා මට සවන් දෙන්න ඇය සූදානම්. ඒක මට හරියට වටිනවා. එයා මං ගැන සතුටු වෙන්නේ ක්‍රීඩිකාවක් ලෙස හිටපු කෙනෙක් විදිහට මම අද ඉන්න තැන ගැනයි ක්‍රීඩාවට හාත්පසින්ම වෙනස් තැනක ගිය එක ගැනයි. අපි අතර තියෙන්නේ මිත්‍රත්වයක් විතරනේ. ඇය මගේන් ලැබෙන කිසිම ප්‍රතිඋපකාරයක් ගැන නොහිතාම මට කරන උදව් ගැන විස්මයට පත්වෙන අවස්ථා තියෙනවා. මෙහෙමත් හොඳ මිනිස්සු ඉන්නවද කියලා. මධුෂා අක්කා කියන්නේ තීරයෙන් පිටුපස ඉඳන් කිසිම ලාභයක් අපේක්ෂා නොකර මට උදව් කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් මතු සසරේ මගේ සොහොයුරියක් වෙනවටමයි මම කැමැති. අපි තරහ වෙන්නේ නැහැ. එයා වැඩිහිටි කෙනෙක්නේ. මම එයා එක්ක තර්ක කරන්න යන්නේ නැහැ. මම එයාට ගෞරව කරනව. හැම වෙලාවකම මම එයාගේ හිත රිඳවන්නේ නැතිව ඉන්න උත්සාහ කරනවා.. එයා මට දුන්න දෙයක් මිල කරනවට වඩා ඇගෙන් මට ලැබෙන හිතවත්කම එයා දෙන අවවාද මට වටිනාම දේවල් කියලයි මම හිතන්නේ. එයා කියන දේවල් ආදර්ශයට අරන් මම ජීවිතය තැනකදී හදාගන්නවා නම් එයා සතුටු වෙනවා ඇති. මම හිතනව එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ගත් එයයි කියලා. ඒ හැර කිසිම දෙයක් මම ඇයට දීලා නැහැ. එයාගේ ප්‍රාර්ථනාව තමයි දරුවන්ගෙ සියලුම වැඩ අවසන් කරලා විදේශ ගතවෙන එක. හැබැයි මම ප්‍රාර්ථනා කරනවා එයාට මෙහෙම ඉන්න ලැබෙන්න කියලා. මොකද එයා මෙහෙ නැතිවුණොත් මට ගොඩක් දුක හිතෙයි. එයා මගේ හොඳ යාළුවෙක්නේ හැබැයි ඒක එයාගේ බලාපොරොත්තුව, සතුට නම් එක් ඉටු වෙන්න කියලා මම එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. සුරංජි පතිරණ  
 

More News..