brand logo

හොරෙන් පත්වීම් අරන් හොඳහැටි සැපත් විඳලා ජල සම්පත් මණ්ඩලයේ විගණනයෙන් හෙළි වේ

01 September 2019

මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජල සම්පත් මණ්ඩලයට බඳවා ගෙන සිටින ඉහළ නිලධාරීන් පිරිසක් එම තනතුරුවලට අදාළ සියලු වරප්‍රසාද භුක්ති විඳින බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා මුදල් ), සහකාර සාමාන්‍යාධිකාරී (පාලන), සහකාර සාමාන්‍යාධිකාරී (පර්යේෂණ හා සංවර්ධන), සහකාර සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති) නීති නිලධාරී හා විගණන නිලධාරී යන තනතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කර ඇතත් එම තනතුරුවලට සුදුස්සන් බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කර නැත. එසේ තිබියදී බලපත්‍ර ලබා මේ අතරින් දෙදෙනෙක් බදු රහිත පදනම මත වාහන බලපත්‍ර ලබා ගෙන තිබෙන බවද විගණනයේ දී හෙළි වී ඇත. මෙලෙස වාහන ගැනීමේදී වෙළෙඳ හා ආයෝජන හා ප්‍රතිපත්ති චක්‍රලේඛය උල්ලංඝනය කර ඇතැයි ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත. එමෙන් ම මෙම තනතුරු දරන්නන්ගෙන් එක් නිලධාරියෙක් රුපියල් පනස්දහසක ප්‍රවාහන දීමනාවක් සහ මාසයකට ලීටර් 140ක ඉන්ධන දීමනාවක් ද ලබමින් සිටියි. සහකාර සාමාන්‍යාධිකාරී (පාලන) හා සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) යන තනතුරු දෙක කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව 2012 වසරේ අනුමත කළ ජල සම්පත් කාර්ය මණ්ඩලයට ඇතුළත් වී නොමැති නමුත් ඉන් පසුවත් එම තනතුරුවල නිලධාරීන් සේවය කරමින් සිටින බව ද මේ වන විට අනාවරණය වී ඇත. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැති තනතුරු සඳහා නිලධාරීන් තවදුරටත් සේවයේ යොදවාගෙන ඔවුන්ට වරප්‍රසාද හා දීමනා ලබ දීමට සම්බන්ධ නිලධාරීන් ඊට වගකිව යුතු බැවින් ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසා ඉදිරි පියවර ගන්නා ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. තවද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට සම්බන්ධ නිලධාරින්ගෙන් ද හේතු විමසා කටයුතු කරන ලෙස ද විගණකාධිපති දෙපපාර්තමේන්තුව අමාත්‍යාංශයට තවදුරටත් නිර්දේශ කර තිබේ. නිලන්ත මදුරාවල
 

More News..