පිනි පලස

ප්‍රසංග වේදිකාවේ වෙඩිල්ල භාචි

‘හැම දෙයක් පෙනේ
එක දෙයක් වගේ…
මම විඳිමි සෙනේ…
මහ මෙරක් වගේ…
ඔබ යමින් නතර වුව ගුවන් තලේ
මම සෙමින් සෙමින් එමි නිසංසලේ…’

ඝරසරප චිත්‍රපටයේ තේමා ගීතය තාමත් හැම කෙනෙක්ගේම දෙසවනේ රැව් දෙනවා. මෙවැනි වෙනස් ගීත වගේම විසේකාරී, සරත් සඳේ, හිත හිරිවැටුණාදෝ, චන්න කින්නරාවී, නිහඬ ගමනේ යන ගීත ප්‍රේක්ෂකයන්ගේ ආත්මයම සොරාගත්තා. ගැහැනු, පිරිමි භේදයක් නැතිව ඔහු ජනප්‍රියයි. ඒ නිසාම අපි භාචි සුසාන් සමග මොහොතක් දොඩමළු වුණා.

ප්‍රසංග වේදිකාව නිහඬ වීම තුළ බොහෝ කලා ප්‍රසංගකරුවන්ට අත්වූ ඉරණමට භාචිත් මුහුණ දීලද කියන කාරණාව මුලින්ම මතු කළා.

‘‘ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රසංග නැහැ. හැබැයි මට ඒක හොඳ කාලයක්. මොකද අලුත් සින්දු ගැන හිතන්න, අලුත් නිර්මාණයක් කරන්න සූදානමක් ඇතිකර ගන්න මේ කාලය යොදවනවා. මම කොහොමත් කලබල ගමනක් යන කෙනෙක් නෙවේ. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 30ක් ගතවෙනකොටත් මම කරලා තියෙන්නේ ගීත හැටයි. සමහර වෙලාවට මට ගීතයක් කරන්න අවුරුදු දෙකක් විතර යනවා. මම ඒ ගීතය ගැන සෑහීමකට පත්වෙනකම් දාන්නේ නැහැ. මම නම් හිතන්නේ ප්‍රසංග නැති වෙච්ච කාලය තුළ කිසිම දෙයක් අපතේ ගියේ නැහැ කියලා. අවුරුදු ගාණක් නිර්මාණය කරපු ආශාවෝ කියන ගීතය අද යූටියුබ් එකට දැම්මා. ආශාවෝ ගොඩක් මහන්සි වෙලා කරපු ගීතයක්. ෂෙහාන් ගලහිටියාව ලියලා, චතුරංග සංගීතවත් කෙරුවෙ. ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මට විශ්වාසයි.’’

භාචිගේ කතාව තුළ හිතන්න ගොඩක් දේවල් තියෙනවා. හතු පිපෙන ගාණට ගීත ඇහෙන රටේ නිර්මාණයක් වෙනුවෙන් මෙතරම් කැප වෙන්න පුළුවන්ද කියන කාරණය ගැන හැමෝටම හිතෙන්න පුළුවන්. නිර්මාණයකට නියම සාධාරණයක් කරන්න ඔහු කළ කැපවීම අනන්තයි, අප්‍රමාණයි.

‘‘මම මහා ලොකුවට සංගීතය ඉගෙනගත් කෙනෙක් නෙවේ. මම සංගීතය ඉගෙන ගත්තේ මා තුළින්මයි. මගේ සාර්ථකත්වයේ රහස අභ්‍යාස කිරීම. මම කාවවත් අනුකරණය කළේ නැහැ. මම මගෙන්ම ඉගෙන ගත්තා. මට වැරදුණොත් මම දන්නවා හදාගන්න ඕන තැන මොකක්ද කියලා. මම ගායනා කරන්නේ හුඟක් උච්ච ස්වරයකින්. මුල් කාලේ මම කිසිම ටෙක්නික් එකක් දැනගෙන උන්නේ නැහැ. මගේ උගුරේ ප්‍රශ්න අනන්තවත් ඇතිවෙලා තියෙනවා. මට කතා කරගන්න බැරි වෙනවා. නමුත් මම කවදාවත් උත්සාහය අත්හරින්නෙ නැහැ. ජාත්‍යන්තර ගායක ගායිකාවන්ගේ දේවල් හොයනවා. ටෙක්නික් හොයනවා. මගේ උගුර පාවිච්චි කරලා මමම අත්හදා බැලීම් කරනවා. සාර්ථක ගීතයක් කරන්න මම ඉගෙන ගත්තේ පුහුණුව තුළින්මයි. දැන් මම ටෙක්නික් දන්නවා. උගුර පරිස්සම් කරගන්න කන්න, බොන්න ඕන මොනවද කියල දන්නවා. මේ ආකාරයට ගීත ගායනා කරන්න මම ලොකු කැපකිරීමක් කළා.’’

ඔහු කියන්නේ ස්ථිර කටහඬකින්. ප්‍රසංග වේදිකාවේ ගීතයක් ගායනා කරනකොටත් මේ කැපවීම, උනන්දුව ඔහු තුළ තිබෙනවා. උපතින්ම ගෙනාපු දක්ෂතාව භාචි තම ආත්මය කරගෙන අවසානයි. ඔහුගේ ප්‍රියතම ගීතය ගායනා කරමින් ආරම්භ කළ ඒ ගමන අද සාර්ථක වර්තමානයක් වී ඇත්තේ ඒ නිසයි.

මම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මගේ සංගීත ගමන පටන් ගත්තේ. යස ඉසුරු, රාජ මාලිගා මට නැහැ. දෙයියෝ දුන්න කටහඬ විතරයි මට තිබුණේ. කණ්ඩායම් වේදිකාවෙන් ගැලවිලා මම තනි ගමනක් යන්න හිත හදාගත්තේ මම මාව විශ්වාස කරලා.

අවුරුදු තිහකට කලින් ගායනා කරපු බුදුනේ… ජේසුනේ.. අල්ලා දෙවියනේ… ගීතය තමා අදටත් මගේ ප්‍රියතම ගීතය. මේ ගීතය ලිව්වෙත් මම. අවුරුදු තිහක් ගියත් මේ ගීතය අදටත් වලංගුයි කියලා මට හිතෙනවා. මුළු ජීවිත කාලෙටම මේ ගීතය වලංගු වෙයි. මොකද මේ වෙනකොටත් මිනිස්සු බෙදිලා මරා ගන්නවා. මම කියනවා ගීතයක්වත් අහලා මේ පුංචි කාරණාව තේරුම් ගන්න කියලා. එතැනින් පටන්ගත්තු ඔය මගේ ගමනේ අද මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා.’’

භාචිගේ මුල්ම ගීයත් තාම ජනප්‍රියයි. ඒ වගේම ඔහු ගායනා කරපු බොහෝ ගීත තාම රසික රසිකාවියන්ගේ දෙසවනේ රැව් දෙනවා. ප්‍රසංග වේදිකාවට භාචි නැතිවම බැරි කෙනෙක් වෙලා. ප්‍රසංග සඳහා විදේශ ගතවුණ වාර ප්‍රමාණය ඔහුටත් අමතක නොවන තරමට ඔහු ජනතාවගේ ගායකයෙක් වූයේ කොහොමද කියන ප්‍රශ්නය භාචිට යොමු කළා.

‘‘තමන් කරන දේට තමන් මුලින්ම ආදරේ කරන්න ඕන. දක්ෂ තරුණ පරම්පරාවක් ඉන්නවා. මම හැම කෙනෙක් එක්කම වැඩ කරලා තියෙනවා. චිත්‍රපට දහයක විතර ගීත ගායනා කළා. ජයන්ත චන්ද්‍රසිරි වගේ දක්ෂ අය මාව මෙහෙයවලා තියෙනවා. කවුරු මෙහෙයවූවත් මම මගේ වෘත්තියට ආදරෙයි. මම හදන ගීතයට මම මගේ පණ හරි දෙනවා. අද අලුතෙන් එන අය වැඩි වශයෙන් විශ්වාස කරන්නේ තාක්ෂණය ගැන. ස්ටූඩියෝ එකේ ඉඳන් ගීතය හදනවා. වැඩ දාලා ඔප දාලා ගන්නවා. රේඩියෝ එකේ ලස්සනට ඇහෙනවා. නමුත් ස්ටූඩියෝ එකෙන් එළියට ඇවිත් සජීවීව ගායනා කරන්න කියපු ගමන් පටි රෝල් වෙනවා. ඇයි විශ්වාස කළේ තාක්ෂණය ගැනනේ. ඒක නිසා තාක්ෂණය යම් ප්‍රමාණයකට යොදා ගන්න. ඊට වඩා කටහඬ විශ්වාස කරන්න. ඕන මහපාරක දෙවනත් වෙන්න ගීත ගායනා කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මගේ හිතේ තියෙනවා. මාව ඉස්සරහට අරගෙන යන්නේ ඒ විශ්වාසය තමයි.’’

භාචි කතා කරන්නේ ස්ථිර හඬින්. ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබේ. කතා කරන සෑම වචනයකම ඇත්තේ තමා ගැන ඇති විශ්වාසයයි. මෙය නොවේද කෙනෙකුගේ සාර්ථකත්වය…

‘‘මම බොහොම හිතලා තීරණ ගන්න කෙනෙක්. ගීතයක් නිර්මාණය කරනකොටත් ගීතයේ තේරුම ගැන හිතනවා. හැම නිර්මාණයකින්ම පුංචි හෝ පණිවිඩයක් දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ කලාකාරයන්ට මිනිස්සු ආදරෙයි. ඒ ආදරේට අපි ඔවුන්ට සාධාරණයක් කළ යුතුමයි. හිස් වචන ටිකක් දෙනවට වඩා නිර්මාණය ඇතුළේ ඔළුවට යමක් දිය යුතුමයි කියන කාරණයේ මම ස්ථිරව ඉන්නවා.

මම හරිම වාසනාවන්ත මනුස්සයෙක්. මොකද ප්‍රසංග වේදිකාවට ගොඩවුණාම මට ඒක පේනවා. කෙල්ලෝ කොල්ලො පුංචි ළමයි මට හරි ආදරෙයි. එහෙම වෙන්නේ මම ඒ හැමෝටම ගීතයෙන් සාධාරණයක් ඉෂ්ට කරපු නිසා. මම කිසිම කෙනෙක් අනුකරණය කරලා නැහැ. මම ඉගෙන ගන්නේ මගෙන්මයි. මට වැරදුණ තැන් තමා මාව හරිගැස්සුවේ. මගේ ගුරා මමමයි.’’ භාචි කියන්නේ භාචිමයි…

සටහන – ක්‍රිෂාන්ත පුෂ්පකුමාර