විශේෂාංග

දැන් බෑග් එකේ තියෙන්නෙ බබාගෙ දේවල් විතරයි

Inside my Bag – ගයාත්‍රි රාජපක්ෂ

1. හෑන්ඩ් බැග් එක ගයාත්‍රිට කොච්චර අත්‍යවශ්‍යද?
ඇත්තටම මගේ බෑග් එක නම් මට සෑහෙන්න වැදගත් වෙනවා. මොකද කොහේ හරි යද්දී අවශ්‍ය කරන දේවල් ටික අරගෙන යන්න හැකි නිසා හෑන්ඩ් බෑග් එකක් අරන් යන එක මට පහසුයි. බබා එක්ක එළියට යනකොට මගේ බෑග් එක මට අත්‍යවශ්‍යම දෙයක්.

2. සාමාන්‍යයෙන් ගයාත්‍රිගේ බෑග් එකේ තියෙන්නේ මොනවද?
බබා හම්බවුණායින් පස්සේ ගොඩක්ම තියෙන්නේ බබාගේ දේවල්. ටිෂුස් තියෙනවා. විශේෂයෙන් බබාගේ ඇඳුමක් අරගෙන යනවා. වතුර බෝතලය, පෑනක්, ගෙදර යතුරු, කාර් එකේ යතුර, පර්ස් එක තියෙනවා. පර්ස් එකේ තමයි බැංකු කාඩ් සහ සල්ලි වගේ දේවල් තියෙන්නේ. ඒ වගේම බබාගේ සෙල්ලම් බඩුවක් දෙකක් අනිවාර්යයෙන් අරගෙන යනවා. චුයින්ගම්, පර්පියුම්, ඕඩික්ලෝන්, පැනඩෝල් ඒ දේවල් තියෙනවා. මේකප් වර්ග නම් දාගෙන යනවා අඩුයි. බැග් එකේ තියෙන දේවල්වලට අමතරව අනෙකුත් ඒවා කාර් එකේ තියෙනවා.

3. බෑග් එකේ කාගේ හරි පින්තූර හෝ ආගමික දේවල් තියෙනවද?
පින්තූර නම් නැහැ. රත්නමාලි යන්ත්‍ර මණ්ඩලය තියෙනවා.

4. කාවහරි බෑග් එකේ දාගෙන යන්න අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ?
යන යන තැන අරගෙන යන්න නම් කැමැති බබාව තමයි. මොකද එයාව තියලා කොහේ ගියත් මතක් වෙනවනේ. අරන් ගියාම කොච්චර අමාරු වුණත් අරගෙන යන්න තමයි හිතෙන්නේ.

5. බෑග් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද?
බබාට අවශ්‍ය කරන සර්වියට්.

6. කා එක්ක හරි බෑග් එකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමැති?
මං එහෙම වෙන කෙනෙක්ගෙ බෑග් එකකට කැමැති වෙන එකක් නැහැ.

7. ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ බෑග් එකක් ඇතුළේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ?
ඒත් කැමැති නැහැ. බෑග් එක මගේ සැමියාගේ වගේ නම් මට බෑග් එක බලන්න හිතේවි. නමුත් පිට කෙනෙක්ගේ බෑග් එකක් බලන්න එහෙම කැමැත්තක් නැහැ.

8. ඇඳුමේ පාටට හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවද?
නැහැ. අවශ්‍යතාවකට බෑග් එකක් ගන්නවා මිසක් එහෙම ඇඳුමේ පාට කියලා සලකලා ගන්නේ නැහැ.

9. ඕනිම තැනකින් හෑන්ඩ් බෑග් එකක් දැක්කොත් ගන්නවාද, සලකන කරුණු මොනවද?
ඔව්. ඕනිම තැනකින් ගන්නවා. නමුත් ඒක විශේෂ, හැම තැනම දකින්න නැති විදියේ බෑග් එකක් වෙන්න ඕනි. මං ගොඩක් ආස ලෙදර් බෑග්වලට. බ්‍රෑන්ඩ් එක ගැන නම් එච්චර හිතන්න යන්නේ නැහැ. නමුත් ගාන ගැන නම් සලකා බලනවා. හැබැයි සාමාන්‍යයෙන් බෑග් එකක් හරි ඇඳුමක් හරි ගන්නකොට නිතරම හැම තැනම දකින්න තියෙන විදියේ එකක් ගන්න කැමැති නැහැ. ඒක ටිකක් හැම තැනම නැති එකක් වෙනතරමට මං කැමැතියි. ගොඩක් එහෙම තමයි බලලා ගන්නේ. ඒ වගේම ප්‍රමාණයෙන් පොඩි බෑග්වලට මං එච්චර කැමැත්තක් නැහැ. මං ගන්නේ ටිකක් ලොකු බෑග් එකක්. ඒ වගේම ඒකෙ සාක්කු තියෙන්න ඕනි.

10. හෑන්ඩ් බෑග් එකක් අමතක නොවෙන තෑග්ගක් විදියට ලැබිලා තියෙනවා නම් ඒ කාගෙන්ද?
මගේ සැමියාගෙන්. ඒක බ්‍රෑන්ඩඩ් බෑග් එකක්. ඒක අමතක වෙන්නේම නැහැ. මොකද ඒ බෑග් එකට එයා විශාල මුදලක් වියදම් කරලා තිබුණා.

11. හෑන්ඩ් බෑග් එක ටික වෙලාවකට කාගාව හරි තියල යන්න ඕන වුණොත් බෑග් එක තියලා යන්නේ කා ගාවද?
මගේ පවුලේ ඕනම කෙනෙක් ගාව තියලා යනවා.

12. බෑග් එකක් නිසා සිදුවුණු අමතකම නොවන සිදුවීම මොකක්ද?
සැමියා ගෙනත් දුන්න බෑග් එක ගැනම තමයි. එයා රට ඉඳන් එද්දී මට ලස්සන සාමාන්‍ය හෑන්ඩ් බෑග් එකක් ගෙනැවිත් දෙන්න කියලා මං කිව්වා. ඒ වෙලාවේ තමයි අති විශාල මුදලකට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් ගෙනැවිත් තිබුණේ. එයා සෑහෙන්න බ්‍රෑන්ඩ් එක ගැන සලකන කෙනෙක්. එ්කෙ ගාන ඇහුවම මට හිතා ගන්න බැරිවුණා. මොකද මට මැරෙනකම් හෑන්ඩ් බෑග් ගන්න තිබුණා, ඒ බෑග් එකට එයා වෙන් කරපු මුදල ගැන හිතුවාම. ඒ සිදුවීම වෙලා දැන් අවුරුදු දෙකක් විතර. නමුත් කවදාවත් අමතක නම් වෙන එකක් නැහැ.

අරුණි කළුපහන

Inside My Phone – ගයාත්‍රි රාජපක්ෂ

1. ෆෝන් එකේ වෝල්පේපර් එකට සහ ලොක් ස්ක්‍රීන් එකට දාලා තියෙන පින්තූරය මොකක්ද?
ලොක් ස්ක්‍රීන් එකට තියෙන්නේ මගෙයි, මහත්තයගෙයි පින්තූරයක්. වෝල්පේපර් එකට නම් තියෙන්නේ බබාගේ පින්තූරයක්.

2. ෆෝන් ගැලරි එකේ තියෙන පරණම පින්තූරවලින් ආසම එක මොකක්ද?
මගේ බබාගේ පුංචි කාලේ පින්තූරයක්.

3. ෆෝන් ගැලරි එකේ පින්තූර කීයක් විතර තියෙනවද?
697 ක් තියෙනවා.

4. අන්තිම පින්තූරේ ඉඳන් ආපස්සට තියෙන තුන්වැනි පින්තූරය මොකක්ද?
මායි, මගේ මහත්තයයි ඉන්න පින්තූරයක්.

5. වැඩිපුරම කෝල් කරන කෙනා කව්ද?
අපේ අම්මා සහ මගේ මහත්තයා. මොකද මං ලංකාවේ නැති නිසා අම්මා නිතරම කතා කර කර බලනවා. මහත්තයාත් ඔෆිස් එකට ගිය වෙලාවේ ඉඳන් නිතරම කතා කරලා බලනවා.

6. ගයාත්‍රිට අන්තිමට කෝල් කරපු ප්‍රසිද්ධ කෙනා කව්ද?
අංජලී ලියනගේ

7. අන්තිමට ඕපන් කරපු ඇප් තුන මොකක්ද?
යූ ටියුබ්, ෆේස් බුක්, වට්ස්අප්

8. වැඩිපුරම ප්ලේ කරන ගේම් එක මොකක්ද?
ගේම් ප්ලේ කරනවා. නමුත් එහෙම විශේෂ එකක් කියලා නැහැ.

9. සාමාන්‍යයෙන් එලාර්ම් එක තියන්නේ කොහොමද?
එලාර්ම් තියන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් වෙලාවක් හිතාගෙන නිදා ගත්තොත් ඒ වෙලාවටම ඇහැරෙනවා. මං කවදාවත් එහෙම එලාර්ම් තියලා නැහැ.

10. අන්තිමට ගූගල් කරේ මොනවාද?
බබා බලන්න ආස පොඩි පොඩි වීඩියෝ ටිකක් තමා.

11. ෆෝන් එකේ තියෙන දේවල්වලින් නැතිවම බැරි දේ මොකක්ද?
කන්ටැක්ට් ලිස්ට්

12. අන්තිමට අහපු සින්දුව මොකක්ද?
සී. ටී. ප්‍රනාන්දු මහත්තයාගේ මා බාල කාලේ සින්දුව.

13. වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් බලන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ ෆෝන් එක ද බලන්නේ?
මගේ මහත්තයාගේ. ඒ හැර වෙන කාගෙවත් ෆෝන් එකක් බලන්න ආසාවක් නැහැ.

14. ෆෝන් එක සම්බන්ධ අමතක නොවන සිදුවීම මොකක්ද?
දැන් තියෙන එකට කලින් මට මහත්තයා ගෙනත් දුන්නා ලස්සන ගෝල්ඩ් පාට සෝනි ෆෝන් එකක්. එතකොට බබා ඇවිදින්න පටන් ගත්තුම කාලේ. එයා එක පාර පඩිපෙ​ළේ උඩ ඉඳන් ඒක බිමට දැම්මා. ඒකෙ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම කුඩු වුණා. ඒක මට ලැබිලා මාසයක්වත් නැහැ. දුක හිතුණා වගේම ඒක තමා ෆෝන් එක නිසා අමතක නොවෙන අත්දැකීම.

අරුණි කළුපහන