brand logo

මාව තේරුම් අරන්, මට සවන් දෙන්නේ එයා

02 January 2019

වර්තමානයේ ජනප්‍රිය තරුවක් ලෙස ඉදිරි ගමනකට පියවර තබා සිටින චානුක ප්‍රබුද්ධට ළං වෙන්න හිතන අය බොහොමයි’ මගේ අඹ යහළුවා ලිපියෙන් චානුකව ප්‍රේමවන්ත​යෙක්, හිතවතෙක්, තමන්ගේ ළඟම කෙනෙක් කරගන්න හිතන අයට චානුක පිළිතුරක් ලබාදෙනවා. චානුකට ඉන්නේ ළඟම මිතුරෙක් නෙවෙයි හොඳම මිතුරියක්. ඔහුගේ හොඳම මිතුරිය ගැනයි චානුක අපට මේ විදිහට පවසන්නේ. ඉතින් ඔහුගේ මෙම හෙළිදරව්වෙන් පසුව චානුකව මිතුරෙක් කරගන්න ඔබට පුළුවන් වුණත් ඔහුගේ හොඳම මිතුරිය වෙන්න නම් තවත් කෙනකුට බැරි බව ඔබ ස්ථිරවම වටහා ගනීවි මොකද ඒ තරම් සුදුසුකමක් ඔහු ඉදිරියේ සපුරන්න කාටවත්ම නොහැකි නිසයි. මගේ අම්මා මිය යන්නේ මම ගොඩක් පුංචි කාලෙදිමයි. අපේ තාත්තා මීට අවුරුදු තුනකට පෙර මිය යනවා. අම්මගෙ වියෝවෙන් පසුවත්, තාත්තගේ වියෝවෙන් පසුවවත් එ් දෙන්නගෙම අඩුව මට දැනෙන්නේ නැතිව මාව බලාගත්ත කෙනෙක් ඉන්නවා. එයා තමයි මගේ ජීවිතයේ හොඳම මිතුරි. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. ලොකු අක්කා පදිංචි වෙලා ඉන්නෙ විදේශ රටක. අනිත් අක්කා, ඒ කියන්නෙ දැන් මා ළඟින්ම ඉන්න අක්කා තමයි මගේ හොඳම මිතුරිය. ඇගේ නම ඉෂිකා ප්‍රබෝධි. එයා මගේ හැම දුකකදිම, සැපකදිම මගේ ළඟින්ම ඉන්නවා. අපිට ජීවිතයෙදී සමහර ප්‍රශ්න එනවනේ, පවුලේ අයත් එක්ක කතා කරන්න බැරි. ඒ හැම දෙයක්ම මට මගේ අක්කත් එක්ක කතා කරන්න පුළුවන්. එයා මට සහෝදරියකට වඩා හොඳම යෙහෙළිය විදිහටයි, ඒ වගේ වෙලාවක් මා ළඟින් ඉඳන්, මාව තේරුම් අරන්, මට සවන් දෙන්නේ.’ අක්කගෙ හොඳ ගතිගුණයක් තමයි එයාගේ සමාජ සේවය. ගෙදරට සේවය කරන්නේ නැති වුණත් එයා සමාජය වෙනුවෙන් සේවය කරනවා. එයා ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක, ඉහළ නිලයක් දරන වෘත්තීය මට්ටමේ සමාජ සේවිකාවක්. අක්කා අපේ රට නියෝජනය කරමින් රට රටවලට ගිහින් සමාජ සේවා කටයුතු කරලා තියෙනව. එයා මට අවවාද අනුශාසනා කරනවට වඩා හරි වැරැද්ද පෙන්වනවා. මේ දේ කළොත් මෙහෙම ප්‍රතිඑලයක් ලැබෙයි කියල. හැබැයි හැම වෙලාවෙම මට හරිගියත්, වැරදුණත් එයා මා ළඟින් ඉන්නවා කියල මම දන්නවා. මගේ සතුටෙදි සතුටු වෙනවා වගේම දුකේදීත් මා එක්ක දුක් වෙන්න පුළුවන් යෙහෙළියක් තමයි මට ඉන්නේ. එයාගේ දුර්වලතාව විදිහට මම දකින්නෙ. එයා හරිම සංවේදියි. හරිම ඉක්මනින් තරහ යනවා. ඒ හැරුණාම ඕනෑම තැනක ඇත්ත කතා කරනවා. ඒ දේ නිසා එයාට පාඩුවෙන තැනුත් තියෙනවා. අද සමාජයේ ඇත්ත කතා කරන එක අපහසුවට පත්වෙන කාරණාවක් වෙනවනේ. එයා මට මිල මුදල් දීලා අරගෙන දෙන භෞතික දේවල්වලට වඩා හැම වෙලාවකම මට එයාගෙන් ලැබෙන ආදරය රැකවරණය විශ්වාසයි. එ්ක මට ගොඩක් වටිනවා.’ ඒ වගේ දේවල් හැමදාමත් කෙනෙක් ළඟ නෙවෙනස්ව රැඳෙනව නම් ඒ දෙමවුපියන්ගෙන්, සහෝදරයන්ගෙන් හරි හොඳම හිතවතකුගෙන් හරි විතරයිනේ. එයා මං ගැන සතුටු වෙන්නෙ, මම එයාගෙ මල්ලි වීම ගැන වෙන්නැති. මම හරිම දඟකාර ජීවිතයක් ගත කළේ. කවුරුත් හිතුවෙ නැහැ, පාසලෙන් පස්සේ මම ඉදිරියට ඉගෙන ගනියි කියලා. මම ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට ගිහින් හිටියේ. හැබැයි මම මොනතරම් දඟකාරයෙක් වුණත් ඔස්ට්‍රේලියාවට ගිහින් උපාධියක් කළා. ඒ මගේ යෙහෙළිය මගේ සොයුරිය ඉෂිකා අක්කා වගේ මගේ අනිත් අක්කත් ඒ ගැන ගොඩක් සතුටු වුණා. කියලා මම හිතනවා. රංගනයට පිවිසුණාට පස්සෙ, මගේ දෙමවුපියෝ හැරුණම මගේ ළඟින් ඉඳන් මා ගැන සතුටු වෙන කෙනා තමයි මගේ අක්කා. එයා මගෙන් ලබන්න කැමැතිම දේ මගේ සුවඳ විලවුන් ගල්වන එක තමයි . එ්වා ඉවර වුණහම එයාම තමයි මට ගෙනත් දෙන්නෙත්. අපි දෙන්න හොඳම යාළුවෝ වුණත් අක්කගෙයි, මල්ලිගෙයි ගෙදර සම්ප්‍රදායික රණ්ඩු තියෙනවා. අපි දෙන්න වැඩියෙන්ම රණ්ඩු වෙන්නෙ රූපවාහිනිය නරඹන්න ගියහමයි. රූගතකිරීම් ඉවරවෙලා ගෙදර ආපු ගමන්ම මට මගේ ටෙලි නාට්‍යය ‘සකූ’ බලන්න ඕනැ’ ඒ වෙත්දි නාට්‍යය විකාශය වෙලා අවසන් වුණත් ආපහු රිවයින් කරගෙන හරි ඒක බලන එක තමයි මගේ සතුට. ඒ වෙලාවට අක්කා මොකක් හරි වෙතත් රූපවාහිනි වැඩසටහනක් බලමින් හිටියොත් ඔන්න අපි දෙන්න අතර රණ්ඩු ඇති වෙනවා. මේ වෙද්දී එයා එයාගේ ජීවිතය හදාගෙන ඉවරයි. මම එයා වෙනුවෙන් කරන ප්‍රාර්ථනය තමයි එයා හැමදාමත් මගේ අක්ක වෙන්න කියල කියන එක මතු සංසාරේ ආයෙමත් අපි හමුවෙනවා නම් මම කැමැති එයා මගේ අක්කා හරි අම්මා හරි වෙලා හමුවන්නයි’ මගෙ පෞද්ගලික ජීවිතයේ තීරණවලට එයා සම්බන්ධ වෙන්නේ නැහැ. ප්‍රේම සම්බන්ධයක් ගැන වුණත් එයා බලපෑමක් කරලා නැහැ. හැබැයි එයා කියන්නේ කවුරු එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තත් දෙන්නගේ ගැළපීම් තියෙනවා නම් ඒක ඉදිරියට අරගෙන යන්න. එහෙම නැතිනම් කාගෙවත් ජීවිතයක් අපරාදෙ. නාස්ති වෙන විදිහට වැඩ කරන්න එපා කියලයි. සුරංජි පතිරණ
 

More News..