News

72වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්

72 වන නිදහස් දින සමරු උළෙල හෙට දිනයේ දී (04) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

මෙය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසු පළමු නිදහස් දින සැමරුම් උළෙල වේ. මහජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම උදෙසා මෙවර නිදහස් චතුරශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ද මේ වන කොට ක්‍රියාත්මක කර ඇත.

මෙවර නිදහස් දින සමරු උළෙල සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු 2500 කට අධික ආරාධිත අමුත්තන්ට ආරාධනා කර ඇති අතර මහජනතාව දහසකට ද ඉඩ ප්‍රස්ථා වෙන් කොට ඇත. නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා අණදෙන නිළධාරියා වශයෙන් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා කටයුතු කරන අතර, දෙවන අණදෙන නිළධාරියා ලෙස බස්නාහිර ආරක්ෂක සේනා අධිපති හරේන්ද්‍ර රණසිංහ මහතා කටයුතු කරනු ලබයි.

මෙදින ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් වශයෙන් යුධ හමුදා භට පිරිස් 3,376 ක්, නාවික හමුදා භට පිරිස් 799 ක්, ගුවන් හමුදා භට පිරිස් 847 ක්, පොලිසිය 596 ක්, විශේෂ කාර්යය බළකායේ භට පිරිස් 327 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් 385 ක්, ශිෂ්‍ය භට බළකායෙන් 252 ක් සහ සංස්කෘතික කණ්ඩායම වල පිරිස් 475 ක් මූලික වශයෙන් 7,267 ක් සහභාගී වන අතර යුධ, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවට අයත් සහ පොලිස් හා විශේෂ කාර්යය බළකායට අයත් රථවාහන, සන්නද්ධ රථ, සමඟ ත්‍රිවිධ හමුදාවට අවේණික රථ සහ සියලුම වාහන සහ අවි සමඟ ගමන් කරන රථවාහන ගමන් කරනු ලැබේ.

එමෙන්ම, නිදහස් දින සමරු උළෙල සඳහා ගාලු මුවදොර පිටියේ දී නාවුක හමුදාවට අයත් විශාල නෞකා නැංගුරම් දැමීමටත්, එහි දී ජාතිය වෙනුවෙන් සිය ආචාරය පිළිගැන්විමටත් සියලු කටයුතු සූදානම් කර ඇත. එපමණක් නොව, එදිනට ජනතාවට නාවික හමුදාව හා ඉතාමත් සමීප අන්දමට කටයුතු කිරීමට අවකාශ සලසනු ලබන බවත්, එහි දී නාවික හමුදාවේ ක්‍රියාකාරකම් දැක බලාගැනීමට සහ “මේ ඔබේ නාවික හමුදාවයි” යන තේමාව යටතේ අංග රැසක් සුදානම් කර තිබෙන බවත්, එදින දහවල් 2.00 සිට

මහජනයාට පැමිණ මෙම සියලු දෑ දැකබලාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබීම ද සුවිශේෂී කරුණකි.
නිදහස් දිනයට සමගාමී ව නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යයාල සහ රථවාහන වල පෙබරවාරි මස 01 වන දින සිට 07 වන දින දක්වා පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව මෙම නිදහස සමරන ලෙසත්, රජයේ ගොඩනැඟිලි වල ජාතික ධජය ඔසවා තබමින් සහ පෙබරවාරි 03 සහ 04 දෙදින තුළ රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කරමින් තබන ලෙසත්, ඒ පිලිබඳ ව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ද මේ වන විට කටයුතු කර ඇත.

එමෙන්ම, සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් නැවුම් තේමාව යථාර්තයක් කිරීම සඳහා අහාර සහ ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයකට නව පියවරක් තැබීම සඳහා රාජ්‍ය නායකත්වය පෙරටු කොටගෙන එළඹෙන පෙබරවාරි 04 වන දින සැමරීමට නියමිත ජාතික නිදහස් දින සැමරුම සැමරීමට එක් වී ඉඩකඩ ඇති පහසු ස්ථානයක පැළයක් රෝපණය කරන ලෙස ද සියළු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනු ලැබ ඇත.

නේක අභියෝගයන් හමුවේ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නායකත්වය ගෙන කටයුතු කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට දිනූ දේශය වඩාත් අර්ථාන්විත කර ගැනීම සඳහා රටක් වශයෙන් එක්සත්ව එක්සිත්ව යුතුකම් ඉටු කළ යුතු මොහොත එළැඹ තිබේ. මෙකී යුතුකම ඔස්සේ සෞභාග්‍යයේ දේශයක් වෙනුවෙන් ජාතියක් ලෙස කැප වීම අවශ්‍ය වේ.