brand logo

තණමල්විල අහිංසකාවිය

11 May 2020

‘‘තණමල්විල කොල්ලෙක්ට ආදරය කරන ධම්මි බොහෝ දෙනාගේ සිතේ පතුලටම ළංවෙලා තියෙන චරිතයක්. දුෂ්කරතාවන්ගෙන් මිරිකිලා මුහුණේ සිනා පොදක් නැති ධම්මි වැනි බොහෝ යුවතියන් මේ ලොව තවත් කොතරම් ඇත්ද? ධම්මිගේ චරිතයට පණ පොවන කසුනි කාවින්දිව මුණගැහුණේ මෙවන් චරිතයකට ළංවූ කතාව අහන්න... පුංචි තිරයට එන්නේ කොයි කාලෙද? 2014 වර්ෂයේ ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු මාද ඔබම විය ටෙලි නාට්‍යය තමයි මගේ මුල්ම නිර්මාණය. සංගීත් සතරසිංහ එක්ක තමයි රඟපෑවේ. කොහොමද සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ? එතකොට මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ප්‍රසන්නජිත් අබේසූරිය සර් හරහා තමා මට අවස්ථාව උදාවෙන්නේ. එතකොට ඔබ කොළඹ කෙල්ලෙක් නෙවේ..? නැහැ. මගේ ගම රත්නපුර. අම්මා, තාත්තා කලාවට සම්බන්ධද? අම්මා, තාත්තා දෙන්නම කලාවට සම්බන්ධ නැහැ. දෙදෙනාම කළේ රජයේ රැකියා. හැබැයි ගෙදරින් චිත්‍රපට හා නාට්‍ය බලන්න එක්කගෙන ගියා. සිංහබාහු, නරි බෑණා, මනමේ වගේ නාට්‍ය ඉස්කෝලෙන් නරඹනකොට කලාව ගැන ලොකු කැමැත්තක් ඇතිවුණා. පාසල් වේදිකාවද තිඹිරිගෙය වුණේ? අනිවාර්යයෙන්ම ආරම්භය එතැන. ලොකු නර්තන දක්ෂතාවකුත් තිබුණ නිසා කොයි වෙලාවෙවත් තිගැස්මක් තිබුණේ නැහැ. මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගිසන් උසස් බාලිකා විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳලාම ඉංග්‍රීසි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ළමා නාට්‍ය නිළියක් ලෙස සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගත්තා. එකොළහ වසර වෙනකම් නර්තනය විෂය කරලා, උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුණේ නිළියක් වීමේ කැමැත්තක්ද? මම හිතාගත්තා කවදා හරි නිළියක් වෙනවා කියලා. විශේෂයෙන්ම පාසලේ මගේ ගුරු පියාණන් වූ සුමනසිංහ කේ. පතිරණ සර් මට ඒ සඳහා පාර කපලා දුන්නා. සර් ඉස්සර රත්නපුරේ ඉඳලා කොළඹට අපිව එක්ක එනවා නාට්‍ය බලන්න. මුලදි නිළියක් වෙන්න හිතුවත් නාට්‍ය හා රංග කලාව දිගටම ඉගෙන ගන්නකොට හිතුණා කවදාහරි නාට්‍ය හා රංග කලාව ගැන කථිකාචාර්යවරියක් වෙන්න පුළුවන් කියලා. අවසානයේ මම ඒ විෂයට ‘ඒ’ සාමාර්ථයක් ලබාගත්තා. එතැනින් පස්සේ කොහොමද ඉස්සරහට ගියේ? පළවැනි පාරම කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරෙනකොට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා සිතුවා. කථිකාචාර්යවරියක් වීමේ සිහිනය අත්හැරියේ ඇයි? විශ්වවිද්‍යාලය ඇතුළේ මුහුණ දෙන්න සිදුවුණු සිදුවීම් එක්ක කථිකාචාර්යවරියක් වීමේ සිහිනය සඟවා ගන්න සිදුවුණා. මම අත්විඳපු දේවල් එක්ක කලකිරීමක් ඇතිවුණා. හැබැයි ඒ හීනය අත්හැරියා කියලා මට ආයෙමත් රස්සාවකට යන්න බැහැ. විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන වෘත්තීය කලාකාරිනියක් වීමේ අභියෝගය මම බාරගත්තා. හැබැයි කලාව තුළ ජීවත් වීම ලේසි නැහැ කියලා මම හොඳාකාරවම දැනගෙන උන්නා. විශ්වවිද්‍යාලයේ අවසාන ප්‍රායෝගික පරීක්ෂණයේදී දසුන් පතිරණ මට උදව් කළා. ඒකත් කවදාවත් අමතක නොවෙන දෙයක්. ඒ ගමන කොහොමද ආරම්භ කරන්නේ? එස්.අයි. සමරක්කොඩිගේ ලිෆ්ට් එක හිරවෙලා කියන නාට්‍යය තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට රැගෙන එන්නේ. එතැන ඉඳන් දිගටම වේදිකා නාට්‍ය 20කට විතර රංගන දායකත්වය ලබාදෙනවා. 2017 අවුරුද්දේ රංගනය ගැන විශේෂ උපාධියක් ලබාගන්නවා. වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර කොහොමද? චෙරි උයන වේදිකා නාට්‍යය වෙනුවෙන් 2015 යොවුන් නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. එම නාට්‍ය වෙනුවෙන්ම රාජ්‍ය නාට්‍ය උළෙලේත් හොඳම නිළියට නිර්දේශ වෙනවා. වේදිකාවේ ඉහළ ප්‍රතිචාර මැද තමා පුංචි තිරයට එන්නේ. කොපමණ ටෙලි නාට්‍ය ප්‍රමාණයකට දායක වුණාද? මම වෘත්තීය රංගන ශිල්පිනියක් නිසා තෝරා බේරාගෙන තමා නිර්මාණවලට දායක වෙන්නේ. දැනට හොඳ නිර්මාණ හයකට දායක වෙලා තියෙනවා. වේදිකාවට තමා දැනටත් මුල්තැන දීලා තියෙන්නේ. මේ නාට්‍ය අතරින් ඔබ කැමතිම නාට්‍ය මොනවද? තෝරා බේරාගෙන රඟපාන නිසා කැමති පිටපත් විතරක් භාරගන්නේ. ඒ නිසා රඟපාපු හැම එකකටම කැමතියි. මේ දිනවල තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ධම්මිට විශේෂ සැලකිල්ලක් තියෙනවා නේද? මට මේ නාට්‍ය සඳහා මුලින්ම කතා කරන්නේ සමන් කෝරලගේ. මෙහෙම වැඩක් තියෙනවා කරමුද නංගි කියලා ඇහුවා. මම ඇහුවා කොහෙද කියලා. රොෂාන් රවීන්ද්‍ර අයියගේ කිව්වාම මට දෙපාරක් හිතන්න අවශ්‍ය වුණේ නැහැ. පාසල් කාලේ ඉඳලාම මම කැමතිම රංගන ශිල්පියෙක් තමා රොෂාන් රවීන්ද්‍ර. ඔහුගේ ප්‍රථම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් ලැබීම ගැන මට දැනුණේ ආඩම්බරයක්. එක පයින්ම කැමති වුණා. අනිත් එක මම වේදිකාවේ ආශ්‍රය කරන පිරිසක් තමා මෙම නාට්‍යයට සම්බන්ධ වෙලා උන්නේ. ඔබයි, ධම්මියි හාත්පසින්ම වෙනස් නේද? සීයට සීයක්ම වෙනස්. ධම්මි කියන්නේ දුෂ්කර ජීවිතයක් ගෙවන අතිශයින්ම අහිංසක යුවතියක්. ධම්මිගේ මූණට හිනාවක් එන්නේ හරිම කලාතුරකින්. ඇයගේ මුළු ආත්මයේම තියෙන්නේ විශාල බරක්. ඇයගේ දෙබස් පවා හරිම බැරෑරුම්. මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණා. රූපයේ ඉඳලා කතාබහ දක්වාම ලොකු වෙනසක් සිදුකර ගන්න වුණා. ඔබ ජීවත් වෙන රත්නපුර දිස්ත්‍රික්කයේම නේද තණමල්විල පිහිටා තියෙන්නේ. මේ අත්දැකීම් සමීප නැද්ද? මම ජීවත් වෙන්නේ රත්නපුර නගරයේ. තණමල්විල කියන්නේ කෙළවරනේ.. මමත් ලංකාවේ නිසා එහෙම මිනිස්සු ඉන්නවා කියලා දන්නවා. හැබැයි ඒ දුෂ්කර බවත් අත්විඳලා නැහැ. අපි රූපගත කිරීම් කරපු තණමල්විල හා තිස්සමහාරාමයේ මිනිසුන්ගේ ජීවිතේ සත්‍ය තමයි මේක. හැබැයි හරිම නිවුණ පරිසරයක් තමයි එහේ තියෙන්නේ. ඉක්මනින්ම මේ චරිතයට පුරුදු වුණා? කෙටි කාලයක් ගියා මේ චරිතවලට හුරුවෙන්න. නමුත් අපි අවසානයේ ඒ චරිත ඇතුළෙම ජීවත් වුණා. ඇත්තටම මේ පළාත්වල ළමයි සාමාන්‍ය පෙළ ලියන්ගේ ගෙදර නවතින්න බලාගෙනමයි. රටේ මේ අයගේ ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. ඔබ දේශපාලනයක් ගැනද කතා කරන්නේ? අවසානයේ මේ ප්‍රශ්නය එන්නේ එතෙන්ට තමයි. මේ අය වැඩිවියට පත්වෙන කොටම ජීවිතේ බර දැනෙන්න ගන්නවා. එතැනින් එහාට බඩ ගැන හිතනවා මිසක් වෙන සිතන්න දෙයක් නැහැ. මේ කතාව බලන කෙනෙක්ට ඒක දැනෙන්න ඕන. මේ කතා කරන්නේ වෙන රටක දෙයක් නෙවේ. ලංකාවේ කෙළවරක තියෙන දුෂ්කර මිනිසුන්ගේ ජීවිත ගැන. රටේ පාලකයෝ මේ ජීවිතවලට වගකිව යුතුයි. කොතරම් කාලයක් තණමල්විල ජීවත් වුණාද? සැරින් සැරේ අවුරුද්දක විතර කාලයක් රූපගත කිරීම් කළා. ඔබේ චරිතය දිහා අද සාලේ ඉඳන් නරඹනකොට දැනෙන හැඟීම මොන වගේද? මගේ චරිතයට වඩා මේ නාට්‍යය මොන විදිහට බාරගනීද කියන ප්‍රශ්නය තිබුණා. මොකද මේ නාට්‍යයේ රටේ බොහෝ හිඩැස් ගැන කතා කරනවා. ස්වාධීන රූපවාහිනිය මෙම නාට්‍ය බාරගැනීම මම අගය කරනවා. එතකොට ධම්මිගේ චරිතය? තිරයේ දකිනකොට මට මාව අඳුන ගන්න බැරි තරමට වෙනස්. මේ ඉන්නේ මමද කියලා හිතෙන තරමට වෙනස්. ධම්මිව හිතේ තියාගෙන මා දිහා බැලුවොත් කිසිම කෙනෙක්ට මාව හඳුනන්න බැහැ. මොකද මගේ පෙනුම හුඟක් වෙනස්. මගේ සාමාන්‍ය පෙනුම අනුව අවස්ථා කීපයකදීම මට මෙවන් චරිත මගහැරුණා. මගේ සමේ වර්ණයත් එක්ක මම ගැමි චරිතයකට නුසුදුසුයි කියලා බොහෝ අධ්‍යක්ෂවරු කිව්වා. නමුත් රොෂාන් අයියා ඒ හැම මතයක්ම වෙනස් කළා. රොෂාන් අයියට පින්, මම ගැන විශ්වාස කළාට. එහෙනම් දැන් ඉදිරියට මෙවන් චරිත ලැබෙයි නේද? ඒක දැනටම සිද්ධ වෙලා තියෙන්නේ. තණමල්විල කොල්ලෙක් ප්‍රචාරක පටය දැකලා චිත්‍රපටයක මට ගැමි චරිතයක් ලැබුණා. අනිවාර්යයෙන්ම ධම්මිගේ චරිතය නිසා වෙන්න ඇති මාව ගන්න ඇත්තේ. රංගනයද දැන් ඔබේ ජීවිතය? ඔව්. වෘත්තීය නිළියක් වගේම හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ලබාගත් උපාධියට මොකද වෙන්නේ? ඔය ප්‍රශ්නේ හුඟක් දෙනෙක් මගෙන් අහනවා. මම අරගත්තේ රංගවේදී උපාධියක්. මම කරන්නේ රඟපෑම. මගේ උපාධියට සරිලන රැකියාව තමා මම කරන්නේ. රංගනය කියන්නේ රැකියාවක් නෙවේද? සමහරු රංගනය කියන එක වෘත්තියක් හැටියට පිළිගන්න කැමති නැහැ. එහෙම වෙන්නේ රංගනය කියන රැකියාවට රාජ්‍ය වශයෙන් වුණත් නිසි ඇගැයීමක් නොලැබෙන හින්දා. ලංකාවේ මම විතරක් නෙවේ රංගනය වෘත්තියක් කරගත්තු බොහෝ පිරිසක් ඉන්නවා. වෘත්තීය රංගන ශිල්පියෙක්ට හොඳ ආර්ථිකයක් ලංකාවේ තියෙනවාද? අන්න එතැන තමයි ප්‍රශ්නය. රංගනය රැකියාවක් කරගන්න හුඟදෙනෙක් අකමැති මෙහි ඇති වෘත්තීය භාවයට නිසි ආර්ථිකයක් නොමැති වීම. සමහරු විනෝදාංශයට රඟපානවා. සමහරු රඟපාන්න ඇවිත් වෙනත් ව්‍යාපාර පටන් ගන්නවා. වෘත්තියට නිසි ගරුත්වය නොලැබෙන්නේ මේ නිසා. ඔබත් එවැනි ව්‍යාපාරයක් පටන් ගනීවිද? මම එහෙම කරන්නේ නැහැ. මම ලබාගත්ත උපාධිය හෑල්ලු කරන්නේ නැහැ. හොඳ දෙයෙක් තෝරා බේරාගෙන රඟපාන ශිල්පියෙක්ට ලොකු ආර්ථික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔවුන් අතේ ලොකු සල්ලියක් නැහැ. නමුත් ඒ චරිත දිහා බලලා තෘප්තිමත්ව ජීවත් වෙන්න පුළුවන්. මම ඉන්නේ එතැන. ක්ෂේත්‍රයේ එහෙම අය ඉන්නවද? මම දන්න තරමින් ඉන්නවා. සමහරු දරාගන්න බැරුව අත්හැරලා යනවා. මමත් දරාගෙන ඉන්නවා. හෘද සාක්ෂියට එකඟව ජීවත් වීම තරම් ගරුත්වයක් තවත් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. අපි වැනි වෘත්තීය කලාකරුවන් ගැන රජය මීට වඩා හිතන්න කියලා යෝජනා කරනවා. මේ දවස්වල කොළඹද ඉන්නේ? තනි කෙල්ලෙක් හැටියට මේ දිනවල කොළඹ ඉන්න බැහැ. ගමේ ආපු ගමන් මෙහෙම නතර වුණා. මට තාමත් අම්මා, තාත්තා උදව් කරන නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන පිරිසක් ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔබ වැනි වෘත්තීය නළු නිළියන්ට අනාගතය ප්‍රශ්නයක් නේද? මොනවා කරන්නද... මට වඩා අනිත් අය ගැන වේදනාවක් තියෙනවා. අම්මා, තාත්තා මාව බලාගනී. එහෙම සරණක් නැති අයට මොකද වෙන්නේ? ඉවසීමෙන් ඉමු කියනවා හැරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. ඉදිරියේ ඔබව දැනගන්න ලැබෙන නිර්මාණ ගැන කියන්න? රාවණා නාට්‍යයේ මාලනීගේ චරිතය තුළින් ඉදිරියටත් මම මුණ ගැහෙනවා. එම චරිතයත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණු චරිතයක්. ප්‍රදීප් ධර්මදාසගේ නාට්‍යයක් එන්න තියෙනවා. ඊට අමතරව තිරගත වීමට නියමිත චිත්‍රපට හතක් තියෙනවා. හොඳ නිර්මාණවලින් අනිවාර්යයෙන්ම ඉදිරියේදී මුණ ගැසේවි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..