brand logo

500ක් රැඳවිය හැකි නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ඕනෑ

15 July 2020

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන දාහතරම මේ වන විට පිරී පවතින බැවින් ඉතා කඩිනමින් තවත් පන්සිය දෙනෙක්වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සුදානම් කළ යුතු යැයි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සෙනරත් බණ්ඩාර පැවැසීය. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (13වැනිදා) පැවති පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටු ‍රැස්වීමේ දී ය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා මෙසේ ද කීවේය. "නිරෝධායන මධ්‍යස්ථාන දාහතරක් නැගෙනහිර ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා. මෙහි දෙදාහකට වැඩි පිරිසක් නිරෝධායනය වෙමින් සිටිනවා. කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ අණදෙන්නා වන යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂයෙන්ම මතක් කළා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කළේ අපි කියන එක ගැන මාධ්‍යවල ඒ ගැන විවිධ මත පළවී තිබුණා. පුනරුත්ථාපනය වන ‍රැඳවියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච වයස අවුරුදු 20-40 ත් අතර පිරිසක් මෙතන ඉන්නේ. හාරසිය හැත්තෑ තුන් දෙනෙකුට වැඩි පිරිසක් මෙතන පුනරුත්ථාපනය වෙමින් සිටියේ. එතනින් වැඩි පිරිසක් ආසාධනය වූ නිසා අපේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළා. ඔවුන්ව පාලනය කරන්න ටිකක් අමාරුයි. මම හිතන්නේ ඒ පිරිස සාමාන්‍ය රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළොත් පාලන අපහසුතාවක් තියෙනවා. දැනට යුද හමුදාව යටතේ ඔවුන් ව ආරක්ෂා කරගෙන නිරන්තරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කතා කරමින් අපේ පිරිස් ඔවුන් සමග සම්බන්ධ නොවී තියාගෙන බොහොම අමාරුවෙන් තමයි ඔවුන්ව නඩත්තු කරගන්නේ. මේක තමයි රෝහලක් බවට පරිවර්තනය කරන්න හේතුව. අපි දැනට මේ තත්ත්වය ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන යනවා. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉන්නවා ආසාදනයට ලක් වූවන්ගේ ළඟම ඥාතීන්. ඔවුන් ස්වයං නිරෝධායනයකට ලක් කරලා තියෙනවා. එතැනින් කිහිපදෙනෙක් එකවරම මතු වුණොත් අලුත් පොකුරක් ලෙස අපට ඒ අය යොමු කරන්න නිරෝධායන මධ්‍යස්ථාන නෑ. රෝහල් තුළත් එහෙම විශාල පිරිසක් රඳවලා ප්‍රතිකාර කරන්න පහසුකම් නෑ. ඒ නිසා තවත් පන්සියක් යොමු කළ හැකි නිරෝධායනයට යොදා ගන්න පුළුවන් ස්ථාන කිහිපයක් ඕනෑ.
 

More News..