පිනි පලස

අපේ අම්මා මන්සිවෙලා සල්ලි හම්බ කරලා මාවයි, මල්ලිවයි බලාගත්තා

අපේ රටේ අතිශය ජනප්‍රිය තරුණියක වන කාවින්ද්‍යා අධිකාරි ස්වකීය කුලුඳුල් සිනමා රංගනයෙන් ඉක්බිතිව දෙරණ සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළියගේ සම්මානයට බඳුන් වනවා. කලා පවුලක ඉපිද කලා දක්ෂතා රැසක් සමගින් ක්ෂේත්‍රයට දායාද වී සිටින කාවින්ද්‍යා සම්මාන ලැබීමෙන් පසුව පිනිපලසට සිය අදහස් දැක්වූවා.

කාවින්ද්‍යා සම්මාන සැන්දෑවට යන්නේ බලාපොරොත්තුවක් සමගද?
එදා ක්ෂේත්‍රයේ ගොඩක් අය ඇවිත් හිටියා. සම්මානයක් ගැන මට ලොකුවට බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. සම්මානය ගත්ත වෙලාවෙත් මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. හිතට ගොඩක් දේවල් ගලාගෙන ආවා. ඒත් හිතේ සතුට වැඩිකමට මගේ කටින් වචන පිටවුණේ නැහැ. සම්මානය ගත්ත ගමන්ම මම වේදිකාවෙන් බැහැලා ආවා. අම්මා ඇයට ලැබුණ සම්මානය ගන්න ගිය වෙලාවෙ තමයි මගේ සම්මානය ගැනත් පවසලා හැමෝටම ස්තුති කළේ.

‘ඝරසරප’ රංගනයට එක්වීමේ අත්දැකීම ගැන පවසනවා නම්?
මම කරන කිසිම දෙයකින් ලොකුවට කිසි දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මම ඝරසරප චිත්‍රපටයෙත් රඟපෑවේ සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මාව ඔහුගේ ඝරසරප චිත්‍රපටයට තෝරගෙන මගේ අම්මගෙන් අහලා තිබුණා, මාව ඒ චිත්‍රපටයට දායක කරගන්න පුළුවන්ද කියලා. මට ඒකම ලොකු අවස්ථාවක් වුණා. චිත්‍රපටයේ රඟපාලා එහි මංගල දර්ශනය දැක්ක දවසෙවත් මට මේකට සම්මානයක් ලැබෙයි කියලා ලොකු හැඟීමක් ඇතිවුණේ නැහැ. නමුත් චිත්‍රපටය නැරඹුවට පස්සෙ ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණ අය මට පෞද්ගලිකව කතාකරලා කිව්වා මේක සම්මානයක් ලැබෙන තරම් රංගනයක් කියලා. ඒකත් මට ලොකු ජයග්‍රහණයක්. නමුත් සම්මානයක් බලාගෙන නම් මම රඟපෑවේ නැහැ.

සම්මානය ඔබගේ රංගන දිවියට ලොකු වගකීමක් එක්කරලද?
ගොඩක් අය කියන දෙයක් තමයි මම පටන් ගත්තෙ ගොඩක් ඉහළ තැනකින් කියන එක. ඒ නිසා තෝර බේරගෙන හොඳ දේවල් කරන්න කියලා. මොකද ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා වැනි අග්‍රගණ්‍ය සිනමාකරුවෙක් එක්ක වැඩ කළාට පස්සෙ ඉදිරියට මම කරන දේ ගැන මට ගොඩක් හිතන්න වෙනවා. කොහොම වුණත් මම රංගනයට කිසිම ආසාවක් තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ වුණාට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මට ඒ ආසාව ඇතිකළා.

ඝරසරපවලින් පසුව ඔබට රංගනය සඳහා ඇරයුම් ලැබුණද?
ඔව්, ඝරසරපවලට පස්සෙ මට ආරාධනා හතරක් විතර ලැබුණා සිනමාවට. නමුත් මට ඒ කිසි දේකට යන්න ආසාවක් හෝ හිතක් ඇතිවුණේ නැහැ.

ඔබ ‘සක්කාරං’ වෙත සම්බන්ධ වෙන්නෙ?
මම සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්. සිරසෙ සුසාර මහත්මයා සක්කාරං පොත මගේ අතට දීලා කවි, මේ පොත කියවලා මේකෙන් මොකක් හරි හැඟීමක් අරන් මට කතාකරන්න කිව්වා. සක්කාරං පොත කියෙව්වට පස්සෙ මට පුදුමාකාර ආසාවක් ඇතිවුණා ඒ චරිතය රඟපාන්න. ඒ වගේ නිර්මාණයකින් ටෙලි නාට්‍ය රංගනයට එන්න ලැබීම ලොකු දෙයක්. මේ වෙද්දි මම මේ චරිතයටත් සාධාරණයක් ඉෂ්ට කරමින් ඉන්නවා කියලා මම හිතනවා.

අද වන විට කවිගේ කාලයෙන් වැඩි කොටසක් වෙන්ව තිබෙන්නේ කුමක් වෙනුවෙන්ද?
මම, මගේ අම්මගේ කලායතනය එරන්දතී කලායතනයේ වැඩ බාර අරගෙන කරගෙන යනවා. අවුරුද්දෙ මැද සහ අග වෙද්දි එහි වැඩත් එක්ක කාර්යබහුල වෙනවා. මෙතෙක් කල් එම ආයතනයේ වැඩ කරගෙන ගියේ මගේ අත්තම්මා කුමාරි බෝතොට මහත්මිය. ඇය දැන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා මම ඒ වැඩ කොටස භාර අරගෙන කරගෙන යනවා.

ඔබට කලාවට සම්බන්ධ වෘත්තීන් රැසකටම වරම් හිමිවෙලා. මෙයින් ඔබ වඩාත් කැමැත්තෙන් පසුවන්නේ කුමකටද?
රංගනය පැත්තෙන් මම පටන් ගත්තා විතරයි. ගායනය පැත්තෙනුත් පටන් ගත්තා විතරයි. නිවේදනයත් කලායතනයේ පරිපාලන කටයුතුත් පටන් ගත්තා විතරයි. මේ හැම දෙයක්ම ගත්තම මම ඉන්නේ ඒ මැද. මගේ වෘත්තිය විදිහට මෙයින් කොයි දේ තෝරගන්නවාද කියලා මට තවම නිශ්චිතව තීරණයකට එන්න බැහැ.

කාවින්ද්‍යා පාසල් සමයේ කලාකාරිනියක් වෙන්න සිහින මැවූ කෙනෙක්ද?
නර්තනය තමයි මම මුලින්ම හැදෑරුවේ. මම වියානා ජයසූරිය මහත්මිය යටතේ බැලේ නර්තනයත්, චන්න විජේවර්ධන මහත්මයා යටතේ උඩරට නර්තනයත් මට අවුරුදු දාහතරක් වනතුරු ඉගෙන ගත්තා. සංගීතය මගේ ජානවලින් උරුම වුණු දෙයක්. මගේ මව හා පියාගේ පැත්තෙන් ගායනය මට උරුම වුණ දෙයක්.

කාවින්ද්‍යා මේ කරමින් සිටින කලා කටයුතුවලින් වෘත්තීමය ලාභයක් අපේක්ෂා කරන්නේ නැද්ද?
අපේ අම්මා මෙච්චර කල් මමයි, මල්ලියි වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා තියෙනවා. ඇය කරන වෘත්තිය පහසු එකක් නෙවෙයි. කටහඬක් ආරක්ෂා කරනව කියන එක ගොඩක් ලොකු දෙයක්. අපේ අම්මා මහන්සිවෙලා සල්ලි හම්බ කරලා මමයි, මල්ලියි මේතාක් දුර බලාගත්තා. තවදුරටත් මම අම්මගෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ මල්ලි, ආච්චි, සීයා, අම්මා, ඒ අය වෙනුවෙන් මගේ අතේ සල්ලි තියෙනවා නම් එයාලගේ ඕනම දේකට වියදම් කරනවා. මොකද මට ඒ අය ගොඩක් වටිනවා.

දෙමාපියන්ගේ ජනප්‍රියත්වය මේ හැම දෙයක්ම ලබන්න ඔබට පිටුබලයක් වුණාද?
මගේ අම්මා, තාත්තා හා උඩ ඉන්න දෙවියන් නිසයි මට මගේ ජීවිතය ලැබිලා තියෙන්නේ. නමුත් අම්මා, තාත්තා ජනප්‍රිය වුණ පලියට දරුවන් ජනප්‍රිය වෙනවාමයි කියලා කොතැනකවත් නැහැ. ඒ අතින් මම ගොඩක් වාසනාවන්ත කෙනෙක්. කොතැනක ගියත් මට ගොඩක් ආදරය ලැබෙනවා. අම්මාගෙන් ලැබෙන වාසනා ගුණය මට මේ දේවල්වලට ආශිර්වාදයක් වෙලා තියෙනවා කියලා මට දැනෙනවා.

කුඩා වියේ පටන් ඔබ විඳින ප්‍රසිද්ධ කෙනෙක් වීමේ අත්දැකීම හැමවිටම හිතකාමී එකක්ද?
මේ තරම් ප්‍රසිද්ධියක් නොලැබුණා නම් කියලා හිතුණ වෙලාවකුත් තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ගොඩක් කම්කටොලුවලට මුහුණ දෙන්න වෙනවා. අපි හොඳක් කළත් අපිට හොඳක් අහන්න නොලැබෙන අවස්ථා වැඩියි. ඒ වෙලාවට ගොඩක් දුක හිතිලා තියෙනවා. ඒ හැම මෙහොතකම අම්මා කිව්වේ තමන් කරන දේ හරියට කරගෙන ඉවසලා ඉන්න පුරුදු වෙන්න කියලයි. මට දැන් අවුරුදු විසිතුනයි. මම දැන් තේරුම් අරන් තියෙනවා මේ දේවල් ලබන්න ගොඩක් පින් කරන්න ඕන කියලා. ඒ නිසා මේ තාක් වුණ කිසිම දෙයක් ගැන මම පසුතැවෙන්නෙත් මේ දේවල් මෙහෙම නොවුණා නම් කියා හිතන්නෙත් නැහැ.

එකම වේදිකාවක ඔබ සහ ඔබගේ මව සම්මානයට පාත්‍රවීමේ සතුට කොතරම්ද?
ඇත්තම කිව්වොත් අම්මටයි, මටයි ඒක ලොකු දෙයක් වුණා. මම හිතනවා අම්මා කෙනෙකුයි දුවෙකුයි එකම වේදිකාවක සම්මානයක් ගත්ත පළමු අවස්ථාව කියලා. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ ගෙවල්වල සම්මාන තියන්න තැනක් තියෙනවා. එතැන තමයි ලැබෙන සම්මාන තියන්නේ. නමුත් අපේ ගෙදර එක සම්මානයක්වත් තිබුණෙ නැහැ. අම්මයි, මමයි මේ සම්මාන දෙක තියන්න තැනක් වෙන් කරලා එතැන සම්මාන දෙක තියලා අපි දෙන්නම ඒ දිහා බලාගෙන හිටියා. ඒකෙන් අපිට පුදුමාකර සතුටක් දැනුණේ. අම්මා මගේ ඇස්දෙක වගෙයි. ජීවිතයේ ඇස්දෙක වගේ මමයි, මල්ලියි සම්මාන ලැබෙන මොහොතේ මල්ලි තාත්තා කෙනෙක් වගෙයි අපි දෙන්නම මැද්දට වෙලා හිටියේ.

සුරංජි පතිරණ