brand logo

මෙගා වලට නොයන්නෙ වෙලාව නැති නිසා

24 November 2018

ලෝචනා ක්ෂේත්‍රයට එන්නෙ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට. ඉන් පසුව ඇය ටෙලිනාට්‍ය රංගනයට එක් වෙනවා. ඉතා කෙටි කලකින් පුංචි තිරය මත දඟකාර, කටකාර චරිත මවන්නියක විදිහට ප්‍රසිද්ධ වෙන ලෝචනා දැන් නිළියක් විතරක් නෙවෙයි මවක් හා බිරියක් ද වෙනවා. රංගනයෙන් සමු නොගත්තත් විවාහයත් සමග ලෝචනාගේ රංගන දිවියේ කිසියම් වෙනසක් සිදුව තිබෙනවා. ඒ ඇගේ සැමියා විදේශ රටක ජීවත්වන නිසා වරින්වර ලංකාව හැරදා නෙදර්ලන්තයට පියාඹන්න ඇයට සිදුවෙලා තියෙන නිසයි. කොහොම වුණත් මාස හතරකටත් වැඩි කාලයක් විදෙස්ගතව සිටි ලෝචනා ආයෙමත් ලංකාවට ඇවිත් වැඩ පටන් අරන් යන ආරංචිය ඔස්සේ ඇය සොයා ගියා. ලංකාවට ආපු ගමන් කාර්යබහුල වෙලාද? මේ දවස්වල මගේ සැලෝන් එකේ වැඩවලට තමයි අවදානයක් දීලා තියෙන්නේ. පහුගිය කාලේ මම නෙදර්ලන්තයට ගිහින් හිටි නිසා මගේ සැලෝන් එකේ වැඩ ටිකක් අඩපණ වුණා. ලෝචනාව අපි දන්නෙ නිළියක් හා රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට විතරනෙ? මගේ බලාපොරොත්තුවක් තිබුණා කවද හරි මගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි නිළියක් විදිහට අපේ රූපලාවණ්‍යය කටයුතු කරගන්නත්, රූපලාවණ්‍ය ගැන දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුවා. ඒ අනුවයි මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඉඳන්ම රූපලාවණ්‍යය කලාව ගැන ඉගෙන ගත්තෙ. පහුගිය කාලේ මම වරින්වර නෙදර්ලන්තයට ගිහින් මාස ගණන් සිටිද්දිත් එහෙදි රූපලාවණ්‍ය වැඩමුළුවලට සහභාගි වෙලා අලුත් දැනුම ලබාගත්තා. ඒ විතරක් නෙවෙයි මම එහෙන් නවීන රූපලාවණ්‍ය උපකරණ අරගෙන ආවා. දැන් මම මගේ ආයතනයට එන අයට සේවය ලබාදෙන්න ලෑස්තියි. ලෝචනා රඟපෑමෙන් ඈත්වෙලා ව්‍යාපාරිකාවක් වෙන්නද සූදානම රඟපෑම් කටයුතුවල වෙනසක් වෙලා නැහැ. මම වරින්වර විදේශ ගතවෙන නිසා සමහර වැඩ බාරගන්න එක ප්‍රශ්නයක් වුණා. ළඟදී රට ගිහින් ආව නිසා ආයෙත් මම දිගු කාලයක් ලංකාවේ රැඳෙනවා. ඒ නිසා අලුත් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝචනා දැනටමත් ටෙලිනාට්‍යවල වැඩ භාර අරන්ද? තවම නම් නැහැ. මෙගා නාට්‍යවල වැඩ බාරගන්නේ නැති නිසා ලැබුණ සමහර අැරයුම් ප්‍රතික්ෂේප කළා. ඒත් මම රූපවාහිනියේ හා වෙනත් වැඩසටහන්වලට සහභාගි වෙනවා. ලෝචනාත් මෙගා නාට්‍ය වර්ජනය කළ නිළියක්ද? මම මෙගා නාට්‍යවලට නොයන්නේ මගේ වෙලාව පිළිබඳ ප්‍රශ්නය නිසයි. මෙගා නාට්‍ය දීර්ඝ කාලයක් රූගත කිරීම් වෙන නිසා රට යන්න වුණොත් ඒවා දාලා යන්න අපහසුයිනේ. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත්කරන්නියක් විදිහට ඔබ පටන් ගත් ගමන දැන් සහමුලින්ම ඇන හිටලද? මම ආසාවෙන් ඉන්නවා ආයෙමත් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්න. මේ වෙත්දි ඇරයුම් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී මගේ ප්‍රේක්ෂකයන්ට මාව නැවතත් එම වැඩසටහන්වලිනුත් දැකගන්න ලැබෙයි. නිළියක් විදිහට ලෝචනා ඉමාෂි දුටු හීන දැන් හැබෑ වෙලාද? හැමදාමත් මගේ හීනය වුණේ වේදිකාව සිනමාව හා ටෙලිනාට්‍ය කියන මාධ්‍ය තුනේම රඟපාන එකයි. මේ වෙනකොට මගේ ඒ හීනය හැබෑවෙලා තියෙනව. පහුගිය කාලෙ මම රඟපාපු වේදිකා නාට්‍ය දෙකම මම විදේශගතවීම නිසා දර්ශන වාර බාරගැනීම නතරවෙලයි තිබුණේ ඉදිරියෙදී ඒ වේදිකා නාට්‍ය දෙකම නැවත වේදිකා ගත වීමට නියමිතයි. මේ වෙත්දි ඔය මාධ්‍ය තුනේම ලෝචනා කැමැති චරිත ලැබිලද? මම කැමැතියි හැම විදිහකම චරිත රඟපාන්න. මට ගැළපෙන්නෙ මේ විදිහේ චරිත කියලා එකම විදහෙ චරිත ටිකක් එක්ක විතරක් රැඳෙන්න මම කැමති නැහැ. මේ වෙනකොට මට විවිධ චරිත ලැබිලා තියෙනවා. මම නිර්මාණ විශාල සංඛ්‍යාවක රඟපාලා නැතත් මම කරපු චරිත ටික මිනිසුන්ගේ මතකයෙ රැඳිලා තියෙනවා. වඩාත් දඟකාර ගති ප්‍රකට කරන ඔබ රංගනයේදි බැරෑරුම් චරිතයක්ද? මම රඟපාන්න දෙයක් බාර ගත්තම ඒක කැපවීමෙන් කරන කෙනෙක්. ඒකට හොඳම උදාහරණය තමයි මට දරුවා ලැබිලා මාස තුනක් යන්නත් පෙර මම අඩක් රඟපාලා තිබුණ ටෙලිනාට්‍යයක නැවත රූගත කිරීම් ඇරඹුණා. එතැනදි දරුවා ලැබුණ අලුත කියලා මම මගේ වගකීම පැහැර හැරියේ නැහැ. මම බබාවත් අරගෙන ගිහින් ඒ චරිතයේ ඉතිරි කොටස් ටික රඟපාලා අවසන් කළා. ඔබගේ සැමියා මෑතකදී ලංකාවේ සම්මාන දිනූ චිත්‍රපටයක නිෂ්පාදකවරයා වුණා? එයා ලංකාවෙ කරපු ඒ චිත්‍රපටයෙන් ගොඩක් පාඩු සිදුවුණා. මං හිතන්නේ නැහැ මෑතකදී ආයෙමත් එයා ඒ වගේ වැඩකට අතගහයි කියලා. නමුත් එයා නෙදර්ලන්තයේ නම් වාර්තා වැඩසටහන් වගේ දේවල් කරනවා. යළි ඔහුගේ නිෂ්පාදනයක් සිදුවෙත්දී එහි ප්‍රධාන භුමිකාවේ අයිතිය ඔබටද? නැහැ . එයා නිර්මාණයක් කළත් ඒකට මාව ගන්න එකක් නැහැ . එයා මට කියන්නෙ මම නිර්මාණයක් කරන්නෙ ඔයාට රඟපාන්න නෙවෙයි. නිර්මාණයක් කරන්න තියෙන ඕනකම නිසා කියලා. සමහර විට මට ගැළපෙන චරිතයක් තිබුණොත් මාව ගනියි එහෙම නැති වෙන්නත් පුළුවන්. ලෝචනාගේ දිවියේ බලාපොරොත්තු සැලසුම් මොනවද? ලොකු බලාපොරොත්තු නැහැ. පුතාවත් හොඳට හදාගෙන මගේ ව්‍යාපාරයත් දියුණු කරගෙන ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නෙ. සුරංජි පතිරණ              
 

More News..