brand logo

සුන්දර පුංචි රෝමය (මීගමුව)

27 December 2018

මීගමුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් ඇති ප්‍රධාන වාණිජ නගරයකි. මීගමුව එහි විශාල සහ පැරණි, කාර්බහුල මාළු වෙළඳසල්වලින් පිරි ධීවර කර්මාන්තය සහ මනස්කාන්ත වැලි සහිත වෙරළවල් සඳහාද ප්‍රසිද්ධය. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත මීගමුව නවීන ජීවන ක්‍රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි. මී පිරුණු නගරය, මී ගොමුව , ලෙස ප්‍රකටව පැවති මීගමුව නගරය පෘතුගීසි සමයේ "නිගම්බෝ" යන ඉංග්‍රීසි නමින් අරුත් ගැන් වුවද, එය අර්ථාන්විත නමක් නොවේ. කළපු මෝය ඉවුරුබඩ පිහිටා ඇති මීගමුව නගරය පෘතුගීසි හා ලන්දේසි සමයන්හිදී වෙළඳ තොටුපළක් ලෙස ප්‍රචලිතව පැවති අතර, දැනට එහි පිහිටීම ගුවන් තොටුපළට ඉක්මනින් ළඟා විය හැකි ලෙස පිහිටා තිබේ. 1672 දී ලන්දේසින් විසින් නිම කරන ලද පැරණි ඕලන්ද කොටුව දැනට මීගමුව බන්ධනාගාරය ලෙස පවත්වා ගෙන යන අතර, ඕලන්ද ජාතිකයින් විසින් ප්‍රවාහන මාර්ගයක් ලෙස පවත්වා ගෙන ගිය ඕලන්ද ඇළ, පැරණි දේවස්ථාන හා ධීවර ගම්මාන නගරයේ ආකර්ෂණීයත්වය වැඩි කිරීමට දායක වී ඇත. නගරය හරහා ගලායන කි.මී.100 ක් පමණ දිගැති ඇළ මාර්ගය නගරය නැරඹිමට කැමති සංචාරකයින් සඳහා මනහර දසුනක් මවා පායි. මීගමු‍ව සිට කොච්චිකඩේ දක්වා දිවෙන මාර්ගයෙහි අත්කම් භාණ්ඩ හා ආභරණ වෙළද සැල් මෙන්ම සංචාරක නි‍කේතන හා අන්තර් ඡාල සේවා මධ්‍යස්ථානද සංචාරකයන් සඳහා දිවා රාත්‍රී විවෘතව පවති. ‍‍ මනහර වූ මීගමු වෙරළ තීරය සාමාන‍්‍යයෙන් සංචාරකයින් බහුල ප්‍රදේශයක් නොවූවද, සංචාරකයින් තමන්ගේ සංචාරයේ අවසාන දින කීපය මීගමු නගරයේ සංචාරය සඳහා යෙදවීම‍ට අමතක නොකරති. එය මීගමු වෙරළින් එහි ජනයාට සැලසෙන කදිම වාසියකි. කෙසේ වුවද වසරින් වසර එහි සුන්දරත්වය සංචාරකයින් සඳහා වැඩි දියුණු වෙමින් පවතිනු ඇත. මෙම වෙරළ තීරය ධීවරයින් බහුලව භාවිතා කළද එහි සුන්දරත්වය පවත්වා ගැනීමට එම වෙරළ අවට ඇති සංචාරක හෝටල පාලකයින් වගබලා ගෙන ඇත.එම සංචාරක හෝටල් මඟින් හා ‍පෞද්ගලික ව්‍යාපාරිකයන් මෙම මුහුදුතීරය යොදා ගෙන සංචාරකයන් සඳහා ‍කිමිදුම් මෙන්ම සර්ෆ් ක්‍රීඩා සඳහාද පහසුකම් සපයයි.එම ජල ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානද ඒ අව‍ට පිහිටා ඇත. රෝමානු කතෝලිකයින් බහුතරයක් වෙසෙන මීගමුව නගරයේ කතෝලික දේවස්ථාන රාශියක් පිහිටා ඇත. එම නිසා මීගමු නගරය පුංචි රෝමය ලෙසද ප්‍රචලිතය. එහි පෘතුගීසි හා ලන්දේසි සමයන් තුළ සාදන ලද දේවස්ථාන රාශියක් ද පිහිටා ඇත.එයට අමතරව ‍බෞද්ධාගමිකයන් , හින්දු ආගමිකයන් හා අනෙක් කිතුනුවන් ඵනම්, ජෙහෝවාගේ සාක්ෂිකරුවන්, ඒ.ඕ.ඡි, එල්.ඩී.එස්. යන ආගමිකයන් සඳහා ද දේවස්ථාන පිහිටා ඇත. වෙරළ කලාපය නමින් ප්‍රචලිත මීගමු වෙරළ තීරය අවට සංචාරක හෝටල් , නවාතැන් හා රාත්‍රී සමාජ ශාලා බොහොමයක් පිහිටා ඇත.මේ අතරින් රෝඩීයෝ,බ්‍රවුන්ස් සහ කැම්ලොට් වඩාත්ම ප්‍රචලිත සංචාරක හෝටල් කීපයකි.
 

More News..