අවාසනාවන්ත තැනකට රට ඇද දැමූ දේශපාලකයන් අතින් සම්මාන ගන්න මට බැහැ
පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ 2017 වසර වෙනුවෙන් හොඳම නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමිකර ගන්නා ලද්දේ සේමිණි ඉද්දමල්ගොඩ විසිනි. ඈ සිය සිනමා රංගන ජීවිතයේ හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මාන ලැබූ ප්‍රථම අවස්ථාවයි ඒ. ඈ ලද සම්මානය ගැනත් ඇගේ ජීවිතය ගැනත් අපි ඈ හා කතා කළෙමු.
“මම කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ. විවාහ වුණේ පොලිස් නිලධාරියෙක් එක්ක. එයාගෙ නම ධම්මික. දවසක් මඟුල් ගෙදරකදි දයාන් විතාරණ අයියා මගේ ෆොටෝ කීපයක් ගත්තා. ශ්‍රියාණි අමරසේන අක්කට දයාන් අයියා මේ ෆොටෝ පෙන්නලා තිබ්බා. ශ්‍රියාණි අක්කගේ ‘ඉරබටු තරුව’ ට ශ්‍රියාණි අක්කගෙ තරුණ කාලේ රඟපාන්න මට අවස්ථාව දුන්නා. දයාන් අයියයි, ශ්‍රියාණි අක්කයි නිසා මම ඉතාම අහම්බෙන් නිළියක් වුණා.”
සේමිණි සීමිත ටෙලි නාට්‍ය ගණනක හා චිත්‍රපට ගණනක රඟපා ඇතත්, ඒවායින් ඈ ප්‍රේක්ෂක හදවත්හි නොමැකෙන සටහන් තබා ඇත.
“ඇත්තෙන්ම මම සිනමා නිළියක්. ටෙලි නාට්‍යවල රඟපාලා තියෙන්නෙත් හොඳට තෝරාගෙන. මේ කාලේ හැදෙන නාට්‍ය ගණනාවකටම මට ආරාධනා ආවා. අද බොහෝ අය කරන්නෙ නිර්මාණ නෙවෙයි, නිෂ්පාදන. නළු නිළියන්ට තියෙන්නෙ කුලී වැඩ. දවසට මෙච්චරයි කියා නිෂ්පාදකම තීන්දු කරලා කතා කරන්නේ. මම කුලියට රඟපාන්නෙ නෑ. අනෙක හොඳ නිර්මාණ ඉතාම අඩුවෙන් හැදෙන්නෙ.”
තමන්ට ලැබුණ සම්මානය ගැන ඇයට විශේෂ සතුටක් නැත.
“මම රඟපෑ හැම නිර්මාණයක් වෙනුවෙන්ම මම සම්මාන සඳහා නිර්දේශ වුණා. ඒත් සම්මාන ලැබුණේ නෑ. මට අවුරුදු විස්සක් ගියා හොඳම නිළිය සම්මානය ලැබෙන්න. මම සිනමාවේ රඟපාලම නැද්ද එතෙක්. ඒ නිසා මම මේ සම්මාන උළෙලට ගියෙත් නෑ. මා වෙනුවෙන් සම්මානය අනෝමා අක්කා ගත්තා කියලා දන්නවා ඇරෙන්න තවම මම ඒක දැක්කෙවත් නෑ.
ජනාධිපති සම්මාන උළෙල ඈ වර්ජනය කර ඇත්තේ රටේ වර්තමාන පාලකයන් කෙරෙහි ඇති කලකිරීම හේතුවෙනි.
“මට මේ උළෙලට එන්නැයි පුන පුනා කතා කරද්දි මට හිතුණා සම්මානයක් ඇති කියා. රටේ අද තියෙන අවාසනාවන්ත තත්ත්වයට ඇද දැමූ දේශපාලකයන් අතින් සම්මාන ගන්න මට අවශ්‍ය නෑ කියා මා හිතුවා. ශ්‍රියාණි අක්කගෙ අතින් මට සම්මානෙ ගන්න තිබුණ අවස්ථාව ගිලිහී යෑම ගැන නම් දුකයි.”
චිත්‍රපට, ටෙලි නාට්‍ය පමණක් නොව සේමිණි වේදිකාවේද ඇගැයීම් ලද රංගන ශිල්පිනියකි.
“බුද්ධික දමයන්තගේ ‘පුංචි ආදර බල කිරීමක්’ නාට්‍යයේ හොඳම නිළියට රාජ්‍ය නාට්‍ය උළෙලේ නිර්දේශ ලබන්නත් මට පුළුවන් වුණා. මාව අමතක නොවන ලෙස ‘නේත්‍රා මංගල්‍යයේ’ පුන්නි චරිතය නිසා අදත් ගම්වලදී වැඩිහිටියෝ පුන්නි දුවේ කියා කියන්නේ. ස්වයංජාත, කරුවල ගෙදර, කම්මිත්ත, වරාමල් වගේ නිර්මාණ මට විශේෂයි.”
සිනමාවේ සරාගී ගිනි සිළුවක් ලෙස යොවුන් හදවත් හොරාගන්නට ඇයට විනාඩි කීපයක චිත්‍රපට රංගනයකින්ම හැකි විය.
උදයකාන්තගේ ‘යකඩ පිහාටු’ මම මාර සෙක්සි කියලා රටේම පැතිරුණානේ?
‘‘ඒකෙන්. ඇත්තෙන්ම මම ඒ කාලේ මගේ දුව කුමලිට මව්කිරි දෙන කාලේ. අනේ මන්දා මම එච්චරම සෙක්සිද?’’
සේමිණිට හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානය ලැබෙන්නෙ ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටයේ රංගනයටය.
“අම්මෝ, ප්‍රසන්න අයියා නොවෙන්න ඒ චරිතය හැදෙන්නෙ නෑ. මාර ඩිරෙක්ටර් කෙනෙක්. සියුම්ව රංගන ශිල්පීන් මෙහෙයවන්න අති දක්ෂයෙක්. මම හරියට කැප වුණා ඒ චරිතයට. ගොඩක් කොටස් තනියම රඟපාන්න තිබ්බේ. ඇයි ඒකේ පාපෝච්චාරණය කරන මලමිනියක්නෙ මම.”
සේමිණි මිනී පෙට්ටියකට වැද මියගොස් සිටින දසුන් සහිතව රඟපෑ අවස්ථා දෙකක් තිබේ.
“කළුවර ගෙදර ටෙලි නාට්‍යයේ එතනාගේ මිය යෑම. නහයට පුළුන් ගහලා ඇත්තටම මළා වගේ. මට හොඳටම ඇඬුණා. ඇත්තම කියනවා නම් එතැනදි කැමරාමන් ඇතුළු අයත් අධ්යක්ෂ සුදත් රෝහණටත් කඳුළු ආවා. ඒක ජීවිතය ගැන වෙනම පාඩමක් වගේ. 28 ෆිල්ම් ඒකෙ නම් මීනී පෙට්ටියේ මාරම සැපට හිටියා මං. හොඳට කුෂන් කරලා හදලා තිබ්බේ. මම සෙට් එකේදි දවල්ට කාලා එහෙම මිනී පෙට්ටියට බැහැලා හොඳ නින්දක් දානවා .සෝෆා එකකට වඩා සැපට තිබ්බා ඒක. පෙට්ටියට වැටුණ ගමන් නින්ද යනවා.”
සේමිණිගෙ ආදරණීය දියණිය කුමලි නිළියක් වනවාට සේමීණි තුළ නම් කැමැත්තක් නැත.
“මගෙන් දුවව කමර්ෂල්වලට නාට්‍යවලට ඉල්ලනවා .මම කැමති නෑ එයා නිළියක් වෙනවට. මේ රටේ නිළියකට තියෙන තත්ත්වය ඔයා දන්නවනේ. කවදා හරි එයාගෙ කැමැත්තෙන් එයා නිළියක් වුණොත් ඔන්න මට කරන්න දෙයක් නෑ.”
සේමිණි වෘත්තීය රංගන ශිල්පිනියක් නොවේ.
“අපේ රටේ රඟපාලා ජීවත් වෙන්න බෑනේ. මට කම්පැනි එකක් තියෙනවා. ඉතින් ඒ ව්‍යාපාරයෙන් මිස රඟපෑමෙන් ජීවත් වෙන්න අදහසක් නෑ. මට රටපුරා විවිධ වැඩවල නිදහසේ ඉන්න මග හැදෙන්නේ ධම්මික නිසා. එයා දුවව ඇහැක් වගෙ රැකගෙන වගකීමෙන් වැඩ කරනවා.’’
සේමිණිට වර්තමානයේ ෂැම්පේන් නමින් බලු සුරතලෙක් සිටී.
“එයා තමයි මගේ ලව් එක. අම්මෝ කෙල්ලට වැඩිය මම බල්ලට ආදරෙයි අනේ. ඌ මාර හුරතල්.’’
ජයන්ත සුබසිංහ