brand logo

පළාත් සභාවලට වෙන දේ දෙයියො දනී මං නොදනී

08 September 2019

ඔබ තමයි අපේ අවසන් මැතිවරණ කොමසාරිස්... ඒ වගේ ම මැතිවරණ කොමිසමේ පළමු සභාපතිවරයා... මේ තනතුරු දෙකේ ලොකු වෙනසක් තියෙනවද...? සරලවම කියනව නං, කොමසාරිස් කිව්වොත් එකයි... කොමිසම කිව්වොත් තුනයි... ටිකක් විස්තර කරල කිව්වොත්...? මෙහෙමයි... කොමසාරිස් කාලෙ තීන්දු තීරණ ගත යුත්තේ කොමසාරිස්වරයා... කොමිසමෙන් පසුව එහි සාමාජිකයින් තුන්දෙනා එකට එකතුවෙලා තීරණ ගන්න ඕන... පළමු ආකාරයට වඩා දෙවන ආකාරය ප්‍රජාතන්ත්‍රවාදීයි... නමුත් ප්‍රායෝගික භාවිතාවෙදි මොන විදියද වැඩියෙන් හොඳ...? මේ තනතුරේ ඉන්න ගමන් ඒ සම්බන්ධයෙන් දැන්ම අදහසක් කියන්න බෑ... පිටින් ඉන්න අපට පේන හැටියට නම් කොමිසමේ තුන්දෙනාට යම් යම් තීරණාත්මක කාරණාවලදි එක මතයකට එන්න බැරි බවක් පේනවා...? ඒක වෙන්න පුළුවන්... මෙතනදි අපි හැමෝම එකම මතයක ඉන්න ඕන කියල නීතියක් නෑනෙ... හැබැයි බහුතර මතය කොමිසමේ මතය හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්... දැන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙනුත් කොමිසම තුළ අර්බුදයක් ඇතිවෙලා නේද...? නැහැ... එහෙම එකක් නැහැ... අපේ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය හූල් එක්තරා පුවත්පතකට කියලා තිබුණා, ඇල්පිටියෙ මැතිවරණය ජනාධිපතිවරණයට පස්සෙ තියන්න ඕන කියලා... ඒක එතුමාගෙ පුද්ගලික මතය... හැබැයි කොමිසමේ මතය ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා මැතිවරණය කලින් තැබීම සුදුසුයි කියන එක... ඔබ මේ විදියට මේ ගැන හාරා අවුස්සලා ඇහුවා මිසක් නැත්නම් කොමිසමේ ඇතුළෙ කාට මොන මතය තිබුණද වගේ දේවල් අපි සම්ප්‍රදායක් හැටියට එළිපිට කියන්නේ නෑ... හැබැයි, මහාචාර්ය හූල් කියනවා එතුමා නොමැති අවස්ථාවක තමයි කොමිසම මේ තීරණය ගත්තෙ කියලා...? එතුමා හිටියෙ නැති එක ඇත්ත... නමුත් තුනෙන් දෙකක් කියන්නෙ බහුතරයනෙ... එහෙම තීරණයක් ගන්න කිසිදු බාධාවක් නෑ... අනික මේ තීරණය ගත්තෙ අපිත් නෙවෙයි... ඒ තීරණය ගත්තෙ ගාල්ල තේරීම් භාර නිලධාරියා... මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කෙරුණේ, ගාල්ල තේරීම්භාර නිලධාරියා විසින් සති 7 ක් සහ 15 ක් අතර මැතිවරණයට දින නියම කළ යුතුයි කියලා. එතකොට ගාල්ල තේරීම්භාර නිලධාරියා ජනාධිපතිවරණයටත් බාධාවක් නොවෙන විදියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ කාලවකවානුවටත් ගැළපෙන විදියට සුදුසුම දිනය ගත්තා... ඇල්පිටිය මැතිවරණය කල් තියන්න කියලා දේශපාලන සංස්ථාවෙනුත් යම් යම් බාධා තියෙනවද... නැහැ... කිසිසේත්ම නැහැ... මේ වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වෙන්න දින වකවානුත් තීරණය කරල ඉවරද...? තවම නැහැ... නමුත් නිශ්චිත වශයෙන් ම ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වැනිදාට කලින් දවසක තියන්න ඕන. මේ වන විට ඒ සම්බන්ධයෙන් තිබෙන සූදානම ...? අපේ නාම ලැයිස්තු ටික සූදානම්... නිලධාරීන් සූදානම්... ප්‍රවාහන පහසුකම් සූදානම්... පෙට්ටි ටික සූදානම්... අපි දැන් සාකච්ඡා කරලා, සුදුසු දිනයක් තෝරාගෙන මැතිවරණ රාජකාරි ටික කරන්නත් දවස් 44 ක් විතර ඉඩ තියලා, සුදුසු විදියට මැතිවරණ කටයුතු පටන් ගන්නවා... අපි දකිනවා ඔබ යම් යම් අවස්ථාවල කියනවා, ජනාධිපතිවරණයට රුපියල් කෝටි 450 ක් විතර යයි කියලා... ඡන්දෙට කලින් නිතර නිතර මේ විදියට ගණන් මිනුම් කියන එකෙන් ඡන්දදායකයින් තුළ සෘණාත්මක හැඟීමක් ඇතිවෙන්න පුළුවන් නේද...? එහෙම වෙන්නෙ කොහොම ද...? මැතිවරණයකට යන ගණන් හිලව් අපි මීට කලිනුත් ඕනෑ තරම් කලින් ප්‍රසිද්ධ කරලා තියනවා... අනික ඔය කෝටි 450 මොකක්ද...? ඒක වියදම් කරන්නෙ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නනෙ... අනික මේ රටේ මීට වඩා කොච්චර සල්ලි කන්දරාවක් අපතේ යනවද...? ඔබ තමයි මුලින් ම මීළඟ ජනාධිපතිවරණයේදී කිසිවෙකුටත් 50% ක් ඡන්ද ගන්න බැරිවෙයි කියන ප්‍රවාදය ගොඩනැඟුවේ...? එහෙම කළ නිසා 3 වැනි අපේක්ෂකයාට යම් වාසියක් අත්වෙනව නේද...? 50% අවදානම මේ අවස්ථාවේ නෙවෙයි, කලින් අවස්ථාවලත් තිබුණා... අපිම ඒ ගැන කියලත් තියනවා... එක අපේක්ෂකයෙක් 90% ක් අරන් අනෙක් 10% අනෙක් සියලුම අපේක්ෂකයින් අතර බෙදිල ගියත් අපිට නම් ප්‍රශ්නයක් නෑ... අපිට නං ඒ ගැන කිසිම කලබලයක් නෑ... නමුත් මෙතනදී ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාර දෙකක් තිබෙන බව, ඒ කියන්නෙ කතිරයෙන් හෝ 1,2,3 ක්‍රමයෙන් එය කළ හැකි බව ඡන්දදායකයින්ට කියන එක අපේ යුතුකමක්... දැන් මේ කතාව හිතට අරගෙන ඇතැම් කණ්ඩායම් දෙවැනි, තුන්වැනි මනාපය ප්‍රකාශ කරන්න කියල ප්‍රචාරණ ව්‍යාපාර ගෙන ගියොත්, ඒක වරදක් ද...? නැහැ... වරදක් නෙවෙයි... 88 ජනාධිපතිවරණයේදිත් එවැනි ප්‍රචාරණ ගෙන ගිය අපේක්ෂකයින් හිටියා... හැබැයි එහෙම ප්‍රචාරණ කටයුතු කරන අය පිළිබඳ වෙනත් ප්‍රශ්න තියනවා... මොකද කිසියම් අපේක්ෂකයෙක් කිව්වොත් මට පළමු ඡන්දය දීලා දෙවැන්න අහවලාට දෙන්න කියල ඒ තුළ ගැබ්වෙලා තියෙනවා ඒ අපේක්ෂකයා එන්නෙ තනිව තරග කරලා දිනන්න නොවෙන වග... එහෙම කරන යම් අපේක්ෂකයෙක් ඉන්නව නං එයා ඇවිල්ල ඉන්නෙ දිනන්න බලාගෙන නෙවෙයි... දිනන්න එන අපේක්ෂකයෙක් කවදාවත් මට පළමු ඡන්දය දීලා දෙවැන්න අහවලාට දෙන්න කියන්නෙ නෑනෙ... පහුගිය කාලයේ අපේ රටට හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනව ද...? ඔව්... ඇත්තෙන් ම මිශ්‍ර සමානුපාත ක්‍රමය කියන්නෙ සෑහෙන්න දියුණු මැතිවරණ ක්‍රමයක්... නමුත් ‘ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමවේදයෙන් බැහැරව ඒක එච්චර ඵලදායක නෑ... මොකක්ද මේ ‘ද්විත්ව පත්‍රිකා ක්‍රමය’ කියන්නේ...? ඒ කියන්නේ එකම ඡන්ද පත්‍රිකාව දෙකට බෙදුණු ඡන්ද පත්‍රිකාවක්... මෙතැනදී ඡන්දදායකයාට පුළුවන් පක්ෂයකට එක් මනාපයකුත් අපේක්ෂකයාට තවත් මනාපයකුත් දෙන්න... ඒ වගේම මෙතැනදී තමන් මනාපය පළකරන අපේක්ෂකයා තමන් කැමති පක්ෂයේ ම වෙන්නත් අවශ්‍ය නෑ... එතනදී පක්ෂයකටත් ඒ ගමන් ම වෙනත් පක්ෂයක අපේක්ෂකයකුටත් එකවර ඡන්දය දෙන්න පුළුවන්... එතකොට කාන්තා නියෝජනයට අදාළව හඳුන්වාදුන්නු ‘කෝටා ක්‍රමයත්’ හොඳයි කියලද ඔබ කියන්නෙ...? ඔව්... කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගේන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක... එතකොට ඉන්දියාවෙ ඇතැම් ප්‍රාන්තවල දැන් දැන් සංවිධානය වන කාන්තාවන් සඳහා ම වූ දේශපාලන පක්ෂ ක්‍රමය ගැන මොකද හිතන්නෙ...? ඒක අසාර්ථකයි... ඒක විතරක් නෙවෙයි, කාන්තා ලැයිස්තු ක්‍රමයත් අසාර්ථකයි... ඒ විතරකුත් නෙවෙයි, සුළු ජාතික පක්ෂ වෙන වෙනම සංවිධානය වීමත් අසාර්ථකයි... දේශපාලනය කියන්නෙ පුළුල් විෂයක්... ඒකෙ ආයෙ කාන්තාවන්ට වෙනම පක්ෂ, පිරිමින්ට තවත් පක්ෂ, ජාතීන් සහ කුල මල විදියට බෙදුණු පක්ෂ අවශ්‍ය නෑ... දැන් ඉතිං ඔබ කියන හැටියට දෙසැම්බර් 7 ට කලින් ජනාධිපතිවරණය පැවැත්වෙයි... එතකොට පළාත් සභා මැතිවරණයට මොකද වෙන්නෙ...? ඒක නං ඉතිං දෙයියො දනී... මං නොදනී... මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැටියට එහෙම කියල ඔය විදියට අතපිහදාගන්න පුළුවන් ද...? මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය බලන්න... ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න තිබුණෙත් මං කියපු විදියෙම උත්තරයක්... ඒ මොකද කියනව නං ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒක පවත්වන්න කියල නියෝග කරන්න බෑ... එතකොට ජනාධිපතිටත් බෑ... මැතිවරණ කොමිසමටත් බෑ... පුළුවන් එකම එක තැනකටයි... ඒ තමයි පාර්ලිමේන්තුව... සීමා නීර්ණ ප්‍රශ්නය විසඳලා හරි, එහෙමත් නැත්නම් පරණ ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ මීළඟ පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළව නියෝගයක් ගන්න මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතුයි කියපු අයත් දැන් තේරුම් අරන් ඇති, මැතිවරණ කොමිසමට තියා ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පළාත් සභා මැතිවරණය කැඳවන්න කියල නියෝග නිකුත් කරන්න බැරි බව... ඇත්තටම ඒක කරන්න පුළුවන් එකම ජගතා පාර්ලිමේන්තුව විතරමයි. සුරේඛා සමරසේන
 

More News..