brand logo

72 වැනි නිදහස් සමරු උළෙල අභිමානවත් ලෙස සැමරේ

04 February 2020

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සමරු උළෙල අභිමානවත් අන්දමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අද (04 වැනිදා) පෙරවරුවේ පැවැත්වේ.
ජාතික නිදහස් දිනයේ මෙවර තේමාව වන්නේ ‘සුරක්ෂිත ජාතියක් - සෞභාග්‍යවත් දේශයක් ’ යන්නය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙවර නිදහස් උළෙල ඉතාමත් චාම් අන්දමින් පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. උළෙලට ජනාධිපතිවරයා කැඳවාගෙන ඒමේ දී සාමාන්‍යයයෙන් දක්නට ලැබෙන පෙර ගමන් රථ හා අශ්වාරෝහකයන් මෙවර අයත් නොවන බව ද පැවසේ. අද (4 වැනිදා) නිදහස් චතුරශ්‍රරයේ දී පාසල් සිසු සිසුවියෝ සිය දෙනෙක් ජාතික ගීය ගායනය සඳහා එක් වෙති. වෙනත් වසරවල නිදහස් දින උළෙලේ පැවති පැරෂුට් භටයන්ගේ ගුවන් පිනුම් සංදර්ශනය ද මෙවර උළෙලට අයත් නොවේ. එමෙන්ම ආබාධිත රණවිරුවන්ගේ පෙළපාළිය ද අද පැවැත්වෙන උළෙලට අන්තර්ගත කර නැති අතර උළෙලට සමගාමීව නාවික හමුදා සංදර්ශන ගාලු මුවදොර දී පැවැත්වේ. එම නාවික හමුදා සංදර්ශන නැරඹීම සඳහා නිදහස් චතුරශ්‍රයේ විශාල තිර යොදා තිබේ. නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන උළෙල වෙනුවෙන් ගුවන්යානා තිහක් යොදවා සංදර්ශනයක් පැවැත්වීමට ද ගුවන් හමුදාව සැලසුම් කර ඇත. මැති ඇමැතිවරු, තානාපතිවරු ඇතුළු ආරාධිත අමුත්තෝ දෙදහස් පන්සියයක පමණ පිරිසක් මෙවර උළෙලට සහභාගි වීමට නියමිතය. ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක හා ජාතික ශිෂ්‍ය භට සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් උත්තමාචාර පෙළපාළි පැවැත්වෙන අතර ඒ සඳහා යුද හමුදා සාමාජිකයෝ 4325 දෙනෙක්, නාවික හමුදා සාමාජිකයෝ 868 දෙනෙක්, ගුවන් හමුදා සාමාජිකයෝ 815 දෙනෙක්, පොලිස් සාමාජිකයෝ 1382 දෙනෙක් , සිවිල් ආරක්ෂක සාමාජිකයෝ 515 දෙනෙක් හා ජාතික ශිෂ්‍ය භට බළකා සාමාජිකයෝ 355 දෙනෙක් එක් වෙති. ජාතික නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ධර්මකීත්‍යාරාම විහාරස්ථානයේ දී ද හින්දු ආගමික වතාවත් කොළඹ 6, මයුරාපති ශ්‍රී භද්‍රකාලි අම්මන් කෝවිලේ දී ද පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වෙන්නේ කොළඹ 3 කොල්ලුපිටිය ජුම්මා මස්ජිදයේ දීය. කතෝලික දේව මෙහෙය බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ දී වන අතර කොළඹ 3 බගතලේ පාරේ පිහිටි බැප්ටිස්ට් දේවස්ථානයේ දී ක්‍රිස්තියානි දේව මෙහෙය පැවැත්වේ. නිලන්ත මදුරාවල
 

More News..