brand logo

දෙවැනියා වුණාට අද මම ඉහළටම ගිහින්

29 July 2019

මලිත් පෙරේරා කියන්නේ ප්‍රථම සුපර් ස්ටාර් තරගයේ දෙවැනි තැන දිනාගත් තරුව. නමුත් මලිත් තමන්ගේ කිරුළ පැත්තකින් තියලා ඔස්ට්‍රේලියාවට ගියා. අද ඔහු ගායකයෙක් ලෙස ඉදිරියට නාවත් ස්ථාවර තැනක ඉන්නවා. පසුගිය දවසක කෙටි නිවාඩුවක් සඳහා මලිත් ලංකාවට ආවා. කාර්යබහුල වුණත් ඔහු මොහොතක් අපට කතා කරන්න අමතක කළේ නැහැ. ගිය වර අජිත් සමග කතාබහ කළා වගේ මෙවර අපි මලිත්ගෙන් ප්‍රශ්න කළා. සම්පූර්ණ නම මොකක්ද? මලිත් නිරංග පෙරේරා උපන් දිනය කියන්න කැමතිද? 1987 මාර්තු 11. දැන් හොඳ කාලේ නේද? හැමෝම කියනවා. විශේෂයෙන්ම ගෙදර අය. අම්මට ඕන ඉක්මනින්ම මාව බන්දලා දෙන්න. නමුත් මම සූදානම් නැහැ. අතීතය තාමත් වේදනා දෙනවද? අතීතයෙන් බොහෝ දේ ඉගෙන ගත්තා මිසක් අතීතය ගැන සිත සිතා දුක් විඳින්නේ නැහැ. නමුත් හදාගත්ත ජීවිතේ අපිළිවෙළ කරගන්න බැහැ. කොහොමත් මම පිළිවෙළට ජීවත් වෙන කෙනෙක්. අවුරුදු 13ක් පැරණි සුපර් ස්ටාර් වේදිකාවට යමුද? මාර සතුටක් දැනෙන්නේ. ලංකාවේ පළවැනි සුපර් ස්ටාර් තරගයේ අවසාන මහා තරගය නියෝජනය කිරීමේ භාග්‍යය ලැබුණා. මම හිතන්නේ ඒක මම ලබපු ලොකුම භාග්‍යය. එදා මම ඉස්කෝලේ යන අවුරුදු දාහතක කොල්ලෙක්. මටත් හිතාගන්න බැහැ මට ලැබුණ අගය කිරීම. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මගේ නම කියලා කෑගහනවා තවමත් මගේ දෙසවනේ දෝංකාර දෙනවා. නමුත් ඔබට දිනන්න බැරිවුණා? නමුත් මම ජීවි​තේ දිනුවා. අනික් අය පැරදුණා කියලද ඔබ කියන්නේ? මම කියන්නේ මම ගැන. අවුරුදු දාහතක කොල්ලෙක්ට මේ තරම් පුංචි වයසෙදි ලැබුණ ජනප්‍රියත්වය හා ආකර්ෂණය පරාජයක් කියලා මම කීයටවත් හිතන්නේ නැහැ. එතැන තමා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. නමුත් ඔබ සංගීතයට පිවිසෙන්නේ නැහැ. වාණිජ අරමුණක් වෙනුවෙන් විදේශගත වෙනවා? නැහැ, මම ලංකාවේ උන්නා. ගීත කිහිපයක් කළා. මතක මන්දිර ගීතය උපරිමයෙන් ජනප්‍රිය වෙනවා. නමුත් ලංකාවේ වගේ රටක සංගීතය විතරක් කරලා ජීවත් වෙන්න බැහැ කියන එක මම අවබෝධ කරගත්තා. කොහොමද ඔස්ට්‍රේලියාවට යන්න අවස්ථාව ලැබෙන්නේ? ප්‍රසංගවලට රටවල් කීපයකටම ගියා. ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට ගිය වෙලාවේ අවුරුදු උත්සවයකට සහභාගි වුණා. එතැනදි තමා ​ඔස්ට්‍රේලියාවට යන්න අවස්ථාවක් ඇති බව මට තේරුණේ. ලංකාවේ ඉන්න හිතුණේ නැද්ද? මෙහෙමයි, අවස්ථා දෙකක් ආවා. ඒකත් විශ්වවිද්‍යාල වරම. කැම්පස් ගිහින් ලංකාවේ සංගීතයත් කරගෙන ඉගෙන ගන්නවා කියලා. දෙවැනි එක විදෙස්ගත වෙලා ජීවිතේ හදාගන්නවද කියන එක. කලාවට ආසයි. නමුත් මොන දේ කරන්නත් ස්ථාවර වෙන්න ඕන. ඒක නිසා ඔස්ට්‍රේලියාවට යන්න තීරණය කළා. ඔබ දිනුම්ද? මම දිනුම්. අද මම හොඳ තැනක ඉන්නවා. වරලත් ගණකාධිකාරීවරයෙක් හැටියට මම සේවය කරනවා. මෙතැනට එන්න ලොකු කට්ටක් කෑවා. නමුත් අද සාර්ථකයි. ඇයි එච්චර කට්ටක් කෑවේ? අවුරුදු 20න් මම ඔස්ට්‍රේලියාවට ගියා. ලංකාවේ ගමක ජීවත්වෙලා හිතාගන්න බැරි පරිසරයකට ගියාම ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඉංග්‍රීසි දන්නේ නැහැ, ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගෙන ගත්තට ගමේ භාවිතයක් නැහැ. බොහෝ තැන්වලදි අසරණ වුණ අවස්ථා තිබුණා. නමුත් මම වැටුණේ නැහැ. හැම දෙයක්ම අතෑරලා ආවේ ජීවිතේ දිනන්න. ඒ අරමුණ වෙනුවෙන් මම සටන් කළා. කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ? භාවිතයෙන්ම තමා. ඉංග්‍රීසි චිත්‍රපට වැඩි වශයෙන් බැලුවා. වුවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? මගේ තාත්තා හැමදාම මගේ හෙවණැල්ල වගේ උන්නා. අක්කලා දෙන්නත් එහෙමමයි. මට උපරිම සහයෝගය ලබාදෙනවා. ඔබ ලංකාවට එන්නේ බොහොම අඩුවෙන් නේද? මම මෙහෙට ආවේ අරමුණක් වෙනුවෙන්. ඉතින් හැම වෙලාවෙම ලංකාවට දුවගෙන එන්න බැහැ. මුලින්ම අරමුණ. කීප සැරයක් ආවා. තාමත් ඔබට මිනිස්සුන්ට මතකද? අපෝ මතකයි. මගේ ගීතයන් මතකයි. කොහොමත් සුපර් ස්ටාර් කියන සැණකෙළියේ ආරම්භය අපි. ඒක නිසා හැමදාම අපිව මතක තියෙයි. සංගීතය අස්ථාවර නිසාද අතහැරියේ? ලංකාවේ සංගීතය කරලා ජීවත් වෙන්න බැහැ. හැබැයි ස්ථාවර වෙලා මගේ ගමන ආරම්භ කරනවා. දැනටමත් ඇල්බම් එකක් කරන්න ගීත සූදානම් කරනවා. ඔස්ට්‍රේලියාවේදි ඉංග්‍රීසි ගීත කීපයකුත් ගායනා කළා. ඔ​බේ පෙනුමත් වෙනස් වෙලා නේද? මහත්වෙලා. ඉස්සර මම ගොඩක් කෙට්ටුයි. මහත් වෙන්න කැමැත්තක් තිබුණා. කායවර්ධනය ශරීරයට වගේම මනසටත් හොඳයි. කොහොම හරි ඇඟ හදාගත්තා. මම හිතනවා මම නිරෝගියි කියලා. කොහොමත් මෙහේ සීනි භාවිතය හරිම අඩුයි. පරණ යාළුවෝ මුණගැහෙන්නේ නැද්ද? නැහැ. ලොකු ආශ්‍රයක් නැහැ. මොහාන් ඉන්නේ මෙහේ. ඉඳලා හිටලා අමිලට කතා කරනවා. ඇයි හොයලා බලන්නේ නැත්තේ? ඔබට හරිගිය නිසාද? එහෙම දෙයක් නෙවේ. මම ලංකාවේ නැහැ. අනික් එක මම හුඟක් කාර්යබහුලයි. අපි හැමෝටම ලොකු අවස්ථාවක් ලැබුණා. මම වුණත් මෙතැන ඉන්නේ සුපර් ස්ටාර් වෙච්ච නිසා. අනික් අයටත් එහෙමයි. අවස්ථාව ලැබුණා. හරියට ඒ අවස්ථාව පාවිච්චි කරපු අය ගොඩ ගියා. අනාගතේ ගැන නොහිතපු අය එතැනම ඉන්නවා. දෙවැනියා වීම ගැන අදටත් දුකක් නැද්ද? මම උනන්දු වෙලා වැඩ කළේ දෙවැනියා නිසා තමා. පළවැනියා වුණා නම් මම ඒ කිරුළ ගැන ආඩම්බර වෙවී ඉඳියි. හැබැයි දෙවැනියා වුණාම උත්සාහය වැඩි වෙනවා. අද මම මෙතැන ඉන්නේ දෙවැනියා වෙච්ච නිසා. නිවාඩුව ගත කරලා ලංකාවෙන් යනකොට දුකක් දැනෙන්නේ නැද්ද? ඇත්තටම දුකයි. නමුත් මම යන්න ඕනනේ. මට ද්විත්ව පුරවැසිකම ලැබිලා තියෙන්නේ. ඒ කිසා මම එහෙට යන්නම ඕන. නමුත් ඉක්මනින්ම ලංකාවට එනවා. ඇවිත් ඇල්බම් එකක් කරනවා. මොනවා වුණත් මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ සංගීතය නිසා. සටහන - ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..