brand logo

48 පෙබරවාරි 04 මෙහෙමයි වුණේ

04 February 2019

වසර 71 කට පෙර උදා වූ නිදහස ගැන 103 හැවිරිදි රාජපක්ෂ ඉස්කෝලේ මහතාගේ මතකය ‘‘ඔහු නමින් රාජපක්ෂ මුදියන්සේලාගේ දොන් සයිමන් රාජපක්ෂය. විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ඔහු උපන්නේ 1916 ජුනි 17 වැනිදාය. 1948 ලංකාවට නිදහස ලබන විට රාජපක්ෂ මහතා වයස අවුරුදු 32 ක තරුණයෙකි. මේ වන විට නුගේගොඩ මිරිහානේ වෙසෙන ඔහු එදා නිදහස් දිනය ගැන කරන විස්තරය ඉතිහාසයේ සජීවී සටහනක් මෙනි. මුලින්ම ඉස්කෝලෙ මහත්තයගේ පවුලේ විස්තර දැනගන්න කැමැතියි? මගේ ගම උඩමාපිටිගම. අපේ පවුලේ පස්දෙනයි. ජුවානිස් අප්පුහාමි තාත්තා. අම්මා ප්‍රෙමිතා සිල්වා. 1948 පෙබරවාරි 04 වැනිදා මතකද, එදා මොකද කළේ? උදේම මල්වට්ටියක් හදාගෙන පන්සලට ගියා. බුදුන් වැඳලා නිදහස් දිනයට පිං දුන්නා. අපේ ගමේ පංසල, මාපිටිගම ශ්‍රී සුභද්‍රාරාමය. නායක හාමුදුරුවෝ අපේ මහප්පා. මාපිටිගම සුගතපාල හාමුදුරුවෝ. මං ඒ දවස්වල දැඩිගමුව ඉස්කෝලේ විදුහල්පති. මම මහන්සිවෙලා තමයි ඒක දැඩිගමුව මහා විද්‍යාලය කළේ. ලංකාවට නිදහස උදාවෙන දිනය නිසා ඉස්කෝලෙත් උත්සවයක් තිබ්බද? මුලින්ම ළමයි පන්සලට එක්කං ගිහින් බුදුන් වැන්දා. ඊට පස්සේ ලංකාවට නිදහස ලැබීම ගැන ඉස්කෝලෙත් උත්සවයක් තිබ්බා. ඒ උත්සවයට සහභාගි වෙච්ච ළමයි දැන් ඔක්කෝම අවුරුදු 75 ත් පැනපු උදවිය. මට තාමත් මගේ ගෝලයෝ කතා කරනවා. අවුරුද්දට තෑගිභෝග අරන් මාව බලන්න එනවා. මට ඊට වඩා සතුටක් නැහැ. 1948 නිදහස් දිනයට පෙර ලංකාවේ සිංහ කොඩිය භාවිත වුණාද? වාරියපොළ සුමංගල හාමුදුරුවෝ 1815 ඉංග්‍රීසි කොඩිය බිම දාලා ඉහළට එසව්වෙත් සිංහ කොඩියක්. මොකද සිංහ කොඩි නොතිබුණේ, ඒවා ඉහළට එසෙව්වද කියලා නම් මතකයක් නැහැ. 1948 කියන්නේ මීට අවුරුදු 71 කට කලින්. එදා පෙබරවාරි 4 වැනිදා ටොරින්ටන් චතුරස්‍රය මතකද? ටොරින්ටන් එක එදා පුරාණ සේසත්වලින්, සිංහ කොඩිවලින්, තව රජ කාලේ ප්‍රාදේශීය කොඩිවලින් සරසලා තිබ්බේ. රටේ හතර පැත්තකින් ස්ත්‍රීන් පණිවුඩයක් අරන් ආවා. ඒක හතරට විතර අගමැතිතුමාට භාර දෙන්න තිබ්බේ. ඒ සංදේශය කිව්වේ සුද්දන්ගේ ඉංග්‍රීසි භාෂාවෙන්ද? ඉංග්‍රීසියෙන් කියෙව්වේ තුන්වැනියට. මුලින්ම සිංහලෙන්, ඊට පස්සේ අරාබි භාෂාවෙන්, අන්තිමට දෙමළෙනුත් කිව්වා. නිදහස් දිනයේ ගායනා කරන්න ලංකාවට ජාතික ගීයක් තෝරගත්තේ කොහොමද? ජාතික ගීයක් සඳහා රචනා එවන්න කියලා ඒ කාලේ පත්තරවල තිබුණා. ඒකට ආනන්ද සමරකෝන්ගේ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයත් එවලා තිබුණා. ගුරුවරයකු වශයෙන් ආනන්ද සමරකෝන්ව හඳුනනවද? සමරකෝන් එතකොට ගාල්ලෙ මහින්දෙ සංගීත ගුරා. ඔය දවස්වල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න ඉන්දියාවට ගිහින් හිටියේ. ආණ්ඩුව පත් කරපු ජාතික ගී කමිටුවට ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය ඉදිරිපත් කළේ සමරකෝන්ගේ නෝනා කර්ලැයින්. ඒ වුණාට නිදහස සමරුවේ ගායනා කළ ජාතික ගීය ‘නමෝ නමෝ මාතා’ නෙමෙයි නේද? නිදහස් දිනයේ ගායනා කළේ පී. බී. ඉලංගසිංහ රචනා කරපු ජාතික ගීයක්. ඒ ගීතය මතකද? ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිමා වගේ වචන වගයක් තිබුණේ. රේඩියෝ සිලෝන් එකෙන් ප්‍රචාරය කළෙත් ඒක තමයි. පහුවෙනිදා පත්තරවල ඔය ජාතික ගීය මුළුමනින්ම තිබ්බා. ඉලංගසිංහ රාලහාමිගේ ජාතික ගීය කොටඋඩ ගියේ අැයි? ඒ ජාතික ගීයට මිනිස්සු බණින්න පටන් ගත්තා. ඒකේ වචන ජාතික ගීයකට ගැළපෙන්නේ නෑ කියලා. අනික විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් මේක රචනා කරලා සංගීතයත් විනිශ්චය මණ්ඩලේ කෙනෙක්ම දාපු නිසා බෙදන්න හිටපු අය තමන්ගේ මල්ලටම බෙදා ගත්තා කියලා ඒදවස්වල පත්තරවල ගියා. ආනන්ද සමරකෝන් ලංකාවේ හිටපු නැති නිසා නමෝ නමෝ මාතා ගීතය පුහුණු කළේ කව්ද? එතකොට මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන. මේ වැඩේට තෝරාගත්තේ මර්සලින් ජයකොඩි පියතුමා. ජේ.ආර්. කිව්වේ මේ ගීය පුහුණු කරන්න මියුසියස් එකේ ගෑනු ළමයි ගන්න කියලා. ජේ.ආර්. තමන්ගේ කාර් එකෙන්ම පියතුමාව මියුසියස් එකට එක්කං ගියාම මුළු ඉස්කෝලෙම පුදුමෙට පත්වෙලා බලන් හිටියලු. මොකද ඒ ඉස්කෝලෙට කතෝලික පියතුමෙක් කවදාකවත් ගිහින් තිබුණේ නෑ. එතකොට නමෝ නමෝ මාතා ජාතික ගීය මුලින්ම ගායනා කළේ කවදද? 1949 පෙබරවාරි 04 වැනිදා. ඔය නිදහස් සමරු මන්දිරයට මුල්ගල තිබ්බේ. 48 නිදහස ලැබුණට පළමුවැනි රාජ්‍ය නිදහස් උළෙල පැවැත් වුණේ ඊට අවුරුද්දකට පස්සේ. ජයකොඩි පියතුමා මෙහෙය වූ ජාතික ගීය මියුසියස් සිසුවියෝ ගායනා කරද්දී සංගීතය මෙහෙය වූයේ කව්ද? ලයනල් එදිරිසිංහත්, පී.ඇල්.ඒ. සෝමපාලත් සංගීතය මෙහෙයවන්න හිටියේ. 1948 දී නිදහස් උත්සවය වෙනුවෙන් හත් දවසක් මඟුල් කෑව කියන්නේ ඇත්තද? නිදහස් උත්සවයේ ප්‍රධාන උත්සවය තිබුණේ පෙබරවාරි 10 වැනිදා. එදා තමයි ඔය ගෝල්පේස් එකේ තියෙන පාර්ලිමේන්තුව විවෘත කළේ. ඒක එදා හැඳින්වුණේ නිදහස් ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව කියලා. මේ උත්සවයට එංගලන්තෙන් ආවේ කව්ද? මහරැජනගේ සහෝදරයෙක් ආවේ. ග්ලොස්ටර්ස් හි ආදිපාදවරයයි, ආර්යාවයි. මේ උත්සවයට ආරාධිතයෝ විතරයි ඇතුළු වුණේ. විශාල පිරිසක් එළියේ හිටපු බව පහුවෙනිදා පත්තරවල තිබුණා. එතකොට තිබ්බ පත්තර මොනවද? ලංකාදීපෙ පටන් ගත්තේ නිදහස ලබන්නත් ඉස්සර. දැන් තියෙන පත්තරවලින් තිබ්බේ ‘සිළුමිණ’ විතරයි. ඒ කාලේ ගොඩක් පත්තර තිබ්බා. දැන් නම් ඒ එකක්වත් නැහැ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ සිංහාසනය ප්‍රදර්ශනය කළේ කවද්ද? රාජසිංහ රජ්ජුරුවන්ගෙ සිංහාසනය ප්‍රදර්ශනය කළේ ටොරින්ටන්වල, රජකුමාරයා ආපු උත්සවයේදී. සිංහාසනයත්, රාජසිංහ රජ්ජුරුවන්ගේ රාජකීය කඩුවත්, ඔටුන්නත් තැන්පත් කරලා තිබ්බා. දෙපැත්තේ ඇත්දළ දෙකක් තිබ්බා. ලංකාවට නිදහස ලැබෙනකොට බ්‍රිතාන්‍යයේ රජ්ජුරුවෝ කව්ද? හයවැනි ජෝර්ජ් රජතුමා තමයි. ඒ කාලේ ඉස්කෝලවල රජතුමා ගැන ‘‘අපේ රජතුමා හයවැනි ජෝර්ජ් රජතුමා සාමයෙන් සමාදානය...’’ මට හරියට මතක නෑ. ඔන්න ඔය වගේ ප්‍රශස්තියක් ගායනා කළා. එතකොට ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා කව්ද? බ්‍රිතාන්‍යයෙන් ආපු මේසන් මුවර් කියන සුද්දා තමයි ලංකාවේ පළමුවැනි අග්‍රාණ්ඩුකාරයා. එතුමා දිවුරුම් දුන්නේ කොහේද? රජගෙදර තමයි. දැන් ජනාධිපති මන්දිරය කියන්නේ. එතකොට එතන හිටපු ආණ්ඩුකාරතුමාට මොකද වුණේ? අලුත් ආණ්ඩුක්‍රමයට අනුව ආණ්ඩුකාර තානාන්තරේ අග්‍රාණ්ඩුකාර ධුරය විදිහට වෙනස් වුණා. ඒ ගැන ගැසට් එකක් ගැසූ බව හැම කඩපිලකම කතා වුණා. ලංකාවට නිදහස ලැබුණ දවසේ රටපුරා දියත් කෙරුණ වැඩසටහන් මොනවද? රටපුරා රුක්රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. අගමැති ඩී.එස්. ඒක ආරම්භ කළේ කොල්ලුපිටිය පොල්වත්ත විහාරයේ අඹ පැළයක් හිටවලා. ඒ අවුරුද්දේ පෙබරවාරි මාසයේ එල්ලල මරන්න හිටපු අයට සාමාන්‍ය දඬුවම් දුන්නා. පෙබරවාරි 04 වැනිදා සියලු ගව, කුකුල්, එළු, ඌරන් ඝාතකාගාර වසා දැම්මා. පෙබරවාරි 4 වැනිදා විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව පටන් ගත්ත පෙබරවාරි 10 ත් නිවාඩු දවස් කළා. කොටින්ම නිදහස් දවසේ දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලේ බලන්න දුන්නා. නිදහස ලැබිලා අවුරුදු 71 කට පස්සේ අවසන් වශයෙන් කියන්න පුළුවන් මොනවද? මම නම් ජීවිතේ තෘප්තිමත් පුද්ගලයෙක්. ගත වූ කාලයේ අපි මනුෂ්‍යයෝ වශයෙන් පරිහානියට ගිය බව තමයි මට කියන්න තියෙන්නේ. නිදහස ලබන්න කලින් මේ රට නීතිය හරියට අපක්ෂපාතීව ක්‍රියාත්මක වූ යුගයක්. මම අවුරුදු 100 ට වැඩිය ජීවත් වුණා. මම අත්දැකීමෙන් දකින සත්‍යයක්. සටහන : ප්‍රදීප් පෙරේරා ඡායාරූප වජිර ලියනගේ
 

More News..