brand logo

නීලමනී කළුද? සුදුද? තීරණය ඔබේ අතේ

10 August 2019

මේ දිනවල රිදී තිරයේ ජයකෙහෙළි නංවන ‘විජයබා කොල්ලය’ සිනමා සිත්තමෙහි ප්‍රධාන චරිතයේ අයිතිකාරිය ඇයයි. සුන්දර නමුත්, සංකිර්ණ ගැහැනු චරිතයක් වන නීලමනීගේ චරිතය ප්‍රතිනිරූපණයෙන් පසු සෙනාලි අපට හමුවුණ මුල් අවස්ථාවේම අපි ඇයගෙන් විමසූ ප්‍රශ්නවලට ලැබුණ පිළිතුරුයි මේ... ‘විජයබා කොල්ලයේ’ නීලමනී, සෙනාලිට වැදගත් වෙන්න බලපාන කරුණු මොනවද? විජයබා කොල්ලය කියන්නේ තිරගත වන මා රඟපෑ දෙවැනි චිත්‍රපටය. මගේ පළවැනි චිත්‍රපටය සෝමරත්න දිසානායක මහත්මයගේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයයි. ඒක ළමා චිත්‍රපටයක්. සිරිමල් එතනාගෙ චරිතය ප්‍රධාන චරිතයක් වුණාට ඒ කතාන්දරයේ හැටියට ප්‍රධාන චරිතය වන්නේ වෙනත් චරිතයක්. ඒ අනුව ගත්තාම විජයබා කොල්ලයේ තමයි මම පළමු වරට ප්‍රධාන චරිතයක් කරන්නේ. අනිත් කාරණාව මෙය මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයක් වීම. එපමණක් නෙවෙයි, සිනමා තිරය මත ඔබ පළමුවරට නේද පෙම් කරන්නේ? ඔව්, මගේ කලා දිවියේ පළවැනි වතාවටයි මම පෙම්වතියකගේ චරිතයක් කරන්නේ වගේම, ඒ පෙම්වතියගේ චරිතයත් සුවිශේෂයි. මන්ද මහි එන නීලමනීගේ චරිතය කළුද සුදුද කියලා නිශ්චිත තැනක තියන්න බැරි චරිතයක්. මේ ඕනෑම ගැහැනු ළමයෙකුගේ ඇතුළෙ ජීවත්වන චරිතයක් වගේම, මේ චරිතය හොඳද නැද්ද කියන එක තීරණය කරන එක පහසු නැහැ. මේ නිසයි මට මේ චරිතය අභියෝගාත්මක චරිතයක් වෙන්නේ. මෙවන් චරිතයක් හිමිවීම ගැන අද ඔබට දැනෙන හැඟීම කුමක්ද? සුනිල් ආරියරත්න මහත්මයා එක්ක මේ චිත්‍රපටයේ වැඩ කරද්දියි මම දැනගත්තේ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට එන්න පෙර, පාසල් ළමයෙක් විදිහට හිටිය කාලේ පටන් චිත්‍රපටයක් කරන්න ලැබුණොත් ඒ සඳහා විජයබා කොල්ලය තෝරගන්නවා කියලා හිතලා තියෙනවා. එතුමාගේ එම හීනයේ නීලමනී වෙන්න මට අවස්ථාව හිමිවීම ලොකු භාග්‍යයක්. සෙනාලි හැම විටම නීලමනී හා එකඟද? විජයබා කොල්ලයේ පිටපතයි, පොතයි කියවලා ඉවර වුණාට පස්සේ මම චරිතය තේරුම් ගන්න පටන් ගත්තා. පෞද්ගලිකව සෙනාලි ෆොන්සේකා හැටියට මම නීලමනීගේ චරිතයේ එකඟ නොවෙන තැන් තිබුණා. නමුත් නිර්මාණයේදී මම එම චරිතයේ ජීවත් විය යුතු මෙන්ම ඇගේ චරිතයේ ඇති දේවල් මා විසින් සාධරණීකරණය කළ යුතුයි කියන දේ මම තේරුම් ගත්තා. ඔබගේ රංගනය ගැන ඔබට තක්සේරුවක් තියෙනවද? චිත්‍රපටය පෙන්වන්න පෙර මගේ හිතේ බයක් තිබුණා. ඒ මගේ රංගනය ගැන මට විශ්වාසයක් නැහැ කියන එක නෙවෙයි. නමුත් චිත්‍රපටය තිරගත වෙද්දී තිරයේ මාව කොයි ආකාරයට පෙනෙයිද කියලා බියක් තිබුණා. ඒ වගේම මට මේ චරිතය මීටත් වඩා හොඳින් කරන්න පුළුවන් කියලා මට දැන් හිතෙනවා. නමුත් ඒ අවස්ථාවේ මට තිබුණ දැනුමත් එක්කයි මම ඒ වෙලාවේ ඒ චරිතය කළේ. චිත්‍රපටය නැරඹුවාට පස්සේ වැරදි තියෙන තැන් දැනුණා. නමුත් මට කරන්න පුළුවන් උපරිමයෙන් කරලා තියෙනවා කියලත් දැනුණා. මේ වෙද්දි ක්ෂේත්‍රයේ දැවැන්තයන් වගේම විවිධ අයගෙන් මට සුබපැතුම් සහ අදහස් උදහස් ලැබෙමින් පවතිනවා. සෙනාලි චරිතයක් කරද්දී වැදගත් කියලා තීරණය කරන්නේ කුමන කාරණා අනුවද? මම විවිධාකාර චරිත කරන්න ආස කෙනෙක්. මම වෙනසකට ආසයි. මට වෙනස් විදිහේ චරිත ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම භාරගන්නවා. බටහිර රටක පදිංචිකාරියක් වන සෙනාලි ලංකාවට ඇවිත් රංගනය තෝරගන්නේ? මම රංගන ශිල්පිනියක් වෙන්නේ සිනමාවට තියෙන අසීමිත ආදරය සහ මටම තේරුම් ගන්න බැරි පිස්සුවක් නිසයි. සිනමාව, කලාව, රංගනය ගැන වුණත් එක්කයි මම ලංකාවට ඇවිත් මේ විදිහට වැඩ කරන්නේ. ඉදිරියේදී ඔබගේ රංගනය දකින්න ලැබෙන නිර්මාණ මොනවද? ධනුෂ්ක රේමන්ගේ ‘පරිස්සමෙන් ඉන්න’, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ ‘යාත්‍රා’ සහ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ චරිතයකට දායකවෙලා තියෙනවා. මම හිතනවා මට ලැබෙන ආරාධනා එක්ක ඉදිරියේදී හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබෙයි කියලා. සෙනාලි හැම චරිතයක්ම භාරගන්න සූදානම්ද? පෞද්ගලිකව මට තෝරා බේරා ගැනීමක් තියෙනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මම කරන චරිතයට උපරිම සාධාරණත්වයක් ඉෂ්ට කරන්න. සමහර චරිතවල සමහර දර්ශනවලදී මම පසුබෑමට ලක්වෙනවා. නමුත් මම කියන්නෙ නැහැ ඒ දේවල් වැරදියි කියලා. කලා ශිල්පිනියකට ඒ දේ කරන්න පුළුවන් නම්, ඒක ඒ අයගේ තියෙන දක්ෂතාවක්. අපි කරන ඕනම දෙයක් කැමරාවක් ඉදිරියේදී කරන්නේ ඇත්ත වගේ රඟපෑමක්. රඟපෑම බොරුවක් නෙවෙයි. ඒක ඇත්තක්. හැම වෙලාවෙම මට, මම කරන දේ ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනෑ. එහෙම විශ්වාසයෙන් යුතුව කරන්න බැරි චරිත මම භාරගන්නෙ නැහැ. සිනමාව ඇතුළේ ඔබ දකින හීනය කුමක්ද? ජනප්‍රිය නිළිය වෙන එක අපේ අතේ තියෙන දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ අතෙයි. මම දැනට ඇවිත් තියෙන දුරත් එක්ක ගත්තාම යම්කිසි ප්‍රමාණයකට ප්‍රේක්ෂකයන්ගේ ආදර ලැබිලා තියෙනවා. මම හිතනවා ජනප්‍රිය පැත්තෙන් යම් දුරකට ඇවිත් තියෙනවා කියලා. දැන් මට දක්ෂ චරිතාංග නිළියක් වෙන්නයි ඕනෑ. කවදාහරි මම කලාවෙන් අයින් වුණ දවසක මම හොඳ රංගන ශිල්පිනියක් විදිහට මතකයේ තියෙන තැනකට එන්න මට අවශ්‍යයි. ඔබ ටෙලි තිරයට ඈතයිද? හොඳ චරිත ලැබුණාම මම ටෙලි නාට්‍යවලට දායක වෙනවා. නමුත් මගේ මුල් අාදරය තියෙන්නේ සිනමාවේ. ඔබට ලැබුණ ජනප්‍රියත්වය යොදාගෙන එයින් වෙළෙඳ ලෝකයේ කරන ප්‍රචාරණ ගැන වගකීම් සහගතද? සමාජයේ ප්‍රතිරූපයක් ගොඩනැගුණට පස්සේ මිනිස්සු අපි දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් අපි දිහා බලලා තීරණ ගන්නවා. අපි දිහා බලලා හැදෙනවා. ඒ නිසා අපි සමාජයට දෙන්න ඕනෑ හොඳ දේවල් කියලා මම විශ්වාස කරනවා. මම දෙයක් කියනවා නම් කියන්නේ ඒ ගැන වගකීමෙන් කියන තැනක ඉන්නේ. සුරංජි පතිරණ
 

More News..