brand logo

අපෙ වටිනාකමට ගැළපෙනව නම් දවසෙ ගෙවීම් වුණත් කමක් නැහැ

19 December 2018

පුංචි තිරයේ අතිශය ජනප්‍රිය, චරිතයක් වන ඕෂධී හේවාමද්දුම හැමදාමත් කතාබහට ලක්වුණ චරිතයක්. රංගන ශිල්පිනියක ව්‍යාපාරිකාවක සමාජ සේවිකාවක, රූ රැජිනක ලෙසින් සාර්ථකත්වයට පත්ව සිටින ඕෂධී ආදරණීය බිරිඳක හා මවකද වනවා. සිය දෙවන දරු ප්‍රසූතිය වෙනුවෙන් ටික කලකට රංගන හා සමාජ කටයුතුවලින් දුරස්ව සිටි ඇය නැවතත් කරළියට පැමිණ සිටිනවා. ඕෂධී ටෙලි නාට්‍ය රංගනය යම් දුරකට සීමා කරලද? මේ වෙද්දී මම ටෙලි නාට්‍ය හැට ගාණක රඟපාලා තියෙනවා. නමුත් සිනමාවට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙන්නෙ අඩුවෙන්. චිත්‍රපට දහයක විතර රඟපාලා තියෙන්නේ. ඒ නිසා සිනමාවට සම්බන්ධව වැඩ කරන්න වැඩි කැමැත්තක් තියෙනවා. අනිත් කාරණය දැන් හැදෙන ටෙලි නාට්‍යවල ප්‍රමිතිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ටෙලි නාට්‍යයක් භාරගනිද්දි එහි ගුණාත්මක බව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. ඔබත් මෙගා නාට්‍ය වර්ජනය කරනවද ? මෙගා ටෙලිනාට්‍යයක්ද කොටස් අඩු ප්‍රමාණයක ටෙලි නාට්‍යයක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය. නිර්මාණයේ ගුණාත්මක භාවයයි, කොටස් අඩු ප්‍රමාණයකින් යුතු සමහර ටෙලිනාට්‍ය හොඳ මට්ටමක නැහැ. ඒ වාගේම ඉතා හොඳ මට්ටමේ මෙගා නාට්‍ය තියෙනවා. ටෙලි නිළියක ලෙස දෛනික ගෙවීම්වලට ඔබත් එකඟද? අපි ආපු මුල් කාලේ දවසෙ ගෙවීම් නෙවෙයි තිබුණේ. ඒත් ක්ෂේත්‍රයේ හැම අංශයකම වෘත්තිකයන්ට දවසේ ගෙවීමටයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. එතැනදී අපි දැනගන්න ඕනෑ. අපේ වටිනාකමට ගැළපෙන ගාණක් ගන්න. කොහොමටත් මගේ වටිනාකමට සරිලන ගෙවීමක් ලැබෙනවා නම් විතරයි මම නාට්‍ය භාරගන්නේ. ඕෂධී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එක ඇත්තද ? මම ජන්දෙ ඉල්ලනව. හැබැයි මේ පාර නෙවෙයි, කවදාක හෝ ඒක සිද්ධ වෙයි. මේ එ්කට අවස්ථාව නෙවෙයි. පවතින තත්ත්වය තුළ දේශපාලනය ගැන ජනතාවගේ පැහැදීම නැතිවෙමින් පවතින බවකුයි මට හැඟෙන්නේ. අනාගතයේ මම වගේම තරුණ පරම්පරාවක් දේශපාලනයට එන්න ඉදිරිපත් වෙයි. මේ පවතින තත්ත්වය වෙනස් කරන්න. රංගනයෙන් ලද ජනප්‍රියත්වයද දේශපාලනයට එන්න හේතු වුණේ? දේශපාලනය කියන එක මම මෑතකදී සම්බන්ධ වුණ දෙයක්. ඊට කලින් මම සමාජ සේවා කටයුතුවල යෙදිලා හිටියා. ඉස්සර ඉඳන්ම මම කැමැතියි මිනිස්සුන්ට උදව් කරන්න. මම මහා සල්ලිකාරයෙක් නෙවෙයිනේ. කවදත් මම ඒ දේවල් මට හැකි පමණින් කළා. පස්සෙ කාලෙක මට හිතුණ දෙයක් තමයි දේශපාලනය තුළින් මට වැඩි පිරිසකට උදව් කරන්න පුළුවන් කියලා. මම ඒ අරමුණ ඇතිවයි. දේශපාලනය කරන්න එන්නේ. දෙශපාලනයට වගෙම රූ රැජින තරගයටත් හෙතුවක් තියෙනවද ? මම රූ රැජින තරගයකට නම් යන්න හිතාගෙන හිටිය දෙයක් නෙවෙයි. ඒත් ගොඩක් අය ඇහුවා. ඒකත් එක්ක එහෙම දෙයකට ගියොත් හොඳයි කියලා මගේ යටිහිතේ සිතුවිල්ලක් අැතිවෙලා තිබුණා. හැබැයි මම මේකට පරක්කු වැඩියි කියල, මගේ පුතාටත් ඒ වෙද්දි අවුරුදු පහක්. ඔය අතරේ තමයි ලෝක විවාහක රෑ රැජින තරගයට මට ඇරයුමක් ලැබුණේ. මේ තරගය හරහා ඵලදායි දෙයක් අත්පත් කරගත්තා කියා ඔබ විශ්වාස කරනවද? එම තරගයේ වැදගත් කිරුළු දෙකක් මට හිමිවුණා. ඒ තමයි ජනප්‍රියතම කිරුළ හා මිස් ටැලන්ට් කිරුළ යන දෙකම. මට කොහොමටත් ජයග්‍රහණයක් ලබනවට වඩා ඒ අත්දැකීම ලබා ගැනීමයි වැදගත් වුණේ. රූ රෑජින තරගයෙන් පසු දෙවන වරටත් මව් පදවිය ලබන ඔබ,ආයෙ වැඩ පටන් ගත්තද ? ඔව් මට දැන් චූටි දුවෙකුත් ඉන්නවා. දුව ලැබුණට පස්සෙ නැවතත් වැඩ පටන් ගත්තා. පහුගිය දවස්වල මම ශ්‍රී ශ්‍රද්ධා චිත්‍රපටයේ ලෝකිතා බිසවගේ චරිතය රඟපෑවා. ඉදිරියේදි මම රඟපාපු සුදු සමනලී,වගෙම හවුස් යන චිත්‍රපට දෙකකත් ටෙලි නාට්‍ය අටක පමණත් රසිකයන්ට දැකගන්න ලැබෙයි. එ කියන්නෙ ගොඩක් කාර්ය බහුල වෙලා නෙද ? අපේ කාන්තාවෝ ගොඩක් වෙලාවට දරුවෝ හදලා පවුලේ වැඩ කරද්දී, අනිත් දේවල් අතහැරලා පවුලට කොටු වෙනවා. එහෙම නැතිනම් වෘත්තීමය දේවල් කරද්දි පවුලේ දේවල් අඩු කරලා වෘත්තියට කොටු වෙනවා. මම කාන්තාවක් විදිහට කියන්නෙ, අපි මේ හැම දෙයක්ම සමගින් ඉදිරියට යා යුතුයි කියලයි. කාලය ඇතිද මෙ හැමදෙම කරගන්න ? කාලය කළමනාකරණය කරගත්තොත් කරන්න බැරි දෙයක් නැහැ. පොඩි කාලේ ඉඳන්ම මම වැඩ ගොඩක් කරපු කෙනෙක්. ඒ කාලෙත් මම කාලය කළමනාකාරණය කරගෙන මගේ වැඩ හැම දෙයක්ම කරනවා. අදටත් ගෘහණිය, බිරිඳ, මව යන භූමිකා තුළ මගේ සැමියට, දරුවන් දෙදෙනට ඉටුවිය යුතු යුතුකම් සියල්ල මම මගේ දෑතින් කරනවා. මගේ ගෙදර සේවිකාවක්වත් නැහැ. මගේ දෙමව්පියන් හා සැමියගේ නැන්දා අපිට උදව් කරනවා. සුරංජි පතිරණ  
 

More News..