brand logo

57 වැනි ‘සහෝදරයින්ගේ සටන’ අද ඇරැඹේ

28 February 2020

‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල අතර 57 වැනි වරටත් පවත්වනු ලබන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (28 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වේ. 29 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරගය සඳහා ඉසිපතන විද්‍යාලය ලෙශාන් අමරසිංහගේ නායකත්වය යටතේ ද, තර්ස්ටන් විද්‍යාලය ජයවිහාන් මහවිතානගේ නායකත්වය යටතේ ද පිටියට පිවිසීමට නියමිතය. මෙම විද්‍යාලාන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 6ක් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ජයගෙන ඇති අතර ඉසිපතන විද්‍යාලය ජයග්‍රහණ 4කට හිමිකම් කියන්නට සමත්ව තිබේ. මින් තරග 45ක්ම ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත. පසුගිය වසරේ සඳරු ඩයස්ගේ නායකත්වයෙන් වසර 27කට පසුව මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වූයේය. ඉසිපතන විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1999 වසරේදී වන අතර ඒ ක්‍රිශාන්ත ජයවර්ධනගේ නායකත්වය යටතේය. මීට දෙවසරකට පෙරදී ආරම්භ වූ ආකාරයෙන්, මෙවරද මෙම තරගයෙහි දෙවිදුහල්හි ක්‍රීඩකයන්ට පළමු ඉනිම සඳහා හිමි වන්නේ පන්දුවාර 60ක් පමණි. මෙම තරගයෙහි සීමිත පන්දුවාර තරගය මාර්තු 08 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගය මාර්තු 15 වැනිදා තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත. ජායාරූපය - සමන් අබේසිරිවර්ධන
 

More News..