පිනි පලස

ලවන් යුවතියන්ගේ ළයටම

‘සංගීතේ’ කියන්නේ මේ දවස්වල විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යවලින් එකක් කිව්වට එහි කිසිදු වැරැද්දක් නොමැත. ඒ තරමට ‘සංගීතේ’ ට බොහෝ දෙනා කැමති වී තිබේ. අලුත් මුහුණු කරලියට හඳුන්වාදීමේ වගකීම මූලික කරුණක් ලෙස ගෙන කටයුතු කරන දෙරණ ආයතනයෙන් තවත් සුන්දර මුහුණක් සංගීතේ නාට්‍ය තුළින් කලාවට තිළිණ කර දී ඇත.

ලවන් අභිසෙක් නම් තරුණාය මහී ලෙස ලංකාවේ බොහෝ යුවතියන්ගේ හදවතේ තැන්පත් වී හමාරයි.

සංගීතය ගැන කතා කරන්න.. ජීවිතේ ගැන කතා කරන්න ලවන් එකතු වුණේ හරිම සතුටකින්.

සංගීතය දැන් මගේ ජීවිතය වගේ. ඒ තරමට සංගීතයට මම මගේ ජීවිතේ කැප කරලා ඉවරයි. මට මේ තරම් සතුටක් දැනෙන්නේ මේ කිසිම දෙයක් මම ප්‍රාර්ථනා කරපු දේවල් නොවන නිසා. සංගීතෙට මම කැමැත්තෙන් උන්නා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියට මම ඉදිරිපත් වුණේ සංගීතයට තිබුණ දැඩි කැමැත්ත නිසාමයි.

නමුත් සංගීතය කියන එක ටෙලි නාට්‍යයක් වෙලා මාව නළුවෙක් කරයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නැහැ.

ගායකයෙක් වෙන්න හිතාගෙන දෙරණට පියමැන්න දවස ජීවිතේ කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ගායකයෙක් වෙන්න ඕන කියලා මගේ හිතට ලොකු හීනයක් ඇතුළු කරලා අද ලංකාවේ බොහෝ දෙනා කතා කරන නළුවෙක් බවට මාව පත්කළාට දෙරණට හැම මොහොතකම මම සිය දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා.

2015 අවුරුද්දේ තමයි ඩ්‍රීම් ස්ටාර් තරගාවලියට එන්නේ. ඒ තරගයේ අවසාන දාහතරවැනියා හැටියට තරගයෙන් ඉවත් වෙන්න මට සිද්ධ වෙනවා. කොහොමටත් ඔය වෙනකොට රටේ යම් පිරිසක් දන්න තත්ත්වයකට මම ඇවිත් ඉන්නවා. කවදා හරි අනාගතේ ගායකයෙක් හැටියට නමක් හදාගන්නවා කියන ස්ථාවර අධිෂ්ඨානය මගේ හිතේ කොයි මොහොතකවත් ඉවත් වුණේ නැහැ.

ටික කාලයක් මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඔය අතරෙදි තමයි මට ආයෙමත් දෙරණෙන් කෝල් එකක් එන්නේ.

මම හිතුවේ සංගීත වැඩසටහනකට මට කතා කරනවා කියලා. පුදුමාකාර සතුටක් මගේ හිතට දැනුණේ. නමුත් ඔවුන් මට කතා කරන්නේ අලුත් ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්න.

මට හිතාගන්න බැරුව ගියා. සින්දු කියන්න නම් මම දන්නවා. හැබැයි රඟපාන්න මම දන්නේ නැහැ. රංගනය මගේ ජීවිතේට ආගන්තුකයි.

නමුත් ලැබෙන අභියෝගය පස්සට දාලා යන්න මගේ හිත කීයටවත් කැමති වෙන්නේ නැහැ. ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියන මතය මගේ හිතේ හැමදාම තිබුණා.

පීනන්න නම් වතුරට බහින්නම වෙනවා කියන කාරණාව මම හොඳින් අවබෝධ කරගෙන උන්නේ.

රංගනය ගැන කිසිම හැදෑරීමක් නැතුව මගේ ප්‍රථම ටෙලි නාට්‍යය රඟපාන්න මම තීරණය කළා.

සංගීතේ ටෙලි නාට්‍යයේ සෙට් එකට ආපු ගමන් පුංචි චකිතයක් හිතට දැනුණා. නමුත් සාරංග මෙන්ඩිස් මහත්තයා බොහොම ළෙන්ගතුව කතා කරනකොට මගේ බය මොහොතකට නැති වුණා.

මෙච්චර කාලයක් ලවන් වෙච්ච මම ජීවිතේ මුල්වරට මහී වුණා.

මුල්ම දර්ශනයට මුහුණ දෙනකොට මම තිගැස්සිලා උන්නේ. තිර රචනාව කියෙව්වාට මට කිසිම අදහසක් පහළ වෙලා තිබුණේ නැහැ. බය හිතේ හිර කරගෙන කාටවත්ම නොපෙන්නා ඉන්න මම ලොකු උත්සාහයක් අරගත්තා. කොහොම හරි හැම කෙනෙක්ගේම සහයෝගය මැද්දේ මට වැඩේ කරගන්න පුළුවන් වුණා.

හැබැයි මහී කියන චරිතය ඉදිරියට ගලා යනකොට මට දැනුණේ මේ රඟපාන්නේ මගේ ජීවිතේ නේද කියලා. මහී කියන්නේ වෙන කවුරුත් නෙවේ, මමමයි. මොකද මගේ හිතේ තිබුණ හීනයම තමයි මහීගේ හිතෙත් තියෙන්නේ. මහී උත්සාහ කරන්නෙත් ජනප්‍රිය ගායකයෙක් වෙන්න. ඒක නිසා මහීගෙයි, මගෙයි කිසිම වෙනසක් මට දැනෙන්නේ නැහැ.

මේ චරිතය තුළ මට හුඟක් දේවල් ලැබෙනවා. ක්ෂේත්‍රයට මම ආවේ ගායකයෙක් හැටියට. මේ චරිතය ඇතුළෙත් මට ගීත ගායනා කරන්න තියෙනවා. සංගීතේ නාට්‍යය තුළ එන සියලුම ගීත කියන්නේ අපි. සංගීත භාණ්ඩ වාදනය කෙරෙනවා. ගායකයෙක් හැටියට මට මතුවෙන්න හොඳ අවස්ථාවක් සංගීතේ ටෙලි නාට්‍යය තුළම ගොඩගහලා දීලා තියෙනවා. ගායකයෙක් හැටියටත් මට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

රසිකයන්ගේ ප්‍රතිචාර ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඒ අය නිසා තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ. එයාලගෙන් එන දුරකථන ඇමැතුම්, අගය කිරීම් මාව තවත් ශක්තිමත් කරනවා.

සමහරු මගේ අඩුපාඩු කියනකොට මම තවත් කැමතියි. මොකද මගේ ඉදිරිය හදාගන්න පුළුවන් මගේ අඩුපාඩු කිව්වාම තමයි.

මගේ ගෙදරත් තියෙන්නේ සංගීතයට හුරු පරිසරයක්. මගේ තාත්තට සංගීත බෑන්ඩ් එකක් තියෙනවා. මගේ ලොකු අයියත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයට ආපු කෙනෙක්. පොඩි අයියා ගිටාර් වාදකයෙක්. මුළු ගෙදරම සංගීත පාසලක් වගේ. අම්මා අපි හැමෝටම උදව් කරගෙන අපිව බලාගෙන ඉන්නවා. අම්මා සංගීතය නොකළාට ඇය ලබාදෙන සහයෝගය නිසා තමා අපි මේ කටයුතු සාර්ථකව කරගෙන යන්නේ.

සංගීතයත් එක්කම තමයි මුළු ජීවිතයම ගත වෙන්නේ. ගෙදර ඉන්නකොට මියුසික්.. දර්ශන තලයට ආපුවාම රංගනය… හැම දෙයක්ම සංගීතය තමයි.
ආපු ගමන හරිම කෙටියි. තාම මම ක්ෂේත්‍රයේ බහතෝරන්න පටන් ගත්තා විතරයි. ඉදිරියට ලොකු ගමනක් යන්න තියෙනවා. ගෙදර අයගේ ශක්තිය නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. ඊළඟට මගේ මහ ගෙදර දෙරණ ගැන නොකියාම බැහැ. දෙරණ තමයි මේ හැම කීර්තියක්ම මගේ ජීවිතයට අරගෙන දුන්නේ. මේ හැම දෙයක්ම දෙරණ නිසා…

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර