brand logo

රටේම ගොයම් කපලත් හාල් නැත්තේ ඇයි?

25 May 2020

‘දැන් පේන හැටියට නම් ‘වී’ කියන්නේ හිඟන්නෝ බෝ කරන භෝගයක්. ඒත් එයින් උපදින සහල් කියන්නේ ප්‍රකෝටිපතියන් බිහි කරන සම්පතක්’, එසේ කියන්නේ ප්‍රකට ගොවි නායකයකු වන පොළොන්නරුව, කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්සය. ඔහු එසේ කියන්නේ මේ දිනවල රටේ බොහොමයක් පෙදෙස්වල පවත්නා සහල් අර්බුදය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමිනි! 2000 වසරේ අගෝස්තුවේ දී පොළොන්නරුවේ වී ගොවීහු හිඟුරක්ගොඩ නගරයට එක් රැස් වූහ. තම වී අස්වැන්නේ අලෙවියට සාධාරණය ඉල්ලා මාරාන්තික උපවාසයක යෙදුණහ. කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස ද එදා සහෝදර ගොවීන් වෙනුවෙන් උපවාසයට එක්ව, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන්නට යෙදුණු ගොවි නායකයෙකි. ඊට ඉහත 1990 දශකයේ මුල් භාගයේ දී ද පොළොන්නරුවේ වී ගොවීන් බොහොම දෙනෙක් එක පෙළට සිය දිවි නසා ගත්හ. තම අස්වනුවලට සාධාරණ මිලක් නොලැබීම සහ ගොවිතැන් වැඩ සඳහා ලබා ගත් ණය කන්දරාව ගෙවා ගන්නට නොහැකි වීමේ පීඩනය, ගොවි දිවි නසා ගැනීම්වලට හේතුකාරක විය. 1994 අගෝස්තුවේ බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ගොවි ණය කන්ද නම් කපා දැමුවේ ය. එහෙත් වී අස්වැන්නේ සාධාරණ මිල පිළිබඳ ප්‍රශ්නයට ප්‍රමාණවත් තරම් විසඳුමක් ඇති කළේ නැත. 2000 වසරේ මාරාන්තික උපවාසයක් දක්වා තල්ලුවී ගියේ එවක් පටන් පැවති ගොවි පීඩනයයි. මාරාන්තික ගොවි උපවාසයෙන් විසි වසරකට පසුව ද, අපේ රටේ වී සහ සහල් වෙළෙඳ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කවුඩුල්ලේ ජයතිස්ස ගොවි නායකයා පළ කරන අදහස බොහොම වැදගත්ය. එහි යටිපෙළින් කියැවෙන්නේ එදා-මෙදා තුර ගොවීන්ගේ ආර්ථිකයත්, සහල් මෝල් (වී මෝල්) ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකයත් අතර ඇති පරතරය සිතා ගැනීමට ද බැරි තරම් විශාල ලෙස පුළුල්වී ඇති බවය. ඔවුන් අතර ආර්ථික පරතරය පුළුල් වන විට සහල් මෝල් ව්‍යාපාරිකයන්ගේ පාර්ශ්වයට ඉබේට ම, වෙළෙඳපොළ ඒකාධිකාරීත්වයක් ගොඩනැගෙන්නේ ය. එයින් අනතුරට හෙවත් කුසගින්නට තල්ලු වන්නේ ‘සහල් පාරිභෝගිකයන්’ හෙවත් බත් කන මිනිසුන්ය. ‘බත’ යනු අපේ රටේ කුසගිනි නිවන ප්‍රධාන ආහාරයයි. වී හෝ සහල් මිල පිළිබඳ ප්‍රශ්නය, අතිශයින් ම සංවේදී එකකි. එහි එක් පැත්තකින් වී ගොවියාය. අනෙක් පැත්තෙන් ‘බත් කන මිනිසුන්’ හෙවත් සහල් පාරිභෝගිකයාය. ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් විය යුත්තේ දෙපාර්ශ්වයට ම සාධාරණය ඉටුවන අන්දමිනි. එහෙත් දැන් විසි අවුරුද්දක් තිස්සේ ම, නොකෙරෙන්නේ ද ඒ ටිකමය. බලයට පත්වන ආණ්ඩු කුමක් කීව ද, ඉකුත් විසි වසර තුළම, සිදුව තිබෙන්නේ රටේ ප්‍රධාන ආහාරය වන ‘බත’ (සහල්) සම්පාදනය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ මැදිහත් වීම හැකිළී යාමයි. රජයේ පැත්තෙන් ගොවියාට පොහොර සහනාධාරය පිරිනැමෙන බව ද, වාරි ජලය, ගොවි ජනපදවල යටිතල පහසුකම් සහ උපදේශක සේවා ආදිය නොමිලේ ලැබෙන බව ද ඇත්තකි. එහෙත් වී අස්වනු මිල දී ගැනීම පැත්තෙන් රාජ්‍ය අංශයේ මැදිහත් වීම සොච්චමකි. එයින් සිදුව ඇත්තේ වී සහ සහල් නිපැයුම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ඇති ‘වෙළෙඳපොළ ඒකාධිකාරීත්වය’ තවදුරටත් ශක්තිමත් වීම යි, බලසම්පන්න එකක් වීමයි. මේ දිනවල පවතින සහල් අර්බුදය ද එහි ප්‍රතිඵලයකැයි කිව හැකිය. දැන් වෙළෙඳපොළේ කැකුළු, නාඩු සහ සම්බා සහල් හිඟය. තිබෙන සහල වුව, අලෙවි වන්නේ පාලන මිලන ද ඉක්මවා ගිය රුපියල් සීයෙන් එහා පැත්තේ ඉලක්කම්වලටය. ඉල්ලුම සපුරන්නට ප්‍රමාණවත් තරම් සහල් තොග වෙළෙඳපොළට නොලැබීම, ඊට හේතුවයි. ලංකාවේ මහා පරිමාණ සහල් නිෂ්පාදනාගාර එකක්වත් මේ දිනවල වැඩ කරන්නේ නැත. ඉතින් සහල් තොග වෙළෙඳපොළට වැටෙන්නේ නැත. සහල් හිඟයක් හට ගෙන ඇත්තේ එබැවිනි. ගෙවී යමින් තිබෙන්නේ මැයි මාසයේ අග භාගයයි. ලියුම්කරුට වැටහෙන ආකාරයට මේ, කාලයේ සහල් හිඟයක් නිර්මාණය වන්නට කොහෙත්ම ඉඩක් නැත. 2019/2020 මාස් කන්නයේ වී අස්වනු නෙළීම් ඇරඹුණේ ගෙවී ගිය මාර්තුවේය. එය ඉකුත් අප්‍රියෙල් මාසය පුරාවට ද, මැයි මාසයේ මුල් භාගය දක්වා ද කෙරිණි. කෘෂිකර්ම බලධාරීන් පවසා තිබුණේ මෙවර මාස් කන්නයෙන් මෙට්‍රික් ටොන් තිස් ලක්ෂයක පමණ වී අස්වැන්නක් රටට ලැබුණු බවයි. ඉතින් සහල් හිඟයක් ඇති වන්නට කොහෙත්ම ඉඩක් නැත්තේය. එසේම, 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇති ආකාරයට, 2019 වර්ෂයේ රටට ලැබී ඇති සමස්ත වී අස්වනු ප්‍රමාණය ද මෙට්‍රික් ටොන් හතළිස් ලක්ෂයකට වැඩිය. එබැවින් මේ තරම් කෙටි කාලයක් තුළ, රටට සහල් හිඟයක් ඇති වුණු බවක් කොහෙත්ම පිළිගන්නට පුළුවන්කමක් නැත්තේය. එහෙත් දැන් වෙළෙඳපොළේ සහල් හිඟය. මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා වී මිටිවලින් පිරී ගොස් තිබේ. එහෙත් මේ දිනවල ඔවුන් සහල් නිෂ්පාදනය කරන්නේ නැත. වී තොග රැස් කරන්නන් ද සිය තොග සඟවා ගෙන සිටින්නේ ය. එවිට වෙළෙඳපොළෙහි ඉබේම සහල් හිඟයක් නිර්මාණය වෙයි. දැන් බොහොමයක් කඩවල සහල් නැතිකමට හේතුව එයයි. ‘කොරෝනා’ වසංගත තත්ත්වයන් යටතේ එතැයි කියැවුණු ආහාර හිඟයකට මුහුණ දීමේ සහ මාස් කන්නයේ වී ගොවීන්ගේ අස්වැන්නට යහපත් වෙළෙඳපොළක් සැකසීමේ අරමුණින් රජය වී කිලෝවේ සහතික මිල රුපියල් 50ක් දක්වා ඉහළ දැමුවේ ය. එසේ ම, වී අලෙවි මණ්ඩලයේ සහාය ද ඇතිව, යුද හමුදාව යොදවා ගොවීන් ළඟට ම ගොස් වී මිල දී ගැනීමට ද කටයුතු කළේ ය. ඔවුන් මිලයට ගෙන තිබුණු වී තොගය මෙට්‍රික් ටොන් 25,000කි. එය මාස නමයක කාලයක් සඳහා සෑහෙන බව ද කියැවිණි. ගොවීහු, මෙවර නම් තමන්ට සාධාරණය ඉටු වුණු බවට රජයට ප්‍රශංසා කරන්නට ද වූහ. මේ අතර, රජය ඉකුත් අප්‍රියෙල් 10 වැනි දා යළි සහල් සඳහා උපරිම පාලන මිලක් පැනෙව්වේ ය. ඒ, සම්බා සහ නාඩු සහල් වර්ග සඳහා කිලෝවකට රුපියල් 90ක් ද, කැකුළු සහල් සඳහා රුපියල් 85ක් ද, කීරි සම්බා සහල් සඳහා රුපියල් 125ක් ද වශයෙනි. විවෘත වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය වූයේ එයින් පසුවය! වෙළෙඳපොළේ සහල් හිඟ වීමට හේතුව කුමක් දැයි විමසන කල්හි වී මෝල් හිමියන් කියන්නේ, රජයේ පාලන මිලට සහල් විකිණීම පාඩු සහගත බවය. ‘රුපියල් 50ට ගත්තු වීවලින් හාල් කොටලා පාලන මිලට දෙන්න බෑ, අපට පාඩුයි’ යන්න, මෝල් හිමියන්ගේ පාර්ශ්වයෙන් නැගෙන තර්කයයි. සහල් කිලෝවක් නිපදවීම සඳහා, වී කිලෝ එකහමාරක් අවශ්‍ය බව ප්‍රකට කාරණයකි. කිලෝවට රුපියල් පනහේ වී මිල ගැන බැලුවහොත්, සහල් කිලෝවක් සෑදීම සඳහා රුපියල් 75ක වී අවශ්‍ය වේ. ප්‍රවාහනය, කෙටීම, වැඩ කුලිය, මෙහෙයුම් සහ නඩත්තු වියදම්, බදු, නිෂ්පාදකයාගේ ලාභය සහ වෙළෙඳ කොමිස් ආදී වශයෙන් තවත් යම් මුදලක් එයට එකතු වෙයි. සහල් කිලෝවේ මිල තීන්දු කෙරෙන්නේ ඒවා ද සලකා බැලීමෙනි. මෝල් හිමියන්ගේ අදහස, මේ සියලු වියදම් දරා සහල් කිලෝව රුපියල් 90ට, 85ට දිය නො හැකි බවය. ඔවුන් සිය සහල් තොග නිෂ්පාදනය කරන්නේ, කිලෝව රුපියල් 50ක් බැගින් මිලයට ගත් වීවලින් නම්, මේ තර්කයෙහි යම් පදනමක් ඇතැයි කිව හැකිය. එහෙත් බොහොමයක් මහා පරිමාණ වී මෝල්වල වසර තුන හතර පැරණි වී තොග ගබඩාකර තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. සාමාන්‍යයෙන් අලුත මිල දී ගත් වී තොග ගබඩාවල රඳවා, පැරණි තොගවලින් සහල් කෙටීම මෝල් හිමියන්ගේ සිරිතයි. පැරණි තොග මිලයට ගන්නට ඇත්තේ, වී කිලෝව රුපියල් 30-35ට හෝ ඊටත් වඩා අඩුවෙන් (කුණු කොල්ලයට) පැවති සමයේ වීමට පුළුවන. එසේ නම් වර්තමාන පාලන මිලට සහල් විකිණීම, අධික ලාභයක් මිස කොහෙත් ම පාඩුවක් වන්නට ඉඩක් නැත. ලංකාවේ මහා පරිමාණ වී මෝල් හිමියන් අතර ප්‍රබලයන් හය දෙනෙකි. ඔවුන් අපේ රටේ ප්‍රකට දේශපාලන පවුල් දෙකකට අයත්ය. එය විශේෂ කාරණයකි. ඉන් ලොකු ම වී මෝලේ හිමිකරු ලාංකේය දේශපාලනයේ ඉහළ ම තනතුරක් දැරූ ප්‍රකට තැනැත්තකුගේ සහෝදරයාය. ඔහුට හිතේෂී තවත් මහා පරිමාණ වී මෝල් හිමියකුට ද ඉහළ ම දේශපාලන තනතුරක් දැරූ තැනැත්තාගේ අනුග්‍රහය ලැබිණි. ඔහු ද දැන් වැඩේ සරුවට ම කරමින් සිටින්නේ ය. අනෙක් විශාලතම වී මෝලේ හිමිකරු ද ප්‍රබල දේශපාලනඥයෙකි. ඔහුගේ සහෝදරයා ද, මස්සිනා ද මහා පරිමාණ වී මෝල් හිමියන් වෙති. පොළොන්නරුව දිස්ත්‍රික්කය මුල්කර ගෙන වී මෝල් ව්‍යාපාර පවත්වන ඔවුන්, දැන් කලක් තිස්සේ ම වී කිලෝවේ මෙන්ම, සහල් කිලෝවේ මිල ද පාලනය කරමින් සිටිති. මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරයක් කරන තවත් දේශපාලනඥයෙක්, මත්පැන් පෙරීමේ කර්මාන්තයක් ද පවත්වා ගෙන යයි. රටට බත සම්පාදනය කරන සහල් නිපැයුම් ක්‍රියාවලියට දේශපාලන බලය ද එකතු වීම ඛේදවාචකයකි. එයින් වී ගොවියා මෙන් ම, සහල් පාරිභෝගිකයා ද එකසේ අසරණ භාවයට පත් වේ. දැන් ලංකාවේ සහල් නිපැයුම් ක්‍රියාවලිය තුළ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් සංස්කෘතියක් ද නැති තරම් ය. මහා පරිමාණ වී මෝල් ඉදිරියේ ඒවා වැසී ගොසිනි. ‘යාන්තම් බිස්නස් එක අල්ලා ගෙන සිටින’ ටික දෙනා ද දැන් සිටින්නේ කිසිවක් කර-කියා ගත නොහැකි තත්ත්වයකය. ‘කන්නේ කැපෙන්න පටන් ගන්නකොට ම සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකට ටිකක් කල් යනවා. ඒ අතරේ මහා පරිමාණ වී මෝල්වල අය ඇවිල්ලා සහතික මිලටත් වඩා අඩුවෙන් වී ටික කිරා ගෙන යනවා. අපි වගේ අයට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. මේ වෙන කොට රටේ වී හිඟයක් නෑ. මහා පරිමාණ වී මෝල් කරන අය සහ මහා පරිමාණයෙන් වී තොග රැස්කරන අය ළඟ වී තියෙනවා. තොග රැස්කරන අය මේ දවස්වල වී කිලෝවක් විකුණන්නේ රුපියල් 56ට. අපි ඒවා ගන්නවා නම්, මෝලට ලැබෙන කොට රුපියල් 59ක් වෙනවා. ඉතින් අපිට ඒවා කොටලා පාලන මිලට හාල් දෙන එක පාඩුයි’, සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති, මරඳගහමුල බී. කේ. රංජිත් මහතා කියන්නේය. පාරිභෝගික අධිකාරිය, මේ දිනවල සහල් හිඟ වීමේ අර්බුදය මැද ‘පොලිස්කාරයාගේ’ භූමිකාවට පණ පොවයි. ඒ, පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන අය වැටලීමෙනි. ‘අපි මේ වෙන කොට වැටලීම් 650ක් පමණ කරලා තියෙනවා’, එහි උසස් නිලධාරියෙක් ලියුම්කරු සමග පැවසුවේය. එහෙත් සහල් හිඟ වීමේ අර්බුදය තවමත් විසඳී නැත. සහල් වෙළෙන්දන් මෙන් ම, මහා පරිමාණ වී මෝල් හිමියන් ද ‘ලාභය’ මත පදනම්ව ව්‍යාපාර කරන අය වෙති. ‘පාලන මිලට හාල් දෙන එක පාඩු නම්, වැඩි ගාණට විකුණන එකත් අල්ලනවා නම්, මෝල් නවත්වනවා හැර අපි මොක ද කරන්නේ?’ යයි ඔවුහු විමසති. මහා පරිමාණ වී මෝල් කෙරුවාව බොහොම බල සම්පන්න කර්මාන්තයකි. රට වැසියන් කන බත් ඇටයක් ඇටයක් පාසා ඔවුන්ට මුදල් ලැබීම ඊට හේතුවයි. වී අස්වනු නෙළන සමයට ඔවුහු, දුර බැහැරින් එන වැඩි මිලක් දමා වී මිල දී ගන්නා වෙළෙන්දන් පලවා හැරීමට පවා පසුබට නොවෙති. දිවුලපිටියේ මරඳගහමුල සහල් සැකසුම් පුරයෙන් වී මිල දී ගන්නට එන ලොරි රථ, හබරණ කැලයෙන් ම ආපසු හරවා යවති. මහා පරිමාණ වී මෝල් හිමියෝ තම වී මෝල් පරිශ්‍රවලට පිටස්තර කිසිවකුටත් ඇතුළු වීමට ඉඩ නොදෙති. පිටතින් වී තොග රැගෙන එන ලොරි රථ පවා මෝල ඇතුළට පදවා ගෙන යන්නේ, ඔවුන්ගේ රියැදුරන් විසිනි. ඇතැම් අයගේ වී ගබඩා පිහිටුවා ඇත්තේ ඔවුන්ගේ මෝල් පරිශ්‍රවලින් එපිට ස්ථානවලය. පාරිභෝගික අධිකාරිය හෝ වෙන යම් රජයේ ආයතනයක්, කිසිදු දිනයක මහා පරිමාණ මෝල් හිමියන්ගේ වී තොග පරීක්ෂාකර බලන්නට යන්නේ ද නැත. ඉතින් ඔවුන් සතු වී තොග කොපමණ දැයි හරියට ම දන්නා කෙනෙක් ද නැත්තේ ය. එසේම, මහා පරිමාණයෙන් වී තොග රැස් කරන අය කවුරුන් දැයි දන්නා කිසිවෙක් ද නැත. ගෙවී ගිය විසි වසර මුළුල්ලේ ම රටේ පාලකයන්ට ඔවුන් සම්බන්ධයෙන් තිබුණේ අනුමාන ඉලක්කමක් පමණි. ඒ, ‘වෙළෙඳපොළට එන සමස්ත වී අස්වැන්නෙන් රාජ්‍ය අංශය සියයට 10ක් මිල දී ගන්නවා, ඉතිරි සියයට 90 පෞද්ගලික අංශයෙන් මිල දී ගන්නවා’ යන්නයි. ඒ හැරෙන්නට, කිසිදු අවස්ථාවක මහා පරිමාණ පෞද්ගලික වී මෝල් නියාමනය කෙරුණු බවක් අසන්නටවත් නැත. දැන් කරන්නට තිබෙන්නේ, පසුගිය කාලයේ යුද හමුදාව යොදවා මිල දී ගත් වී තොග හෝ ඉක්මනින් සහල් කරවා වෙළෙඳපොළට දැමීම ය. එයින් සහල් හිඟ වීමේ අර්බුදය ජය ගන්නට වෑයම් කිරීමය. එහෙත් එවන් වැඩපිළිවෙළක් කෙරෙන බවක් ද පෙනෙන්නට නැත. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ජයාරුප ප්‍රියන්ත බංඩාර
 

More News..