brand logo

හසුනින් රැජිනක් දිනූ ඌරුමත්තේ ජිනේ

04 August 2019

මේ පිටකොටුවේ සුප්‍රසිද්ධ බෝගහ අසල පත්තර තට්ටුවෙන් පත්තරයක් මිලදී ගන්නා විට අසන්නට ලැබුණු කියුම් කීපයකි. මේ කියන පුද්ගලයා සොයා පසුගිය සතියේ උදේ හය වීමටත් පෙර අප ගියේ පිටකොටුව බෝධීන් වහන්සේ වටා ඇති බුදුමැදුර වෙතය. අප යන විටත් ඔහු එහි වූ දැවැන්ත බුදු පිළිමයට වතාවත් කරමින් සිටියේය. බුදු පිළිමය දකුණුපසින් වූයේ සීවලී මහරහතුන්ගේ පිළිම වහන්සේනමකි. සීවලී රූපයක් ගහපු තැනක, කෑමක් බීමක් වරදින්නෙ නෑ යැයි කියමන ප්‍රායෝගිකව සනාථ කරමින් සීවලී පිළිමයට ටිකක් වැඩිපුර දානමානාදී කටයුතු ලැබෙනු අපට දැකගත හැකි විය. බොහෝ පන්සල්වල සීවලී පින්තූර ඇතත් දැවැන්ත සීවලී පිළිම දැක ගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. තම වතාවත්වලින් පසු හිරු නොබසින අධිරාජ්‍යයේ රාජ මහේසිකාව සමග ලිපි ගනුදෙනු කරන මේ පුද්ගලයා අප සමග කතාබහට එක්වූයේ දැඩි ළෙන්ගතුකමකිනි. ‘‘මගේ නම ජිනදාස ලියනගේ.’’ ‘‘ඒත් ගමේ නම් මට කිව්වේ ‘අහිංසක’ කියලා. මම උපන්නේ දකුණේ, අකුරැස්සේ, ඌරුමත්තේ. ඉස්කෝලෙ ගියේ ඌරුමත්ත මහා විද්‍යාලෙට. මට නංගිලා තුනයි, මල්ලිලා තුනයි.’’ ජිනදාස මහතා දිගු කතාවක් මෙරට ජනප්‍රිය දේශපාලන චරිත මෙන්ම මහ රැජින ගැනද කියන්නට පටන් ගත් විට අප ඔහුව අපගේ මාතෘකාව වෙත විටින් විට හරවා ගැනීමට සිදුවූයේ නිරායාසයෙනි. අකුරැස්ස, ඌරුමත්තේ සිට කුඩා ජිනදාස කොළඹ ගැන, කොළඹ විසිතුරු ගැන එහි ආගිය අය කියූ විස්තර අසා වශීකෘතව සිටියේය. 1962 නොහොත් මීට වසර 57කට පෙර කුඩා ජිනදාස අකුරැස්සේ සිට වෙසක් බලන්නට පයින් එන්නට වූයේ මහ රෑය. මග දෙපස වෙසක් විසිතුරු බලමින් මාතර ඒම කුඩා ජිනදාසට මහත් ප්‍රීතිමත් ගමනක් විය. ඒ ගමනේදී බත් දන්සල් තුන හතරක්, බෙලි මල්, තේ දන්සල් දහ පහළොවක්, ලෑතර දන්සල් හත අටක් වැනි ‘ඉතා කුඩා’ ආහාර වේලකින් කුස සනසා ගන්නට කුඩා ජිනදාසට සිදුවිය. ගමේ ඇතැමුන් ජිනදාසව හැඳින්වූයේ ‘ජිනේ’ ලෙසය. අකුරැස්සේ ඌරුමත්තෙන් ඇරඹි වෙසක් බැලීමේ චාරිකාව දින කිහිපයකින් නතර වූයේ ටවුන්හෝල් හන්දියේ නොහොත් ලිප්ටන් වටරවුමේය. ‘‘කොළඹට ආවය කියල තේරුණා. අතේ සතයක්වත් තිබුණෙ නැහැ. ඒ කාලේ පැට්‍රෝල් ගැලුමම රු. 2.12යි. අකුරැස්සේ ඉඳල ඌරුමත්තට බස් එකේ සත 20යි. මට කොළඹය කියලා කිසිම යාළුවෙක් හිටියේ නෑ.’’ කොළඹට සංක්‍රමණය වූ කුඩා ජිනේට ආදායම් මාර්ගයක් නොවීය. ඔහු පළමු දින පුරහලේ ඇති යතුරක් අතින් ගත් චාල්ස් සොයිසාගේ පිළිරුව යට නිදාගත්තේත් තවත් පිරිසක් එහි නිදාගෙන සිටිනු දුටු නිසාය. පසුදින උදේ රැයින් අවදි වූ ‘ජිනේ’ මහ ඉස්පිරිතාලේ ඇති ටැප් එකෙන් වතුර බී මුහුණ සෝදාගෙන අරමුණක් නැතුව ගියේ ඕපීඩී එක නොහොත් බාහිර රෝගී අංශයටය. ‘‘ඒ කාලේ බේත් ගන්න නම් කාඩ් එකේ සත විසිපහක මුද්දරයක් අලවන්න ඕන. මුද්දරේ සත විසිපහ වුණාට එතැනට ආපු අය රස්තියාදු වෙන්න බැරි නිසා කිව්ව ගාණට ගන්නවා. මට මහත්තයෙක් මුද්දර වගයක් අරන් දුන්නා විකුණන්න කියලා. මුලින්ම ඒකෙන් සෑහෙන ආදායමක් ලැබුණා. කොළඹ ජීවිතේ කරපු මුල්ම රස්සාව තමයි ඒක.’ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිවස පිහිටියේ ටවුන්හෝල් යාබද වෝඩ් පෙදෙසේය. ඒ ජේ.ආර්.ගේ නිවස අසලින් නිතර ආ ගිය නිසා එතැන ආරක්ෂක නිලධාරීන් ‘ජිනේ කොලුවා’ සමග යාළු විය. ජේ.ආර්.ගේ ආරක්ෂක අංශ නිලධාරීන් තම ඥාතියකුට ඕපීඩීයෙන් අංකයක් අවශ්‍ය වූ විට පෝලිමේ නොසිට මුද්දරයක් ගැනීමට උපකාර පැතුවේ කුඩා ජිනේගෙනි. ජිනේ මේ වන විට ටිකෙන් ටික ගැටවරයකු බවට පත්වෙමින් සිටි අතර ටිකෙන් ටික ජේ.ආර්. ජයවර්ධන මහතා හා එලිනා මැතිනිය සමග මිතුරුකමක් ගොඩනගා ගන්නට ඔහුට හැකි විය. අන්තිමට තම දවල් කෑමට ජේ. ආර්.ගේ ගෙදර කුස්සියට එන්නට තරම් ජිනේගේ මිතුරුකම ජේ.ආර්.ගේ නිවස සමග වැඩි විය. 1977 යූඇන්පී අවසන් රැලිය පැවැත්වුණේ මරදාන ටවර් රඟහල ඉදිරිපිටය. ඒ රැලියට ජේ.ආර්. එක්වූයේ තම නිවසේ සිට පා ගමනෙනි. ඒ ගමනට ජිනේද එක්ව සිටින බව එදා පළවූ ‘දිනමිණ’ පුවත්පතේ ඡායාරූප බැලීමෙන් තහවුරු කරගත හැකිය. මේ අතර රොස්මිඩ් පෙදෙසේ සිටි තම මිතුරකු හමුවන ලෙස ජේ.ආර්. දිනක් ජිනේට දැන්වීය. එම මිතුරා සර් ආතර් සී. ක්ලාක්ය. ආතර් සී. ක්ලාක් ජිනේට පැවරුවේ තම ළමාවිය ගැන කුඩා පොත් පිංචක් අලෙවි කිරීමටය. ‘‘දැන් නම් නායකයෝ, ජනාධිපති, අගමැති බලන්න බඩවැලත් එළියට අරන් චෙක් කරනවා. ඒ කාලේ ඒ මුකුත් සිකියුරිටි නැහැනේ’’ යි ජිනේ අපට කිව්වේ එදා මෙදා වෙනස පහදමිනි. පිටකොටුව බෝධිය අසල ඇති කල්‍යාණිමහල් ගොඩනැගිල්ල හිටපු ජනපති ජේ.ආර්.ගේ බිරිඳ එලිනට අයිති යන බවට ඇත්තේ කට කතාවකි. අප මේ ගැන ජිනේගෙන් අසා සිටියෙමු. ‘‘මේවා ඉතින් එලිනා මැඩම් (ජේ.ආර්. බිරිඳ)ලාගේ තාත්තගේ දේපොළ. කල්‍යාණිමහල් කියල කියන්නේ ඇයි කියල නම් මම මැඩම්ගෙන් කවදාවත් අහලත් නෑ, මට කියලත් නැහැ.’’ ජිනේ නොහොතේ ජිනදාසගෙන් අපට දැනගන්නට ඕන වුණේ මෙතෙක් වේලා ඇද බාන ලද එක ඉලව්වක් නොවේ. අප බොහෝ අමාරුවෙන් ඔහුව අපේ මාතෘකාවට ‘දක්කාගෙන’ ආවා යැයි කීවොත් වඩා නිවැරදිය. ‘මහ රැජිනට ලියුම් ලියන්නට පුරුදු වුණේ කොහොමද?’’ යැයි ඔහුට බුරුලක් නොදී එක එල්ලේම අවසානයේ අසා සිටියෙමි. ‘‘ජේ.ආර්. සර්ලගේ වෝඩ් ප්ලේස් ගෙදර නම ‘බ්‍රේමියර්.’ ඒ ගෙදර මහ රැජින ගැන ඕන තරම් පළවෙච්ච පත්තර, සඟරා තිබුණා. මහ රැජින එලිනා මැඩම්ට, ජේ.ආර්. සර්ටත් ලියුම් එවනවා. දවසක් මටත් හිතුණා මහ රැජිනට ලියුමක් අරින්න. මං සිංහලෙන් ලියලා ජේ.ආර්. සර් ගාව වැඩ කරපු ලේකම් කෙනකුට කියලා පරිවර්තනය කරල තමයි ලියුම යැව්වේ.’’ ජිනේ අපට කිව්වේ මහ රැජින යටතේ තවමත් අපේ සිලෝන් එක තිබ්බා නම් මේ හිඟමනට රට පත් නොවන බවය. එම ලිපියේ ජිනේ මහ රැජිනට අමතා තිබුණේ හිරු නොබසින අධිරාජ්‍යයේ අග්‍ර මහේසිකාව ලෙසය. එහි 1948 දී ලංකාවට නිදහස ලබාදීම ගැනද ඇයට ස්තුති කොට තිබුණි. නමුත් මාස දෙකක් තුනක් ගියත් ජිනේගේ ලිපියට මහ රැජිනගෙන් පිළිතුරු ලැබුණේ නැත. නමුත් තෙමසකට ඔන්න මෙන්න තිබියදී ජිනේට මහ රැජිනගෙන් ලිපියක් ලැබුණි. මහ රැජිනගේ ලිපියත් රැගෙන ජිනේ කෙළින්ම ගියේ ජේ.ආර්.ගේ ගෙදරටය. කාරණාව අසා හාන්සි පුටුවේ සිටි ජේ.ආර්. කොක් හඬලා සිනාසෙන්නට විය. ‘‘එතකොට යුෂ්මතා මං වගේම බොහොම දුර කල්පනා කොරනවා නේද?’’ යි ජේ.ආර්. ඇසුවේ මහ රැජින එවූ ලිපිය කියැවීමෙන් අනතුරුවය. එදා මෙදා තුර මහ රැජින, ජිනදාසට එවන ලද ලියුම් ගණනාවකි. චාල්ස්-ඩයනා විවාහය, චාල්ස්-කැමිලා විවාහය මෙන්ම තම මුනුබුරන්ගේ මී මිනිබුරන්ගේ ඡායාරූපද බකිංහැම් මාලිගයෙන් එවන්නේ පිටකොටුවේ ජිනදාස ලියනගේ නමටමය. 2015දී මහ රැජින කිරුළු පලඳා වසර 83ක් පිරුණු විට ජිනදාස පිටකොටුවේ ඇයට සුබ පතා දැවැන්ත බැනරයක් දැමුවේය. මේගන් කුමරියට පුත්රුවනක් ලැබීම ගැන ජිනදාස තම ප්‍රීතිය පළකොට අවසන් වරට මහ රැජිනට ලිපියක් ලියා යැවූ අතර එයට පිළිතුරු ලිපියක් ලැබුණේ ඡායාරූපයක්ද සමගය. මේ වසරේ මාර්තුවේ ජිනදාස මහ රැජිනට යැවූ ලිපියකට පිළිතුරු ලැබුණු අතර, එහි බකිංහැම් මාලිගාවට එන ලෙස ආරාධනයක්ද ඇත. දැන් අපේ මේ ජිනදාස ලියනගේ විදේශ ගමන් බලපත්‍රය හදාගෙන බලාගෙන ඉන්නේ මහ රැජින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහා තමන්ට ගුවන් ටිකට්පත ලබාදෙන තුරුය. ඔහුගේ ගමනට සුබ පතමින් අප ජිනදාසට සමු දුන්නෙමු. වජිර ලියනගේ
 

More News..