brand logo

හෙරොයින් ජාවාරම් කළ දෙදරු පියාට මරණීය දණ්ඩනය

13 January 2020

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 13.23 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තිස් පස් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (13) මරණීය දණ්ඩනය නියම කරන ලදී. මෙසේ දඬුවම් නියම වුයේ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මුනියන්ඩි උපුල් චමින්ද නමැත්තෙකුටය. 2016 වසරේ අගෝස්තු මස 22 වනදා මාලිගාවත්ත පොලිසිය මගින් සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 13.23 සන්තකයේ තබා ගනිමින් සිටියදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේය. ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අදාල විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව නිගමනය කළේය. ඉන් අනතුරුව විනිසුරුවරයා විසින් විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..