brand logo

විහංගි තමා සැබෑ ජීවිතේ මගේ බිරිඳ

25 September 2019

ගායකයෙක් වෙන්න ඇවිත් රංගනයෙන් ජනප්‍රියත්වය හිමිකරගත් තරුණ නළුවන් අතර සිටින දිනුෂ දිසානයක, ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයේ ආකර්ෂණීයම චරිතය වන දේවකගේ චරිතයට පණපොවන්නේ. තරුණියන් කිහිප දෙනකුගේ අවධානයට මැදිව සිටින දේවකගේ ආදරය හිමිවෙන්නේ කාටද? දිනුෂත් එක්ක කතාබහ කරන අතරේ අපි මේ හැම විස්තරයක්ම හෙළිදරව් කරගත්තා. දිනුෂ ඔබ නළුවෙක් වෙන්නෙ කොහොමද? මම 2014 වසරේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 5 තරගයට ඉදිරිපත් වෙලා අවසන් දසදෙනා අතරට තරුණා. ඊට පස්සෙ මම කිසි කලා කටයුත්තකට සහභාගි වුණේ නැහැ. නමුත් පසුගිය වසරේ දෙරණ ආයතනයේ රාජිකා ක්‍රිශාන්ති මහත්මිය සහ ලක්සිරි වික්‍රමගේ මහත්මය මට රඟපාන්න කතා කළා. ඒ විදිහටයි මම රඟපෑමට පිවිසෙන්නේ. මේ ඇරයුම ඔස්සෙ ඔබට ලැබෙන පළමු අවස්ථාව කුමක්ද? ඒ ඇරයුම ඔස්සේ දෙරණට ආවට පස්සෙ චරිත් අයියා මට දිලූක අයියාව හඳුන්වා දුන්නා. මම මුලින්ම රඟපෑවේ ඔහුගේ ටෙලි චිත්‍රපටයක. එතැනින් තමයි මම රංගනය ගැන ඉගෙන ගත්තේ. මට එතැන රංගන පාසලක් වුණා. ඊට පස්සේ ටෙලි චිත්‍රපට තුනක රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඔබගේ අලුත්ම චරිතය වන දේවකට දැන් දැන් බොහෝ ප්‍රතිචාර ලැබෙනවලු නේද? ඔව්. මම හිතුවටත් වඩා පුදුම විදිහට ප්‍රේක්ෂකයන් පිරිසක් මේ චරිතයට ඉන්නවා. අනික මම මේ චරිතයට හරිම ආසයි. තරුණියන් කිහිප දෙනකුගේ අවධානයට ලක්වෙලා සිටින දේවකගේ හිත යන්නේ කාටද? කාන්තාවෝ කොච්චර දේවක වටේ හිටියත් ඔහු හිතන්නේ දරුවා ගැන විතරයි. ඉදිරිය කොහොම වෙයිද බලමු. දිනුෂත් දේවක වගේ කෙනෙක්ද? මමත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙක්. ඔය වගේ තමයි බොහෝ දුරට. හැබැයි මම ඔච්චරම ඉවසන කෙනෙක් නෙවෙයි. ඔබ දැන් ගායනයෙන් ඈත්වෙලාද? ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ඉවත් වුණාට පස්සේ සංගීතය පැත්තෙන් මොනවත් කරන්න බැරිවුණා. මොකද මම මගේ ව්‍යාපාරවලට යොමුවුණ නිසා. නමුත් දැන් මම නැවතත් සංගීතයට යොමුවෙලා ඉන්නවා. ලබන මාසයේ මගේ අලුත්ම ගීතය එළිදක්වන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. දිනුෂගේ ව්‍යාපාරය කුමක්ද? නුවරඑළියේ මගේ සංචාරක නිකේතනයක් තියෙනවා. දැන් නම් වැඩි කාලයක් වෙන්වෙන්නේ රංගනයට. කලාව වගේම ව්‍යාපාර ගැනත් බලාපොරොත්තු සමගද සිටියේ? ඇත්තටම මගේ හිතේ තිබුණේ නාවිකයෙක් වෙන්නයි. ඒ නිසා මම ඇමෙරිකන් කොලේජ් එකේ උසස් ඩිප්ලෝමාවත් හදාරන්න යොමුවුණා. ඒ අධ්‍යාපන කටයුතු කරන අතරතුර අවසන් විභාගයට පෙනී ඉන්න ආසන්න කාලයේමයි මම ඩ්‍රීම් ස්ටාර් තරගයට අයැදුම්පත් දාලා තිබුණේ. අන්තිමට උසස් ඩිප්ලෝමාව අතහැරලා ඩ්‍රීම් ස්ටාර් තරගයට ආවා. මොකද මොන ක්ෂේත්‍රයට අවධානයක් යොමු කළත් ගායකයෙක් වෙන හීනය මගේ හිතේ හැමදාම තිබුණා. ඔබගේ පුද්ගලික තොරතුරු මොනවද? මගේ ගම නුවර. මම අධ්‍යාපනය ලැබුවේ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. අපේ තාත්තා මහජන බැංකුවේ සේවය කළේ. අම්මා නම් රැකියාවක් කළේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනෑ අම්මයි, තාත්තයි නිසා තමයි අද මම ක්ෂේත්‍රයේ මේ තැන ඉන්නේ. හැම විටම මම මොන දේ කරමින් සිටියත් ඒ දේවල් අතහැරලා කලාවට එද්දී ඒ ගැන වදනකින්වත් වරදක් නොකියා ඒ දෙන්නා මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. කලාවට එන්න වගේම කලා කටයුතුවලදිත් අම්මයි තාත්තයි ළඟින්ම හිටියද? ඔව්, සාමාන්‍යයෙන් මම තරගයට යන්න ගීතයක් තෝරගත්තේ ගෙදරදි අම්මා ඉදිරිපිට ඒ ගීතය ගායනා කරලයි. මම ඩ්‍රීම්ස්ටාර් තරගයේ අන්තිම දසදෙනා දක්වා ආවේ අම්මා තෝරලා දුන්න ගීත ගයලයි. ඔබට මේ වන විට තවත් නිර්මාණවලට ඇරයුම් ලැබී තියෙනවද? නාට්‍ය දෙකක ප්‍රධාන චරිත දෙකකට කතා කළා. දැනට මේ ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යන නිසා ඒ දේවල් භාරගන්න බැහැ. මේක මගේ පළවැනි අවස්ථාව. මම හරිම ආසාවෙන් මේකෙ වැඩ කරන්නේ. නැගී එන කලාකරුවෙක් විදිහට ඔබගේ හීන මොනවද? ඉස්සර ඉඳන්ම මගේ ආසාවක් තිබුණා සම්මාන උළෙලකට යන්න. තවම මම සම්මාන උළෙලකට ගිහින් නැහැ. මට තවම එවැනි ආරාධනාවක් ලැබිලා නැහැ. මට ලොකු ආසාවක් තියෙනවා සම්මානයකට නිර්දේශ වෙලාම සම්මාන උළෙලකට යන්න. දිනුෂ, ඔබගේ පෙම් ලෝකයේ තොරතුරු මොනවද? මම විවාහකයි. මේ වසරේ තමයි මම විවාහ වුණේ. මේ නාට්‍යයේ විහංගිගේ චරිතය රඟපාන්නේ ඇයයි. ඔබට ඇය හමුවෙන්නෙ කලාවෙන්මද? නැහැ, මීට අවුරුදු හයකට කලින් අපි දැන හඳුනාගත්තේ. එතකොට අපි මේ දේවල්වලට සම්බන්ධ නැහැ. අපි දෙන්නම ගිය සංගීත පන්තියකදියි අපි හමුවෙන්නේ. ඒත් එයා මට කලින් රංගන ක්ෂේත්‍රයට ආවා. ඇය මුලින්ම රඟපෑවේ දෙවැනි ඉනිමෙ. එයා දෙවැනි ඉනිමෙ චරිතයෙන් අයින් වෙන්නේ මේ නාට්‍යයේ රඟපාන්න එන්නයි. ඉදිරි කාලයේ දිනුෂ-සජලි යුවළගේ බලාපොරොත්තුව රංගනයමද? සංගීතය තමයි මගේ ප්‍රධානම දේ. හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. ඇයට හොඳ දෙයක් තෝරගෙන කරන්න මම කිසිම බාධාවක් දාන්නේ නැහැ. ඇය දෙවැනි ඉනිමෙ රඟපාද්දි මම, මට රඟපාන්න පුළුවන්ද කියලාවත් දන්නෙ නැහැ. ඒ දවස්වල එයාව ෂූටිං එක්ක ගිහින් එයා ඒ වැඩ ඉවර වෙනතුරු පැත්තකට වෙලා ඉන්නවා. ඉදිරියටත් මගේ සහාය ඇයට ඒ විදිහට ලැබෙනවා. සුරංජි පතිරණ       
 

More News..