brand logo

ජයන්ත චන්ද්‍රසිරිගේ තේරීම

17 August 2019

උදාරි වර්ණකුලසූරිය කියන්නේ බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ ආදරය නිසාම මෙවර දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා හිමි කරගත්ත උදාරි මේ දිනවල අලුත් සිනමා නිර්මාණයකට සුදානම් වෙමින් ඉන්නේ. ඒ ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම සිනමා නිර්මාණය. උදාරිට ලැබුණු චරිතය සහ මේ දිනවල වැඩකටයුතු ගැනයි සති අග අරුණ මේ කතාබහ. මේ දවස්වල කාලය වෙන් කරලා තියෙන්නේ මොන වගේ නිරමාණවලටද? ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම සිනමා නිර්මාණය වන ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහ සයිමන් නවගත්තේගම මහතාගේ ‘සංසාර ආරණ්‍යය අසබඩ’ කෘතිය හරහා නිර්මාණය වන ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සඳහා තමා වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. ජයන්ත චන්ද්‍රසිර ගේ අලුත්ම සිනමා නිර්මාණයේ රාජිනී චරිතයට තෝරා ගත්තාම මොකද හිතුණේ? ලොකු සතුටක් දැනුණා. පෙර පිනක්, භාග්‍යයක් විදියට මම ඒ චරිතය දකින්නේ. ඒ විතරක් නෙවෙයි ඒ චරිතය මට ලැබුණු ලොකු අභියෝගයක්. ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාසයක් තියලා මේ චරිතය භාර දුන්න එකට. මොකද ඔහු මේ පිටපත ලියද්දි හිතේ මැවුණු රාජිනීගේ චරිතය මම හරියට නිරූපණය කරයි කියලා මා ගැන තැබූ විශ්වාසයට. මම ඒ විශ්වාසය පළුදු කරන්නේ නැහැ. කැපවීම් එක්ක ඒ චරිතය ඒ විදියටම ඉටු කරනවා කියන පොරොන්දුව මම දෙනවා. ඇයි මේ රාජිනී මේ තරම්ම අභියෝගයක් වෙන්නේ? මේ චරිතය එක්දහස් නවසිය පනහ හැටේ වගේ කාලය දක්වා දිවෙන චරිතයක්. මොකද මේ රාජිනී කියන්නේ ඒ කාලේ හිටිය ජනප්‍රියම සිනමා නිළිය. හැබැයි කවදාවත් ඇය හොඳම නිළිය වෙලා නැහැ. මොකද ඇයගේ රංගනය ගත්තම අසාර්ථකයි. නමුත් මොකක්දෝ වාසනාවකට හැම අවුරුද්දකම ජනප්‍රිය නිළිය වෙන්නේ රාජිනී. ඉතින් මම මේ නිර්මාණය තුළ සැබෑ ජීවිතය, ඒ වගේම අසාර්ථක නිළියකගේ භූමිකාව වගේම චිත්‍රපටය ඇතුළත චිත්‍රපට නිළියකගේ භූමිකාව කියන චරිත තුනම මට මේ එක චරිතයක් තුළ කරන්න වෙනවා. ඒකයි මම කිව්වේ මට ලැබුණු හොඳම අවස්ථාවක් වගේම ලොකුම අභියෝගයක් කියලා. විශේෂයෙන්ම තමා තමාගෙන් මිදිලා රඟපෑම කියන්නේ මොකක්ද කියලා හරි හැටි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා. සිනමාව කියන්නේ මොකක්ද කියලත් හදාරන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ අතර මෙහි ආදරයත් හරි විශේෂයි, කවදාවත් ශාරීරිකව හම්බ වෙන්න බැරි ආදරයක් මෙහිදී මුණගැහෙනවා. එතැන තියෙන්නේ ආදරයම විතරයි, හරි ලස්සනයි ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ආදරය අල්ලලා තියෙන තැන. ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද? වී. සිවදාසන් මහතාගේ ‘දෙවන යුද්ධය’, ජැක්සන් ඇන්තනී මහතාගේ ‘එකගෙයි සොකරි’, සරත් වීරසේකර මහතාගේ ‘ශ්‍රී සිද්ධා’ කියන චිත්‍රපට තුන තමා එන්න තියෙන්නේ. ලැබුණු ඇගයීම් සහ සම්මාන ගැන මොකද හිතෙන්නේ? ඔව්. මම ඒක දකින්නේ භාග්‍යයක් විදියට, ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන එක. මට අන්තිමට ලැබුණු සම්මානය ලැබුණේ දෙරණ ලක්ස් සිනමා සම්මාන උළලේ ජනප්‍රියම නිළිය සම්මානය. මට තවමත් මතකයි මට ලැබුණු පළමුවැනි සම්මානය 2011 දී සුමති ටෙලි සම්මාන උළෙලේදී ඒක ලැබුණේ. මගේ පළමුවැනි ටෙලි නිර්මාණය වන ‘බොඳ මීදුම්’ නාට්‍යයේ රංගනය වෙනුවෙන්. හැම රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වගේම මමත් ආස ජනප්‍රියම සම්මානයට වඩා හොඳම නිළිය කියන සම්මානය ගන්න. තාම මම ඒ හොඳම කියන තැනට ඇවිල්ලා නැහැ. එන්න උත්සාහ කරන කෙනෙක්. හරියටම ඒ තැනට ආපු දාට මට ඒ නිසි ඇගයීම ලැබෙයි කියලා විශ්වාස කරනවා. ජැක්සන් ඇන්තනී මහතාගේ ‘එකගෙයි සොකරි’ ත් උදාරිට විශේෂයි නේද? ඔව්, ජැක්සන් ඇන්තනී මහතාගේ අධ්‍යක්ෂණයට ලක්වීමත් ලොකු භාග්‍යයක්. මොකද ජැක්සන් මහතා කියන්නේ උල්පතක්. ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඒ නිර්මාණය කළේ බිබිල ප්‍රදේශයේ, මාසයක් විතර අපි එහේ හිටියේ,. ඒ මාසයක කාලය තුළ ඉගෙන ගත්ත, ඔහුගෙන් ලබාගත්ත ගුරුහරුකම් අනන්තයි. අද මට මේ ජයන්ත මහතාගේ අලුත් නිර්මාණයට අවස්ථාව ලැබෙන්නෙත් ‘එකගෙයි සොකරි’ චිත්‍රපටයේ මගේ රඟපෑම නිසා. මොකද සුනිල් ආරියරත්න සර් පවා කිව්වා මගෙන් ජීවිතේට බලාපොරොත්තු නොවුණු චරිත නිරූපණයක් ඒ තුළින් දැක්කා කියලා. ඉතින් ඒ නිසාම තමා ජයන්ත චන්ද්‍රසිරි මහතාත් මාව ඔහුගේ නිර්මාණයට අරගෙන තියෙන්නේ. ඉදිරියේ ලැබුණොත් හොඳයි කියලා ආසාවෙන් ඉන්න චරිත මොනවද? පිරිමියෙක්ගේ චරිතයක් රඟපෑමට මම ආසයි. මොකද කාන්තාවක් වෙලා පිරිමි චරිතයක් කරන එක ලොකු අභියෝගයක්. ඒත් මම ආසාවෙන් ඉන්නවා ඒ වගේ චරිතයක් කරන්න. අන්ධ චරිතයක් නම් මට මේ වෙද්දීත් ලැබිලා තියෙනවා. ඒක සත්‍ය කතාවක් ඇසුරින් කරන්නේ. ඉදිරියේදී එහි රූගත කිරීම් ආරම්භ වෙන්න තියෙනවා. චරිත තෝරා ගනිද්දී විශේෂයෙන්ම බලන්නේ මොකක්ද? මෙහෙමයි, අධ්‍යක්ෂවරයා මතම ඒක තීරණය වෙන්නේ නැහැ. බොහෝ දුරට මම බලන්නේ මට ලැබෙන චරිතය සහ ඒ චරිතයට මට කොච්චර සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක තමා ප්‍රධාන වෙන්නේ. සිනමාවටද පුංචි තිරයට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ? මම සිනමාවට එන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ නිර්මාණයකින්. හැබැයි මම මුලින්ම ප්‍රේක්ෂක ආදරය ලබන්නේ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යය තුළින්. ඒ නිසා පුංචි තිරයද රිදී තිරයද කියන එක මම දෙකක් විදියට දකින්නේ නැහැ. හැබැයි මොකක්දෝ සතුටක් තියෙනවා චිත්‍රපටවලට දායක වෙන්න ලැබෙද්දී. වේදිකාවට ආරාධනා නැද්ද? වේදිකාවට ආරාධනා ලැබිලා නම් තියෙනවා. ඒත් වේදිකාවේ රඟපෑමට තරම් මට පෞරුෂයක් නැහැ. මොකද මට මගෙන් මිදිලා සජීවීව ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන්න තරම් මට තවම ශක්තියක් නැහැ. ඒකයි මම කිව්වේ මට පෞරුෂයක් නැහැ කියලා. ඇත්තටම වේදිකාවෙන් ආව නළු නිළියන් ගාව තියෙන්නේ පුදුම පෞරුෂයක්. දැන් බලන්නකෝ ශ්‍රියන්ත අයියා, කුසුම් අක්කා එහෙම. එයාලා ළඟින් හිටගෙන ඉද්දිත් හරි ආසයිනේ, ලස්සනයිනේ. මම තවම එතැනට ඇවිත් නැහැ. ඒකට මම පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම වේදිකාව වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්නත් ඕනේ. එහෙම කාලයක් හොයාගන්නත් අමාරුයි මට. අවසාන වශයෙන් ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ මොනවාද? ප්‍රේක්ෂකයන්ට මම හිස නමා ආචාර කරනවා. ගොඩක් මම එයාලට ආදරෙයි. මගේ ජීවිතේ හොඳ කාලවලදී වගේම නරක කාලවලදීත් මගෙත් එක්ක ඉන්න ප්‍රේක්ෂකයෝ මට ඉන්නවා. ඉතින් මගේ ප්‍රේක්ෂකයෝ මාව බලාපොරත්තු වෙන්නේ කවදා වෙනකම්ද ඒ වෙනකම් ඒ අය එක්ක, නිර්මාණ එක්ක මම ඉන්නවා කියන එක තමා කියන්න ඕනේ. අනූෂා රණසිංහ
 

More News..