brand logo

99 බද්දට හම්බන්තොට වරාය චීනයට දීම පසුගිය රජයේ අත්වැරැද්දක් - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි

26 November 2019

හම්බන්තොට වරාය අවුරුදු අනූනවයක බද්දට චීනයට ලබාදීම පසුගිය රජයේ අත්වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඉන්දීය මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට විදේශීය ප්‍රවෘත්ති සේවාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය පිළිබඳව චීන රජය සමග යළි සාකච්ඡා පවත්වන බවයි. ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිවන්නට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇත. ඉන්දියාවේ අභිලාෂයන්ට එරෙහිව කටයුතු කිරීමට නොහැකි බවද අවධාරණය කර තිබේ. තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත්, කිසි විටෙක ජාතිවාදියෙක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 20ක් සටන් කළ මම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කළා. ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේ මම ඒකාධිපතියෙක් ලෙස ජනතාවට සිතෙන්න පුළුවන්. නමුත් මම විනගරුක පුද්ගලයෙක්. මම සේවය කරන්නේ සමාජයේ එක් කොටසකට පමණක් නොවෙයි. රට ගොඩනැගීමට මා සමග එක්වන ලෙස ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කරනවා. විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සිදුනොකරන ලෙස මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මාව තේරුම් ගන්න. මා කරන වැඩ ගැන නිබඳව නිවැරදිව ජනතාවට තොරතුරු ලබාදෙන ලෙස ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. උදයජීව ඒකනායක
 

More News..