brand logo

කඩවසම් නොවන නළුවෝ ඉන්නවා

25 September 2019

නන්දිපාලයි ගුණපාලයි ගැන මිනිස්සු හරියට කතාවෙනවා. නන්දිපාල කාලයක් තිස්සෙ එපාම එපා කරපු වැඩ කළත් නන්දිපාල ගැන අහිතක් හිතන්න ගොඩක් දෙනාගේ හිත් පෙලඹෙන්නේ නැහැ. ගුණපාලගේ චරිතයේ හොඳ නරක ගැන කතා කරන්න තවමත් කල් මදි. ඒ නිසා මේ චරිත දෙකම පිටුපස්සේ ඉන්න ජයන්ත මුතුතන්ත්‍රි එක්ක අපි මේ දෙන්නා ගැන විතරක් නෙවෙයි, ජයන්ත ගැනත් කතා කරන්න තීරණය කළා. මේ දවස්වල වේගයෙන් ජනප්‍රිය චරිතයක් වෙමින් පවතින ගුණපාල ගැන මොනවද කියන්න තියෙන්නේ? නෝ පාර්කින්හි ගුණපාල රූපවාහිනියෙන් මට ලැබෙන ප්‍රධාන චරිතවලින් හත්වැනි හෝ අටවැනි ප්‍රධාන චරිතය. සිඳුහි නන්දිපාල, හිරු දරුවෝ ගස් සෝමෙ ගැනත් ඒ ඒ කාලවල රසිකයන්ගේ අවධානයක් තිබුණා. නෝ පාර්කින් එකේ ගුණපාලගේ චරිතය මතුපිටින් හාස්‍ය මතුකළත් චරිතය ඇතුළෙ තියෙන්නේ ඛේදවාචකයක්. මෙයා රංගනය උගන්වන ගුරුවරයෙක් විදිහට පෙනී හිටියට ඒ ගැන සුදුසුකම් තියෙන සැබෑ ගුරුවරයෙක් නෙවෙයි. අපි පත්තරවල නිතරම දකිනවා රංගන වරම් කියලා. හැබැයි ඒ දේ උගන්වන එම දැන්වීමේ සඳහන් වෙන ගුරුවරයා මොනතරම් පොහොසත්ද කියලා කවුරුත් දන්නෙ නැහැ. සමහර විට මේ දේවල්වලින් ඒවාට එන අහිංසක ළමයි ගොදුරු බවට පත්වෙනවා. මේ යථාර්ථයයි ගුණපාලගේ චරිතයෙන් කතාකරන්නේ. මේ ගැන සැබෑ ගුරුවරු හිත් රිදීම් ඇතිකර ගන්න අවශ්‍ය නැහැ. සිඳුහි නන්දිපාල ගැනත් ජයන්තට ලොකු බැඳීමක් තියෙනව නේද? සිඳු කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ කිසියම් හැරවුම් ලක්ෂ්‍යයක්. ඉන්දීය ටෙලිනාට්‍ය මතම හිටි ප්‍රේක්ෂකයෝ සිඳු ආවට පස්සේ එයින් දුරස්වෙලා සිඳුව වැලඳ ගත්තා. නන්දිපාල කියන්නේ සිඳු ටෙලිනාට්‍යයේ ප්‍රශ්න ඇතිකරන්නානේ. දුෂ්ටයාගේ චරිතයක් වුණාට නන්දිපාලව මිනිස්සු ආදරයෙන් වැලඳ ගත්තා. නන්දිපාල නිසා මිනිස්සු මම දිහා අනාදරයෙන් බලන්නෙ නැහැ. බස් එකේ ගියත් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි ඒ ජයන්ත මුතුතන්ත්‍රිගෙන් නෙවෙයි, නන්දිපාලගෙන්. ජයන්ත මේ ගමන එන්න පටන් ගන්නෙ කොතන ඉඳන්ද? මගේ ගෙවල් තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බරවකුඹුක ග්‍රාමයේ. වේදිකාවෙන් තමයි පටන් ගත්තේ. අපි අයත් වුණේ මහවැලි කලාප වලව විශේෂ බල ප්‍රදේශයට. එම හවැලි කලාප හතේ නාට්‍ය උළෙලක් පැවැත්වූවා. ඒක මහ ඉහළින් කෙරුණ වැඩක්. මේ වෙද්දි නම් ඒක නැහැ. 93 අවුරුද්දේ මහවැලි කාලප නාට්‍ය උළෙලේ මම හොඳම නළුවා බවට පත්වෙනවා. ඊට පස්සේ තමයි මම කොළඹ එන්නේ. කොළොම්තොටින් ජයන්තට රංගන ක්ෂේත්‍රයේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද? පරාක්‍රම නිරිඇල්ලයන් හා එච්.ඒ. පෙරේරා එකතුවෙන් හදන ජන කරළිය නාට්‍ය කණ්ඩායමට ඈත පළාත්වල ළමයි සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනවා. එහෙම ආපු ළමයි හයසීයකින් මාත් ජන කරළියට තේරෙනවා. ඊට පස්සේ තමය මම ජාතික මට්ටමෙන් වැඩ කරන්නේ. ජන කරළිය ජයන්තව ජාතික මට්ටමේ සම්මානලාභී නළුවෙක් දක්වාම රැගෙන යනවා නේද? ජන කරළියේ නිපදවෙන පරාක්‍රම නිරිඇල්ලයන්ගේ චරන්දාස් වේදිකා නාට්‍යයේ චරන්දාස්ගේ චරිතය වෙනුවෙන් 2006 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සම්මානය ලැබෙනවා. ඊට ප්සසේ පරාක්‍රම නිරිඇල්ලගේ මැටි කරත්තය වේදිකා නාට්‍යයේ සකාර චරිතය රංගනය වෙනුවෙන් නැවත 2012 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ලබනවා. සම්මානය ඔබගේ රංගන දිවියට කොතරම් පිටුබලයක් වූවාද? වැඩියෙන්ම සාම්මානයට පාත්‍ර විය යුත්තේ ජනතා සම්මානයටයි. සම්මානයට පාත්‍රවෙන්න කවුරුත් හරිම කැමතියි. ඒක කාටත් පොදුයි. නමුත් සම්මානය නිවැරදි විය යුතුයි. මේ දිනවල සම්මාන තීරණය වෙන්නෙ එස්.එම්.එස්. වලින්නේ. මහ පොළොව මත ජිවත්වෙන චරිත සමග අප දකින ඔබ තුළ සිටින සාමාන්‍ය මිනිසා ගැන පවසනවා නම්? රංගන ශිල්පියා කරන්නේ සමාජයේ සාමාන්‍ය චරිත පවතින ආකරය ප්‍රතිනිර්මාණය කිරීමනේ. ඒක අපි කැමරාව ඉදිරියේ හෝ වේදිකාවේ කරන්න පෙර සාමාන්‍ය ජීවිතයේ කරලා විඳලා තියෙනවා. නළුවෙක් වෙන්න කඩවසම් පෙනුමක් ඕනෑ කියල ඔබ විශ්වාස කරනවද? එහෙම මතයක් සමාජගත වෙලා තිබුණා නමුත් ඒක බොරුවක්. ලෝක සිනමාව ගත්තම එක් බොරුවක් කියලා ඔප්පුවෙලා තියෙනවා. හැදෑරීම තුළින් රංගනය කරනකොට හැඩේ නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ හැකියාව. හැකියාවට දැනුම එකතු වුණාම තවත් වටිනවා. ජයන්ත අද ඔබ වෘත්තීය නළුවෙක්ද? ඔව්, මගේ වෘත්තීය කටයුත්ත මේකම තමයි. වෘත්තීය මටට්මෙන් මේක තුළ පවතින්න පුළුවන්ද? කලාකරුවා කියන්නේ මේ සමාජයේ ඉන්න මනුස්සයෙක්නේ. සමාජයේ තියෙන සියලු ප්‍රශ්න ටික කලාකරුවාටත් පොදුයි. මේ පොදු කාරණාව තුළ සමාජයේ කලාකරුවාට හිමි තැනක් තියෙනවද? ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියන එකනේ මේ අහන්නේ? ඒක අසීරුයි. ඒකෙන් ලැබෙන තෘප්තිය, ලැබෙන වේතනය පරිස්සම් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ජයන්ත චරිතයක් ලැබුණ සැණින් ඒ ගැන විනිශ්චයක යෙදෙනවද? චරිතය ලැබෙන්න කලින් ඒ ගැන කතාබහක යෙදෙනවා. එතැනදි මට තේරෙනවා මට මේක කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සෙ මේක කිරීම තුළින් සමාජයට කිසියම් වටිනාකමක් ලැබෙනවද කියන තර්කය මා තුළින් ගොඩනගාගෙන ඒකට සාධාරණයක් ඉටුකරන්න උත්සාහ කරනවා. මේ අතර චරිත ප්‍රතික්ෂේප වීම් වෙනවද? ප්‍රතික්ෂේපවීම් තවම වෙලා නැහැ. ජයන්තට තවමත් තිරයේ පෙම් කරන්න නොහැකි වෙලා තියෙනවා නේද? මගේ වයසත් එක්ක මට ලැබිලා තියෙන්නේ පියා, බිරින්දෑවරු දෙන්නෙක් ඉන්න සැමියා වගේ චරිත. උදාහරණයක් ගත්තොත් මට සෝමරත්න දිසානායකගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හිමිවෙනවා. එහි මම හේන් ගොවියෙක්, දරුවො දෙන්නෙක්ගේ තාත්තෙක්. එතකොට මම විවාහ වෙලත් නැහැ. තරුණයා සහ පෙම්වතාගේ චරිතය මට තවම ලැබිලා නැහැ. රංගන දිවියේ එවන් ඉරණමක් හිමිවූවාට පෞද්ගලික දිවියේ ජයන්ත සාර්ථක පෙම්බරයෙක් වග සැලයි? ඔව්, මට ඉන්නවා පුතෙක්. එයාගේ නම භහති දුෂ්‍යයෙන් මුතුතන්ත්‍රි. එයාට තවම මාස දහයයි. මගේ බිරිඳ අරුණි ජයවර්ධන. ඇයත් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනියක්. සුරංජි පතිරණ
 

More News..