brand logo

අපි කවදාවත් එකිනෙකාට දොස් පවරාගෙන නැහැ

06 December 2018

හිමායා බණ්ඩාර කියන නමට වඩා ඇය ගැන හඳුන්වන්න ගැළපෙනම නම සොනාලි ටීචර්. දෙවෙනි ඉනිම ටෙළි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක සිත් තුළ නවාතැන් ගත් හිමායා බණ්ඩාර ඇගේ ජීවිතයේ සමීපවන්තිය එහෙමත් නැත්නම් අඹ යාළුවා ගැන කිව්වෙ කව්රුත් නොකයූ කතාවක්. ජීවිතය කියන්නේ ඔබට එකක්, මට තවත් එකක්, තවකකුට තවත් දෙයක්. ජීවිතය අපි හැමෝටම සමානව හැමදේම තිළිණ කරන්නෙ නැහැ. ඕනම දෙයක් අපේ ජීවිතවල හැමදාමත් පවතින්නෙත් නැහැ. මේ කියමනට අපුරු සාක්ෂිය තමයි අද හිමායා අපට පවසන ඇගේ මිත්‍රත්වයේ කතාව. ජීවිත කාලයේ යම් යම් කාල සිමාවන්වල මට හොඳම යාළුවෝ කියලා අය ඉඳලා තියෙනවා. හැබැයි දැන් එහෙම අය මගේ ජීවිතයෙ නැහැ. අපි යාලුකම් ඇතිකරගන්නේ මිනිස්සු ඒක්කනේ. මිනිස්සු කියන්නෙ වෙනස්වෙන කොටසක්. මිනිස්සු වෙනස් වෙන කාලෙන් කාලෙට හොඳම යාලුවෝ මාරු කරන්න බැහැ. ඒ නිසා මේ වෙද්දි මම මගේ ජීවිතයේ හොඳම යාලුවා කියන අනුවර්ථ නාමය කාටවත් දීලා නැහැ. නමුත් මගේ හදවතින්ම මගේ හොඳම යාළුවෙක් කියලා මම පිළිගත්ත කෙනෙක් හිටියා. ඒක යාළුකමකටත් වැඩිය ​ලේ ඥාතිකමක්. සහෝදර බැදීමක් වගේ සමීප කමක් අපි අතරෙ තිබුණා. ඇය සුලේඛා ජයවර්ධන. ඇය වෘත්තීය රංගන ශිල්පිණියක්. යම් යම් හේතු කාරණා නිසා අද අපි දුරස් වෙලා තියෙනවා. හැබැයි මගේ හදවතේ එයාට දීපු හොඳම යාළුවා කියන තැන, තවමත් එහෙමම තියෙනවා. එයාව මට අඳුරගන්න ලැබෙන්නේ දේදුන්නයි ආදරේ කියන ටෙළි නාට්‍යයේ අපි දෙන්නම රගපාන කාලේ. ඒ හමුවීමෙන් ඇතිවුන හැඳුනුම් කම හොඳම යාළුවෝ කියන තැන දක්වාම යන්න හේතුව වෙන්නෙ, එයා මට හරිම ආදරෙයි. ඒ කියන්නෙ අපි කාට හරි අපේ ජීවිතයේ හොඳම කෙනා කියල තෝරාගනිත්දී, එයා අපේ ජීවිතවල කොතරම් ළඟින් ඉන්නවද කියල බලනවනේ. අපි හොඳම මිතුරින් විදිහට ඉන්න කාලේ මට පුළුවන් විදිහට සුලේඛාගෙ ප්‍රශ්නවලදි මම ඉඳලා තියෙනවා. මගේ ප්‍රශ්නවලදී එයා මගේ ළඟ ඉඳලා තියෙනවා. ඒ දේ තමයි අපි හොඳම යාළුවො විදිහට බැඳෙන්න හේතුව. එයාගෙ දුර්වල කමක් තිබුණ නම් ඒ තමයි එයා හිටි ගමන් අතුරුදහන් වෙන එක. එයා ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියල මට දැනගන්න පුළුවන් සිමාවෙන් දුරස් වෙන එක. හැබැයි මොන දේ වුණත් අපේ බැඳීම අද දුරස් වෙලා තිබුණත්, මම ප්‍රාර්ථනා කරන්නේ එයා ලෝකයේ කොහේ ජීවත් වුණත් එයාට එයා බලපොරොත්තු වෙන ජීවිතය හා සතුට විතරක්ම දෙන්න කියලයි, මම එයා වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ. හදවතින් මනුස්සයෙක් එක්ක බැඳුනම ඒ බැඳීම් සදාකාලිකයි. අපේ පෙම්වතා පෙම්වතිය අපේ ජීවතවලින් දුරස් වෙන්න පුළුවන්. හොඳම යහලුවා යෙහෙළිය කවදාවත් හදවතින් යන්නම යන්නෙ නැහැ. ඒ මිත්‍රත්වයේ මතකය හැමදාටමයි.’ මතු ආතමයකදිත් සුලේඛා මගේ මිතුරිය වෙලා හමුවෙනවට වැඩිය මගේ සහෝදරිය වෙලා හමුවෙනවටයි මම කැමැති. සුලේඛා මට හොඳ මිතුරියකටත් වඩා හොඳම සහෝදරියක් වෙලා හිටියා. එයාගෙන මට ලැබුණ වටිනාම දේ මේ යැයි කියන්න බැහැ. එයා මට හැමදාම දුන්නේ වටිනා දෙවල්. එයා මට ටොපියක් දුන්නත්, සුවද විලවුන් එකක් දුන්නත්, ඇඳුමක් දුන්නත් ඒ හැම දෙයක් තුළම මට ලොකු වටිනාකමක් තියෙනවා. එයා මගේ දැක්ක දුර්වලකම හා මට නිතරම අවවාද කළ දෙය තමයි ‘‘හිමායා ඇයි ඔයා ඔච්චර මොඩ’’ කියලයි. එයා මාව දකින්නෙ මම මිනිස්සුන්ට හිත හොඳකම පෙන්වන්න ගිහින් කරදරේ වැටෙන කෙනෙක් විදිහටයි. එයා කිසිම තැනක සංවේදීව හැසිරෙනව, හඬනවා, සැලෙනව මම දැකල නැහැ. සමාජයෙදි එයා ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්. එයා ගොඩක් ආසයි රට රටවල ඇවිදින්න. දැන් අපේ මිත්‍රත්වය නැතිවුණත් පේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මම දකිනව එයා යුරෝපීය රට රටවල ඇවිදිනවා. ඒ හැරුනම එයා ලෝකය පුරා ඇති උසස් වෙ​ළෙඳ නාමවලින් තියෙන භාණ්ඩ මිලදී ගන්න ආසයි. තව එයා විනෝදාංශයක් විදිහට විවිධ සුවඳ විලවුන් වර්ග එකතු කරනවා. සුලේඛා ට හොඳට රගපාන්න පුළුවන් එයාට හොඳට දෙබස් මතක තියෙනවා. එයා ජීවිතය හරියට කළමණාකරණය කරමින් ඉදිරියට යන්න දක්ෂ කෙනෙක්. මගේ හොඳම මිතුරිය ලෙස මා ළඟින් ඉඳිද්දී ඇය මගේ රංගනය අගය කරලා තියෙනවා. එයාට වඩාත්ම මාව ප්‍රියවීමට හේතුව විදිහට මම හිතන්නේ අපි ඇසුරු කරපු කාලේ සහෝදරියක් විදිහට යෙහෙළියක් විදිහට මම එයාට දුන්න ආදරය, සෙනෙහසයි. අපි කවදාවත් එකිවෙකාට දොස් පවරගෙන නැහැ. ඒ දවස්වල මම තවත් යාලුවෙකුව ළඟින් ආශ්‍රය කරත්දි පවා එයා ඒකට ඊර්ෂීයා කළා. එයා මගේ හයළුකමට ගොඩක් ආදරය කරපු කාලයක් තිබුණා. සුරංජි පතිරණ  
 

More News..