brand logo

67,000කට අධික පිරිසක් නි‌රෝධායනයට

04 November 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග මේ වන විට මෙරට තුළ නිරෝධායනට යොමු කර ඇති පිරිස 67,000කට අධික බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. මෙලෙස නිරෝධායනයට යොමු කළ පිරිස අතර නිවාස වල ස්වයං නිරෝධායන වන අය මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ අය ද වන බව ඔහු පැවසීය. මේ වන විට දිනකදී මෙරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 300ක්, සමහරක් දිනවල 400ක් හෝ 500කට වැඩි බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි. අද දිනයේ බගවන්තලාව කොයිගල වතු නිවාස පෙළෙක එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පවුලේම තිදෙනෙකුට මීට පෙර කොරෝනා ආසාදනය වී ඇති අතර, ඔවුන් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබිණි. මස්කෙළිය බ්‍රවුන්ඩ්‍රි වතු යායේ පුද්ගලයින් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී තිබේ. මෙලෙස වාර්තා වන ආසාදිතයින් ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති අතර, ඔවුන් සිය නිවෙස්වලම නිරෝධායනය වේ. මේ අනුව නිරෝධායනය වන සියලුම දෙනා ආසාදිතයින් බවට පත්වුවහොත් එය ඉතාමත් භයානක තත්ත්වයක් වනු ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් සමාජයක් වශයෙන් අප සියලුදෙනාහට කොවිඩ් සමග ජීවත්වීමට බැරි කමක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 12,187ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
 

More News..