brand logo

ප්‍රථම රංගනය ගැන සමහරුන්ට හිතාගන්නවත් බැහැ

16 December 2019

"ෆේස් ටු ෆේස්” තිරගත වීමත් එක්කම කලා ලෝකයට පායා එන අලුත්ම තරුවක් තමයි ෂෙහානි පෙරේරා කියන්නේ. මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර සහ ඉදිරි කලා නිර්මාණ ගැනයි මේ කතාබහ.... face to face ඔබේ මුල්ම චිත්‍රපටය නේද? ඔව් මගේ පළමු චිත්‍රපටය facetoface තිරගත වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා. අවුරුදු 3 1/2 පස්සෙ තමයි චිත්‍රපටය තිරගත වුණේ. ඉතින් මේ දවස්වල ඒ වෙනුවෙන් ටිකක් කාර්යබහුලයි. ඊට අමතරව අධ්‍යාපන කටයුතු කරගෙන ඉන්නවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මංගල දර්ශනයට ආව කලාකරුවන් සහ පිරිස මට කිව්වා මේ මගේ ප්‍රථම රංගනය කියල හිතාගන්න බැහැ. ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා. ඒ වගේම facebook හරහා මට හොඳ ප්‍රතිචාර දක්වන පිරිස ඉන්නවා. මගේ යාළුවො නෑදෑ පිරිසගෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ එක්කම මං ආරාධනා කරනවා සියලුම දෙනාට චිත්‍රපටය නරඹලා මේ ගැන කතා කරන්න කියලා. අමතක නොවන අත්දැකීම් එහෙම ඇති? දර්ශන තලයේ හැම දවසක්ම අපි හැමෝටම අමතක නොවන අත්දැකීමක් කියලා මං හිතනවා. මොකද අපි හැමෝම එක පවුලක් වගේ එක අරමුණක් ඔස්සේ මහන්සි වුණා, කවදාවත් මං නවකයෙක් කියලා මට කිසිම කෙනෙක් දැනෙන්න දුන්නේ නෑ, ගොඩක් අත්දැකීම් එකතු කරගත්ත නිර්මාණයක්. විශේෂයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕනේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතා සහ නිෂ්පාදකවරු දෙදෙනා ශර්මාල් දිල්ශාන් මහතා සහ සහන් අබේවර්ධන යන අයට. ඒ වගේම ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා රොශාන් අයියා, ඕෂදී අක්කා, දිනෙත් අයියා ,රජිත අයියා මේ හැමෝටමත් ස්තුති වන්ත වෙනවා මට මගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න ලොකු සහයෝගයක් දුන්නට. අක්කා රංගන ශිල්පිනියක් නිසා ද රංගනයට යොමු වෙන්න හිතුවේ? රංගනයට, නර්තනයට පොඩි කාලෙ ඉඳන්ම ලොකු කැමැත්තක් තිබුණා. අක්කා රංගන ශිල්පිනියක් වීමෙන් ඒ ආසාව තවත් වැඩි වුණා කිව්වොත් මං හරි. ප්‍රවේගය තමයි අදටත් මං කැමැතිම චිත්‍රපටය. උදාරි පෙරේරා ගේ නංගි වීම ක්ෂේත්‍රයට එන්න වාසියක් වුණා ද? අක්කාවත් මමවත් කවදාවත් කැමැති වුණේ නෑ, හැකියාවක් නැතුව ක්ෂේත්‍රයේ ගමනක් යන්න. ඒ නිසයි හෙමින් ගමනක් යන්න උත්සාහ කරන්නේ. මට පළමුවන චිත්‍රපටය ලැබෙන්නේත් තිර පරීක්ෂණයකට මුහුණ දීලා. අක්ක නිසා ක්ෂේත්‍රයේ අඳුනන පිරස බොහෝයි. ඒත් ඒක කවදාවත් වාසියක් කරගන්න මං හිතලා නෑ. හැකියාවන් පෙන්නමින් රංගනය හදාරමින් ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න මහන්සි වෙනවා. ඉදිරියේදී ෂෙහානිව දකින්න තියෙන නිර්මාණ මොනවාද? මගේ දෙවන චිත්‍රපටය වන නාලක විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ කැලුම් ආර්යන් නිෂ්පාදනය කළ "ඊතලය" චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි. කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද? මට ඒ චරිතය ඇතුළේ දෙයක් කරන්න පුළුවන් කියලා දැනුනොත් සහ සමාජයට හොඳ දෙයක් දෙන්න පුළුවන් නිර්මාණයක් නම් මම අනිවාර්යයෙන්ම කරනවා. රාමුවකට කොටු නොවී එකිනෙකට වෙනස් වූ චරිත කරන්න ආසයි. ටෙලි නිර්මාණ භාර ගන්නේ නැද්ද? හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මට හොඳ නිර්මාණ මගහැරුණා විවිධ හේතූන් මත. චිත්‍රපට රූගතකිරීම් වෙනත් රූගතකිරීම් සහ අධ්‍යාපන කටයුතු නිසා ඒ සමහර චරිත රඟපාපු අයට සම්මාන පවා හිමිවුණා. ඉදිරියේදි ටෙලි නාට්‍ය වලිනුත් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආදරය ගැන මොකද හිතෙන්නේ, ආදරය කියන්නේ හරිම සුන්දර පිවිතුරු හැඟීමක්. ආදරය හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන හැඟීමක්. කෙනෙක්ව ජීවත් කරවන්නත් සතුටෙන් තියන්නත් වගේම ආදරය නිසා ජීවිතයක් නැති වෙන්නත් ඉඩ තියෙනවා. මේක මෙහෙමයි කියලා තනි නිර්වචනයක් ආදරයට දෙන්න බැහැ. මොකද ඒ හැඟීම එකිනෙකාට දැනෙන විදිහ සම්බන්ධතා අනුව වෙනස් වන නිසා මේ වෙද්දි පෙම්වතියක් ද? ඔව් අපි වැඩි විස්තරයක් කියමුද? ඒ කවුද කලාවට සම්බන්ධ කෙනෙක් ද කියලා? කලාවට නම් සම්බන්ධ නැහැ. වැඩි විස්තර පස්සේ කියන්නම් අනාගත බලාපොරොත්තු මොනවද? සමාජයට වැඩදායි පුද්ගලයෙක් වීම සහ සතුටෙන් නිදහස් මනසකින් ජීවත් වීම තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම වෘත්තීය ජීවිතේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.  
 

More News..