brand logo

මම වැඩ කරන මිනිහෙක් මිසක් කතාකාරයෙක් නොවේ

10 November 2019

* පළවෙනි වතාවට ඔබ දේශපාලන වේදිකාවක පෙනී ඉඳලා රැස්වීම් රාශියක් ඇමතුවා. දැන් එහි අවසානයට ඇවිත්. ඔබට දැන් මොකද හිතෙන්නේ? මට ලොකු සතුටක් දැනෙනවා. මම කොහොමත් වැඩ කරන්නේ සැලසුමක් ඇතිව. යමක් ආරම්භයේදී එහි අවසානයේ පෙනුම, අවසානයේ අත්විය යුතු සාර්ථකත්වය ගැන මම හිතනවා. ඒ අනුව තමයි මේ රැස්වීම් මාලාව අපි සැලසුම් කළේ. අපි මුලින්ම හිතුවා මෙම ගැන කතා කරන්නේ නැතිව අපි ගැන කතා කරනවා කියලා. මගේ ගතිගුණ මෙහෙමයි, මගේ හැකියාවන් මේවයි කියනවට වඩා අපි ජනතාව ගැන කතා කරනවයි කියලා මම හිතුවා. ඒ නිසා මම, මම ගැන කතා කළේ නෑ. කතා කළේ අපි ගැන. ඊළඟට කිසිම වේලාවක ප්‍රතිවාදීන්ගේ හිත් රිද්දන, ඔවුන්ට, පවුල්වලට අපහාස නොකරන ප්‍රතිපත්තියක අපි හිටිය. ඒ වාගේම මම හිතා ගත්තා අපි කතා කළ යුත්තේ අතීතය ගැන නෙවෙයි, අනාගතය ගැනයි කියලා. මොන අභියෝග ආවත්, මොනතරම් අවාසි වුණත් අපි ඒ ප්‍රතිපත්තියේ හිටියා. දැන් ජනතාවට අපි කවුද, අපි බලයට ඇවිත් කරන්නේ මොකක්ද කියලා හොඳ වැටහීමක් තියෙනවා. මගේ හිතේ ආරම්භයේ මැවුණ සාර්ථක අවසානයට දැන් මම ඇවිත් ඉන්නවා. * නමුත් ඔබ කතා පැවැත්වීමේදී ආකර්ෂණීය නොවන බවට විරුද්ධවාදීන් විවේචනය කරනවා. ඒ නිසාද සජිත් ප්‍රේමදාස විවාදයකට කළ අභියෝගය භාර නොගත්තේ? මම ආකර්ෂණීය කථිකයෙක් වෙන්න කවදාවත් හිතුවේ නෑ. මම හැමදාම හිතුවේ වැඩක් පිළිවෙළට කාර්යක්ෂමව, සාර්ථකව ඉටුකරන්නේ කොහොමද කියන එකයි. වසර තිහක් තිබුණ යුද්දෙ වසර තුනකදී ඉවර කරන්න පුළුවන් වුණේ මගේ කතාවේ සාර්ථකත්වයෙන් නෙවෙයි. කොළඹ නගර සභාව ආරම්භ කළ දවසේ ඉඳන් උත්සාහ කරලත් කොළඹ කුණු ඉවත් කරගන්න බැරි වුණා. අවුරුද්දක කාලයක් ඇතුළත කොළඹම පිරිසිදු කරලා කොළඹ ආසියාවේ තියෙන පිරිසිදුම නගරෙ කළේ මගේ කථිකත්වයෙන් නෙවෙයි. වැඩ කිරීමෙන්. යුද්දෙ ගැනත්, නාගරික සංවර්ධනය ගැනත් දේශකයෝ සම්මන්ත්‍රණ කොච්චර තිබුණද? වැඩක් වුණාද? ඒ වාගේම තමයි රූපවාහිනි වාද. යුරෝපා රටවල ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා එහෙම ප්‍රසිද්ධ වාදයක් කරනවා. යුරෝපා රටවල නම් අපේක්ෂකයෝ දෙන්න කරන ප්‍රසිද්ධ රූපවාහිනි සංවාද අහලයි හොඳ එක්කෙනා තෝරන්නේ කියලා මේ රටේ ජනතාවට හිතන්න සලස්වලා තියෙනවා. මොන බොරුද? ඔය රටවල බිලියන ගණන් වියදම් කරලා අපේක්ෂකයෝ ඡන්ද ව්‍යාපාර කරන්නෙ. ඇඩ්වටයිසින්වලට වියදම් කරන්නේ බිලියන ගණනින්. රූපවාහිනී වාදේ එයින් එකක් විතරයි. ඒ වාදෙන් එහේ ජනතාව අන්තිම තීරණ ගන්නේ නෑ. ඒ තීරණය ලොකු සිතීමක කොටසක්. අපි ඒ විදිහේ ශීලාචාර දියුණු ප්‍රබුද්ධ දේශපාලන ගමනක් ආවා. වියත් මග හරහා, එළිය හරහා විසිපන්දහකට වඩා රැස්වීම් තියලා අපි ජනතාව සමග සාකච්ඡා කළා. අදහස් හුවමාරු කර ගත්තා. ඒකට මේ රටේ දේශපාලන විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ඉංජිනේරුවරු ප්‍රතිපත්ති සම්පාදනයේ විශාරදයෝ, බැංකුකරුවෝ, ව්‍යාපාරිකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහභාගි වුණා. ඉතින් ඔබ කියන්නේ ඒ මහා සංවාදේ කූටප්‍රාප්තියද සජිත් එක්ක කරන්න ඕනෑ. මම බුද්ධිමත්. මගේ මොළේ හැම දේම තියෙනවා. කියලා කියන කෙනෙක් එක්කද මෙතෙක් රටේම බුද්ධිමතුන් වියතුන් එක්ක වසර තුනක් පුරා කළ සංවාදෙ අවසාන එක කරන්න ඕනෑ. * ඔබ හිතනවද ඔබට එරෙහිව එල්ල කළ සියලු චෝදනාවලට ඔබට උත්තර දෙන්න පුළුවන් වුණා කියලා? මට චෝදනා එල්ල කළේ ඇයි කියලා මේ රටේ ජනතාව දන්නවා. මාව හිරේ දාන්න හැදුවේ ඇයි කියන එකටත් හේතු දැන් නිරාවරණය වෙලා තියෙනවා. අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනිය වාගේම සොලිසිටර් ජනරාල්වරයාත්, එෆ්සීඅයිඩීයේ ප්‍රධානියාත් දැන් මේ රටේ නීතියට ඉතාම වැදගත් දේවල් හෙළිදරව් කරලා ඉවරයි. ඔවුන් කළ ප්‍රකාශ කියවන්න කියලා මම ජනතාවට කියනවා. අත්අඩංගුවට ගත්ත බොහෝ රාජ්‍ය නිලධාරින්ට, හමුදා - පොලිස් නිලධාරින්ට කීවේ ගෝඨාභයව මේ අපරාදෙට අල්ලන්න ඔබට නිදහස දෙන්නම් කියලයි. ප්‍රශ්න කළ අයට, ආණ්ඩුවට නැති වුණාට මේ රටේ රජයේ නිලධාරින්ට හෘදය සාක්ෂියක් තිබුණා. ඒ අය ආණ්ඩුවේ බලපෑමට යට නොවී සිරදඬුවම් විඳ විඳ අස්ථාන, අභූත චෝදනාවලට අත්සන් කළේ නෑ. ඒ නිසා ඒ චෝදනාවලට මම උත්තර දෙන්න ඕනෑ නෑ. හිටපු අධිකරණ ඇමැතිතුමාගේ, අල්ලස් කොමිසමේ ප්‍රධානියාගේ, හිටපු සොලිසිටර් ජනරාල්ගේ වාගේම එෆ්සීඅයිඩී ප්‍රධානියාගේ ප්‍රකාශවලින් මට කළ චෝදනාවලට උත්තර ලැබෙනවා. * 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මීළඟ ජනාධිපතිට තියෙන්නේ ඉතාම සීමිත බලයක්. එහෙම නම් කොහොමද මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්නේ? පළමුවෙන්ම කියන්න ඕනේ මගේ දේශපාලන අභිරුචීන් ගැන. 2005 වසරේදී මම ආරක්ෂක ලේකම් හැටියට වැඩ භාර ගන්නකොට දේශපාලනය කරන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. 2009 යුද්ධය ජය ගත්තත් මට එහෙම වුවමනාවක් ඇතිව නෙවෙයි වැඩ කළේ. 2015 ජනාධිපතිවරණය පරාද වුණාට පස්සෙත් මම මේ රටේ ජනාධිපති විය යුතුයි කියලා මමවත්, ජනතාවවත් හිතුවේ නෑ. මේ රටේ ජනතාව මා ගැන හිතන්න ගත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට පස්සේ. මම කවදාවත් පක්ෂයකින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලලා පොර කාලා හෝ පාක්ෂිකයන්ගෙන් එබඳු දෙයක් ඉල්ලාගෙන ජනාධිපති අපේක්ෂකත්වය කරන කෙනෙක් නෙවෙයි. මහා සංඝරත්නය, අන්‍යාගමික උතුමන්, උගතුන්, වියතුන්, වෘත්තිකයන්, ජනතාව තමයි මාව තෝරා ගත්තේ. එතකොට මගේ අරමුණ මොකක්ද? මගේ අරමුණ මේ තියෙන මහා අර්බුදයෙන් දේශපාලන අවුලෙන් රට ගලවා ගන්න. ජනාධිපති හැටියට තේරී පත් වුණාම මම වැඩකරන විදියට තමයි ඒ ධුරයට තියෙන බලතලවලට එළියක් ලැබෙන්නේ. ජනතා වරම ලැබුණාම එතැන තමයි බලය තියෙන්නේ. ජනතා වරම ලැබුණාම ඔය තියන බලය ඇති අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කරගන්න. ආචාර්ය එන්. එම්. පෙරේරා 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනය කරමින් කීවා ජනාධිපතිත්, අගමැතිත් පක්ෂ දෙකකින් ඉදිරිපත් වුණොත් විශාල අවුලකට රට යනවා කියලා. 2002 දී ඒක වුණා. 2015 දීත් ඒක වුණා. නමුත් ජනාධිපති බලතල අඩු වුණත් අගමැති වැඩි වුණත් දෙන්නම එකම පක්ෂයකින් එක මතයකින් පත් වුණොත් බලය, තනතුර කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් ඊට පස්සේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන රටට ගැළපෙන විදිහට කර ගන්න. ඔබ රාජ්‍ය නිලධාරියෙක්. හමුදා සොල්දාදුවෙක්. ඔබට දේශපාලන අත්දැකීම් ප්‍රමාණවත් නැති බව තමයි ඇතැමුන්ගේ අදහස ඔබ කොහොමද මේ අඩුව සම්පූර්ණ කර ගත්තේ?කෘෂිකර්මාන්තය වේවා, කර්මාන්ත වේවා නූතන තාක්ෂණය, විදේශ ආයෝජන නැතිව රටකට පවතින්න බෑ. ඔබ හිතන ජාතික පිබිදීම ජාතික රාජ්‍යය ගොඩනගන්න පුළුවන්ද? දැන් මේ රටේ දේශපාලන අත්දැකීම් තියෙන අය රාශියක් ඉන්නවා. මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා පාසල් අවධියේ ඉඳන් දේශපාලනය කළ කෙනෙක්. අගමැතිතුමා දෙවතාවක් අග්‍රාමාත්‍ය ධුරය දරලා දීර්ඝකාලයක් විපක්ෂ නායක ධුරයේ ඉඳලා මැතිවරණ රාශියකට ඉදිරිපත් වෙලා හොඳට දේශපාලන පදම්වීමක් තියෙන කෙනෙක්. කැබිනට් මණ්ඩලයේ ඇතැම් අය ජීවිතේම කරලා තියෙන්නේ දේශපාලනය. මෙපමණ දැවැන්ත දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන අය ඉඳිද්දී තමයි තිස් වසරක් යුද්දේ දිගටම කරගෙන ගියේ. දහස් ගණනක් තරුණයෝ මළේ. ඒ වාගේ දේශපාලන අත්දැකීම් තියෙන අය ආණ්ඩු කරමින් ඉන්නකොට තමයි සහරාන් ඇවිත් දේවස්ථාන තුනකටයි, ප්‍රධානම හෝටල් තුනකටයි බෝම්බ ගහලා සිය ගණනක් මරා දැම්මේ. දේශපාලන අත්දැකීම්වලින් පිරුණු අය ආණ්ඩු කරනකොට තමයි අපි පිරිසිදු කළ කොළඹ කුණු ටික ඉවත් කර ගන්න විදියක් නැතිව ගඳ ගහන්නේ. ජනතාවට සේවයක් නැති රටට දියුණුවක් ගේන්න බැරි දේශපාලන පරිණතකමක් මොකටද? අද රට ඉල්ලන්නේ දේශපාලන නායකයො නෙවෙයි, රටට වැඩ කරන නායකත්වයක්. * මේ රටේ ඔබ ජනාධිපති වුණොත් ප්‍රමුඛත්වය දිය යුත්තේ මොනවාටද? බොහෝම දේ තියෙනවා, කඩිනමින් විසඳිය යුතු. රටේ ජාතික ආරක්ෂාව වහාම තහවුරු කරන්න ඕනෑ. ජාතීන් අතර තියෙන බිය නැති කරන්න ඕනෑ. දේශපාලන ස්ථාවරත්වය ඉක්මනින් තහවුු කරන්න ඕනෑ. රට පවතී කියන විශ්වාසය අපේ ජනතාව තුළත්, ලෝකයෙත් තහවුරු කරන්න ඕනෑ. මතක තියාගන්න අපි ලෝකයේ දැවැන්ත යුද්ධයක් කළා. ඒ කාලෙම ලෝක ආහාර, මූල්‍ය, තෙල් අර්බුදයක් ආවා. අපි ඒවාට මුහුණ දුන්නා. යුද්දෙ කරන අතරේම තමයි රටේ දැවැන්ත සංවර්ධන වැඩ කරගෙන ගියේ. ඒ සංවර්ධන වැඩ කරගෙන ගියයි කියලා අපි යුද්දේ නතර කළාද? නෑ. සටන් විරාම ගිවිසුමක් නෝර්වේ මැදිහත් කරගෙන අත්සන් කරලා තියෙද්දියි යුද්දෙ කළේ. ඒ සටන් විරාම ගිවිසුම ඉරලා දැම්මා. යුද්දෙත් කළා. ආධාර ගන්න යුද්දේ නතර කළේවත්, සටන් විරාම ගිවිසුම කියා ගත්තෙවත් නෑ. විදේශ ආධාරත් ගත්තා. රටත් හැදුවා. මතක තියාගන්න අපිට ලෝකෙ ඕනෑ වෙනවා වගේම ලෝකෙටත් අපිව ඕනෑ වෙනවා. ඒ බලවතුන්ගේ ඕනෑකම කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ යටත් වෙලා පාවා දීලා නෙවෙයි. ඒ ගොල්ලන්ගේ ඕනෑකම අපිට වාසි වෙන විදියට කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්න ඕනෑ. * ජනාධිපති වූ වහාම අත්අඩංගුවේ ඉන්න සියලු සෙබළුන්, රණවිරුවන් නිදහස් කරන්න ඔබ ප්‍රතිඥා දුන්නා. ඒක කරන්න පුළුවන් දෙයක්ද? දැනට මේ ආණ්ඩුවෙන් හිරේ දාපු තුන් වර්ගයක රණවිරුවන් ඉන්නවා. මහාධිකරණයෙනුත්, අභියාචනාධිකරණයෙනුත්, නඩුවක් ඔප්පු කරලා සිරගත වෙලා ඉන්නේ එක් කෙනයි. නමුත් තවත් සෑහෙන පිරිසක් ඉන්නවා, ක්‍රියාන්විත සේවයේ යෙදී ඉඳිද්දී වුණ වැරදි නිසා වරදකාරයෝ කරලා පළිගැනීමේ චේතනාවෙන් හිරේ යවපු, රිමාන්ඩ් එකේ ඉන්න, ඒ සියලු දෙනාව අපි නිදහස් කරන්න ඕනෑ. ඒ අය ගියේ තමන්ගේ ජීවිතේ පරදුවට තියලා, රට වෙනුවෙන්. එහෙම කෙනකුගේ අතින් වැරදීමක් වෙන්න පුළුවන්. මොකද ඒ අය යුද්ධ කළේ මරාගෙන මැරෙන ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් එක්කයි. ඒ කළේ රට වෙනුවෙන්. බටහිර රටවල් යුද්දෙට යන එබඳු අයට සමාවක් දෙනවා. ඒක තමයි ඇත්ත. * මේ වාගේ දේවල් කරන්නේ ඔබට දෙමළ ජනතාව සිතන හැටි ගැන වැටහීමක් නැති නිසා කියලා මම කීවොත්...? ඇත්ත ඒකද? මම යුද හමුදා සේවයට එකතු වූයේ වයස 21 දී. එදා ඉඳන් යුද හමුදාවෙන් සමුගන්නා තෙක් නොයෙක් වතාවල, කාලවල මම ජීවත් වුණේ උතුරේ හෝ නැගෙනහිර. අපි රජයේ හමුදා සෙබළු වුණාම නිතරම ජීවත් වුණේ එහේ ජනතාව එක්ක. මේ රටේ දකුණේ දේශපාලනය කරන බොහෝම දෙනකුට වඩා අපි ඒ ජනතාවගේ හදවත දන්නවා. ඊළඟට මම ඇමෙරිකාවේ වසර 12 ක් ජීවත් වුණා. ලෝකයේ විවිධ ජාතීන් හිතන හැටි ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඊළඟට මම වසර අටක් ආරක්ෂක ලේකම් හැටියට යුද්ධ කරන්න කටයුතු කළේ උතුරේ නැගෙනහිර. එදා ඉඳන් කළේ එහේ සිවිල් ජන ජීවිතය ආරක්ෂා කරන එක. මතක තියාගන්න උතුරේ වගේම නැගෙනහිරත් වැඩිපුරම ඉඩම් නිදහස් කරලා, බිම් බෝම්බ ගලවලා දුන්නේ මගේ මෙහෙයවීමෙන්. වැඩිම දෙමළ තරුණයෝ පිරිසක් මරණයෙන් බේරාගෙන හිර ගෙදරිනුත් බේරාගෙන නිදහසේ ඉන්න දෙන්න මමත් දායක වුණා. මෙහෙම ඉතිහාසයක් තියෙන මට මේ රටේ සුළු ජාතීන් හිතන පතන දේ ගැන හොඳ වැටහීමක් තියෙනවා. කොළඹ ඉඳන් දේශපාලනය කළ අයට මේ අවබෝධය තියෙනවයි කියලා මම හිතන්නේ නෑ. * පෑඩ් එහෙමත් නැතිනම් සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට ලබාදෙන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පොරොන්දු වෙලා තියෙනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ? ඔබට කාන්තාවන් ගැන අවබෝධයක් නෑ කියලා එතුමා කියනවා? එතුමාගේ ප්‍රතිපත්ති පොරොන්දු ගැන මගෙන් අහන්න එපා. එතුමාගේ දැක්මට අනුව තමයි එතුමා වැඩ කරන්නේ. මම වැඩ කරන්නේ රටේ ජනතාව ඉල්ලූ, රට ගොඩනගන්නට. මම හිතන්නේ ඔය වාගේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරලා ජනතාව අපහසුතාවට පත් කරන්න වුවමනා නෑ. දැනටමත් අපේ සෞඛ්‍යය සේවය පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මගින් ඔය වගේ බොහෝ කාන්තා අවශ්‍යතා සම්පූර්ණ කරනවා. අපි සෞඛ්‍යයට, සෞඛ්‍යය සේවය ගොඩනගන්න මුදල් වියදම් කරලනවා කියලා තියෙනවා මිස ඒ මුදලින් කාන්තා ගර්භාශය ඉවත් කරනවා, පෑඩ් දෙනවා වගේ විස්තර කියන්නේ නෑ, සිරිතක් වශයෙන්. එතුමාගේ පොරොන්දු ඉදිරිපත් කරන විදිහනේ ඒ. මේ රටේ රාජ්‍ය තන්ත්‍රය ඉතාම අකාර්යක්ෂමයි. දූෂිතයි. ඔබ හිතනවද ඒ වාගේ රාජ්‍ය තන්ත්‍රයකින් රටට වැඩ කරවන්න යොදාගන්න පුළුවන් කියලා? එහෙම කියන්න එපා. තිස් වසරක් පරාද වෙමින් මැරුම්කමින් තිබුණ හමුදාවක් තමයි අපිට යුද්දෙට හම්බ වුණේ. ඒ අය සුපර් මෑන්ලා නෙවෙයි. ගමෙන් ආව තරුණයෝ. නමුත් අපි ඔවුන්ව සුපර් මෑන්ලා කරලා ගත්තා. විනයක් සහිත පිරිසක් බවට පත් කළා. අපි ඔවුන් තුළ විශ්වාසය ඇති කළා. යුද්ධය දිනුවෙ ඒ හමුදාවෙන්. අපි ලෝකෙ විශිෂ්ටතම ත්‍රිවිධ හමුදාවක් හැදුවා. නාගරික සංවර්ධන අධිකාරිය වසර තිහ හතළිහක් පරණයි. නමුත් අපේ නගර තිබුණේ කළුවට. ගරා වැටුණ විදිහට. අපි භාර ගත්තේ අකාර්යක්ෂමයි කියලා හංවඩු ගැහුණ ආයතනයක්. නමුත් ඒකේ නිලධාරින් ආසියාවේ හොඳම නගර හැදුවා. අපේ රාජ්‍ය සේවයට නිසි නායකත්වයක් දීලා ඔවුන්ගෙන් වැඩ ගත්තොත් අපට ලෝකෙ හොඳම රටක් හදන්න පුළුවන්. අපි අපේ ආකල්පයි වෙනස් කරන්න ඕනේ. උදාහරණයක් විදියට මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැමදාමත් උපාධියත් එක්ක එළියට ආවේ ජීවිතේ ගැන ධෛර්යවන්ත හැඟීමකින් නෙවෙයි. අපි මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන ශිෂ්‍යයන්ට ත්‍රිවිධ හමුදාවේ මෙහෙයවීමෙන් නායකත්ව පුහුණුවක් දුන්නා. විශ්වවිද්‍යාලයට ඇතුළු කර ගත්තේ ඒ පුහුණුව දීලා. ඒ පුහුණුව දෙන්න හදනකොට විශාල විරෝධයක් ආවා, හමුදා පුහුණුවක් දෙනවා. ඒවා අධ්‍යාපනයට අදාළ නෑ කියලා. නමුත් පළමු වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න කලින් අපි පුහුණු කළා විතරයි, දෙවැනි අවුරුද්දේ ඉඳන් මේ රටේ තරුණයෝ ඒ පුහුණුවට ඉතාම ආශා කළා. උදෙන් නැගිටින්න, ඇඟ නිරෝගීව තියාගන්න, දවසක් ධෛර්යයෙන් වැඩ කරන්න තමයි පුහුණු කළේ. ඒ පුහුණුව දිගටම දුන්නා නම් රාජ්‍ය සේවයට බැඳෙන්නේ රටට ආදරය කරන දියුණු ආකල්ප තියෙන පිරිසක්. නමුත් දැන් රාජ්‍ය සේවයට දොස් කිය කියා ඉන්නවා මිස ඒ අයව දියුණු කරන්න කාටවත් වුවමනාවක් නෑ. අපි කරන්න ඕනෑ ඒ අයව දියුණු කරන එක.
 

More News..