brand logo

අවසන් වරට එල්ලුම්ගස් ගිය හොඳ පපුවාගේ ගමට ගියෙමි!

30 June 2019

පපුවේ ‘‘හොඳ පපුවා’’ යනුවෙන් පච්චයක් කොටාගෙන සිටි නිසා ‘‘හොඳ පපුවා’ යැයි ප්‍රකට වුවද, ඔහුගේ නම ඒ. ජේ. එම්. චන්ද්‍රදාසය. එහෙත් ඔහු විසූ තිස්සමහාරාමයේ බොකුටුපැලැස්ස ගමේ අය ඔහු හැඳින්වූයේ ‘‘බේබි සිංඤෝ’’ නමිනි. ඇතැම්හු ඔහුට දියෝනිස් යැයිද කීහ. ‘‘හොඳ පපුවා’’ රටට ප්‍රසිද්ධ වූයේ 1969 වසරේ දිනක මුළු බොකුටුපැලැස්ස ගමම භීතියට පත් කරමින් පතරොම් තුවක්කුවකින් ගිනි බිඳ මිනීමැරුම් ගණනාවක් සිදු කිරීම නිසාය. මේ සම්බන්ධයෙන් නඩු වැටුණු ‘‘හොඳ පපුවා’’ට ශ්‍රී ලංකා අධිකරණයෙන් මරණ දඬුවම හිමි විණි. ඒ අනුව 1976 වසරේ ජුනි මස 23 වැනිදා ඔහු එල්ලා මරනු ලැබිණි. ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ 1812 වසරේ පෙබරවාරි මස 10 වැනි දින ඉංගිරියේ කලුඅප්පු නමැත්තකු එල්ලා මැරීමේ සිද්ධියත් සමගිනි. එයින් පසුවද මරණීය දණ්ඩනය දිගින් දිගටම ක්‍රියාත්මක වූ අතර 1976 ජුනි 23 වැනිදා හොඳ පපුවා එල්ලා මැරීමෙන් පසුව, මරණ දඬුවම තීන්දු කළ නමුත් එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබීය. දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන යළිත් කතාබහක් හටගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම් නියමවූ සිව් දෙනකුට එය ක්‍රියාත්මක කරන්නැයි නිර්දේශ කර තිබීම ඊට හේතුවය. පසුගියදාක සතිඅග අරුණ නියෝජිතයෙක්, ශ්‍රී ලංකා අධිකරණයෙන් අන්තිම වරට බන්ධනාගාරයකදී එල්ලා මරන ලද ‘‘හොඳ පපුවා’’ විසූ තිස්සමහාරාම, බොකුටුපැලැස්ස ගමට ගියේය. ඒ, හොඳ පපුවාගේ මරණ දඬුවමට හේතු වූ සිදුවීම් පිළිබඳ තොරතුරු සොයා බලනු පිණිසය. හොඳ පපුවාගේ අතීත විත්ති දන්නා කිහිප දෙනකු අදත් බොකුටුපැලැස්ස ගමේ වාසය කරති. ඔවුන් පවසන අන්දමට, හොඳ පපුවා කළ මිනීමැරුම් වැලට හේතුව වී තිබුණේ ‘‘ගල් කූරක්’’ පිළිබඳ සිද්ධියකි! එය හටගෙන තිබුණේ හොඳ පපුවාගේ සතුරකු වූ කොටි විල්සන්ගේ දරුවාත්, හොඳ පපුවාගේ දරුවාත් අතරය. එයින් කිපුණු සිද්ධිය දුරදිග යාමෙන් කිපුණු හොඳ පපුවා පතරොම් තුවක්කුවක් රැගෙන විත් මුළු ගමම භීතියට පත් කරමින් යකා නැටුවේය. ගැමියන් ගේ මතකයට අනුව 1969 වසරේ මාර්තු මාසයේ දිනයක බොකුටුපැලැස්ස ගම විශාලා මහනුවරක් කරමින් හොඳ පපුවා යකා නැටුවේය. වේලාව සවස පහට පමණ වෙන්නට ඇත. රූස්ස වීර ගසක අටවා තිබූ පැල් කොටයට නැග ගත් හොඳ පපුවා පැලේ සඟවා තිබූ බෝර 12 හේ තුවක්කුව අතට ගත්තේ අද දෙකෙන් එකක් බේර ගන්නා බව තමන්ගේ බිරිඳට ද ඇසෙන සේ පවසමින්ය. හොඳ පපුවාගේ දරු පැටවු දෙදෙනාගේ පුංචි සිතටද තාත්තා කුමක් හෝ නපුරක් කරන්නට සූදානම් වෙන බව දැනිනි. ‘‘කෝ මෙහාට දියන් මගේ පතරොම් පෙට්ටිය’’ හොඳ පපුවා තම බිරිඳ ළඟට කඩා පැන්නේය. ‘‘වඳින්නම් දෙයියෝ මොනවද ඔහේ ඔය කරන්න හදන්නේ. ඕක නවත්වන්න’’ යැයි කියමින් හොඳ පපුවාගේ බිරිඳද තුවක්කු බටේ එල්ලුණාය. ‘‘පැත්තකට වෙයන් උඹත් මගෙන් මැරුම් කන්නේ නැතිව. මං අද විල්සන්ගෙ ගෑනි ඉවරයක් කරල තමයි පස්ස බලන්නේ.’’ පැලෙන් පැන්න හොඳ පපුවා කොටි විල්සන්ගේ බිරිඳ සොයා ගියේය. කොටි විල්සන්ගේ පැල් කොටේ කඩුල්ල පැන්න හොඳ පපුවා මොර දුන්නේය. ‘‘බේබි සිංඤ්ඤෝ ආවා. වරෙව් එළියට. මං ආවා තොපි ඔක්කොම අද බාවනවා.’’ හොඳ පපුවා නැවතත් මොර දුන්නේය. කොටි විල්සන්ගේ බිරිඳද ඒසේ පස්සට යන්නේ නැති පිරිමියකු බඳු කාන්තාවක් වූවාය. ‘‘රූස්ස කැලේ වල්අලිත් එක්ක හැප්පුනු මම තොට බයේ දුවයි කියල හිතුවද බේබි සිංඤ්ඤයෝ.’’ කොටි විල්සන් ගේ බිරින්දෑද එළියට පැන්නේය. හොඳ පුපුවාගේ ගිනිබටය පත්තු විය. කොටි විල්සන් ගේ බිරිඳ මිදුල මැද ඇද වැටුණේය. ‘‘තෝ ඕකට තමයි මාත් එක්ක මාස ගණනක් හැප්පුණේ. හොඳ පපුවා කෑ ගැසුවද කොටි විල්සන්ගේ බිරිඳට එය ඇසුණේ නැත. තුවක්කු කට උඩට මෑනූ හොඳ පුපුවා වෙඩි දෙක තුනක් අහසට තැබීය. කොටි විල්සන් ගේ බිරිඳගේ ළඟම හිතවතිය හිටියේ පල්ලත්තර කඩේය. තමන් සමග නිරන්තරයෙන් පැටලුණු පල්ලත්තර කඩේට පැන්න හොඳ පපුවා, තමන්ගේ විරුද්ධකාරිය සෙවුවේ ය. නමුත් කඩේ සිටි අය හොඳ පපුවා යකා නටන බව දැන ගැනීමෙන් අනතුරුව කැලයට පැන්නහ. පල්ලත්තර කඩේට ගිනි තැබූ හොඳ පපුවා වෙඩි උණ්ඩ කිහිපයක් අහසට මුදා හළේය. අාරොන් සිඤ්ඤෝද හොඳ පපුවාට හරහට හිටි අයෙකි. අාරොන් සිඤ්ඤෝගේ කඩේට ද ගිනිතැබූ හොඳ පුපුවා අාරොන් සිඤ්ඤෝගේ කඩේ ඉදිරිපිට පිහිටි මැටි කඩේටද පැන්නේය. මැටි කඩේ අයද තම පණ නළ රැක ගැනීම සඳහා වනගත වී තිබිණි. හොඳ පුපුවා මැටි කඩේටද ගිනි තැබීය. මේ වන විට හොඳ පපුවාගේ භීෂණය නිසා මුළු ගමම සන්ත්‍රාසයට පත්ව තිබිණි. හොඳ පපුවාගේ තනි සටනට ඔහුගේ බෑනා කෙනෙකු වූ ප්‍රේමදාස ද එක් වීය. දෙදෙනා දුවගෙන ගියේ බබා සිඤ්ඤෝ කම්මුතු කරන්නටය. ‘‘බබා සිඤ්ඤෝ මට මේ ගමේ ඉන්න දුන්නු එකෙක් නෙවෙයි. ඕකත් බාවන්න ඕන.’’ පේමදාසට ඇසෙන සේ හොඳ පපුවා පැවසීය. බබා සිඤ්ඤෝගේ පැල් කොටයට ගිය හොඳ පපුවා මොර දුන්නේය. ‘‘බබා සිඤ්ඤෝ මම ආවා. බැහැපන් එළියට.’’ යැයි හොඳ පපුවා කෑ ගැසුවේය. බබා සිඤ්ඤෝලා ද වන ගත වී තිබිණි. ‘‘හරි උඹ හැංගිලා නේ එහෙනම්’’ කියූ ඔහු බබා සිඤ්ඤෝගේ ගොන් නාම්බාට ද ගිනි බින්දේය. බොකුටුපැලැස්ස ගිනිතියමින් යන හොඳ පපුවාට හා පේමදාසට මහ මගදී මුණගැසුණේ ධර්මදාසය. ‘‘වරෙන් යන්න අපිත් එක්ක.’’ හොඳ පපුවා ධර්මදාස ගේ අතින් අල්ලා ගත්තේය. ‘‘යමන් උඹලයි මහ ගෙදරට. මට තියෙනව උඹේ මහ එකා එක්කත් ගනුදෙනුවක් බේරගන්න.’’ හොඳ පපුවා කීය. ‘‘අනේ බේබි සිඤ්ඤෝ අයියේ අපේ අප්පොච්චිට මොනවත් කරන්න එපා.’’ ධර්මදාස බැගෑපත් වූයේය. ‘‘හරි මොනවත් කරන්නේ නෑ. ගනින් උඹේ අතේ තියෙන ලාම්පු තෙල් බෝතලේ . ඕක හලාපන් උඹේ මහ එකාගේ ගෙට’’ ඒ හොඳ පපුවාගේ ඊළඟ අණය. ‘‘අනේ බේබි සිඤ්ඤෝ අයියේ මේ අපරාදෙ කරන්න එපා.’’ ධර්මදාස බැගෑපත් විය. හොඳ පපුවා මොර දුන්නේය. තමන් ජීවත් වූ පැල් කොටයට ගිනි තියන්නට ධර්මදාසට සිදු වීය. ‘‘උඹේ මහ එකා සවුන්දියස් මට මේ ගමේ ඉන්න දුන්නෙ නෑ. ඒ නිසයි ඕක කළේ. උඹ ඒක දැන ගනින්. උඹට මගෙන් කරදරයක් නෑ ධර්මදාස’’ හොඳ පපුවා පැවසීය. බොකුටුපැලැස්සේ ලයිසන් තුවක්කුවක් තිබී ඇත්තේ දියෝනිස් ගම්භාර මහතාටය. ඔහුද දක්ෂ වෙඩික්කරුවෙකි. පිම්මේ දුවන වල්ඌරන්ට ගිනි පිඹින්නට ගම්බාර මහතා සූරයෙකි. බේබි සිඤ්ඤෝගෙන් ගම බේරා ගන්නට ඉදිරියට ආවේ දියෝනිස් ගම්බාර මහතාය. හොඳ පපුවා පැය ගණනක් තිස්සේ මිනිසුන් මරමින් ගෙවල් ගිනිතියමින් සිටියේය. හොඳ පපුවාට ගිනි පිඹ ගම බේරා ගන්නට දියෝනිස් ගම්බාර තැන මග රැක සිටියේ ඔහුගේ ආවතේවකාරයෙකු සමගය. හොඳ පපුවා ඉදිරියට පැමිණෙන අයුරු දුටු දියෝනිස් ගම්බාර තැන, හොඳ පපුවාට වෙඩි තබන ලෙසට තම ගෝලයාට පැවසීය. දියෝනිස් ගම්බාර තැනටත් හොරෙන් ගෝලයා ආපසු දිව ගොස් සැඟවී තිබිණි. තුවක්කු බටේද නැතිව මහ රෑ සැඟවී සිටි දියෝනිස් ගම්බාර තැනට තම ගිනිබටය එල්ල කළ හොඳ පපුවා ගිනි පිම්බේය. දියෝනිස් ගම්බාර තැනද මහ මග ඇද වැටිණි. වැව් කණ්ඩියෙන් පල්ලම් බැස්ස හොඳ පපුවා හා බෑනා තමන් ගේ තවත් වෛරක්කාරයෙකු වූ මාතර ගෙදර උදේනිස් අප්පු සොයා ගෙන ගියහ. හොඳ පපුවාට වැඩක් දෙන්නට කැත්තක්ද අතැතිව නිවස ආසන්නයේ සැඟව සිටි උදේනිස් හා ඔහු ගේ බෑනා දුටු හොඳ පපුවා ඔවුනටද ගිනි පිම්බේය. උදේනිස් මැරී වැටුණි. බෑනා සිය පණ නල බේරා ගෙන දුවන්නට විය. හොඳ පපුවා උදේනිස්ගේ ගෙටද ගිනි තැබීය. මේ අතර උදේනිස් ගම්බාර තැන සමග සිටි ගෝලයා හොඳ පපුවා යැයි සිතාගෙන තබන ලද වෙඩි පහරකින් උදේනිස් ගම්බාර තැනගේ බෑනා කෙනෙකුද මිය ගොස් තිබේ. බොකුටුපැලැස්ස භීෂණයට පත් කළ හොඳ පපුවා හා ඔහු ගේ බෑනා රාත්‍රියේ බූන්දල මහ වනයට පැන ගත්හ. ‘‘බේබි සිඤ්ඤෝ මා​ෙම් අපි දැන් මොනවද කරන්නෙ ?’’ පේමදාස ප්‍රශ්න කළේය. ‘‘මට තව හත් අට දෙනෙක් බාව ගන්න තියෙනවා. මරපු උන් බලන්න දැන් පොලිසියෙ ලොක්ක එයි නේ. උන්දැත් ඉවර කරල තමයි මම පස්ස බලන්නේ.’’ හොඳ පපුවා පැවසීය. බේබි සිඤ්ඤෝගේ මැර ප්‍රහාර හා වග තුග දන්නා කිහිප දෙනෙකු තවමත් බොකටුපැලැස්ස ගමේ වාසය කරති . ඉන් එක් අයෙකු වන්නේ 84 වැනි වියේ පසුවන මාටින් මාමාය. ඔහු පැවසුවේ හොඳ පපුවාගේ ළමයෙකු හා කොටි විල්සන් ගේ ළමයෙකු ඉස්කෝලෙදි ගල් කූරකට වූ අාරෝවක් දුර දිග යාමෙන් මෙම මහා විපත වූ බවයි. ‘‘ළමයින් ගේ ප්‍රශ්නෙදි ලොකු අය හැප්පෙන්න ගත්තා. කොටි විල්සන්ගේ පවුලත් කියන දෙයක් අහන්නේ නැති මුරණ්ඩු ගැහැනියක්. පල්ලත්තර කඩේ ගෑනු මනුස්සයත් ඒකට හවුල් වුණා. ඒ ගෑනු මනුස්සයටත් හොඳ පපුවා මීට කලින් වෙඩි තිවුවා. නමුත් ජීවිතේ බේරුණා. ගමේ කිහිප දෙනෙකු හොඳ පපුවාට විරුද්ධව තිස්සමහාරම පොලිසියේ පැමිණිලි දැම්මා. පොලිසියෙන්ද හොඳ පපුවාට කරදර වුණා. මම හිතන්නේ මිනිහාගේ ඉවසීමේ සීමාව පැන්නා. ඒකයි මේ විපත වුණේ.’’ මාටින් මාමා පැවසීය. මේ විනාශයෙන් පසුව මම තිස්සමහාරාම මහජන නියෝජිතයෙකු වුණු ආර්ලිස් සිල්වා මහත්තයාගෙ උපකාර ඇතිව හොඳ පපුවා හා අනෙක් දෙන්නා තංගල්ල පොලිස් අධිකාරී කාර්යාලයට භාර දුන්නා. දැන් හොඳ පපුවාගේ ඥාතීන් කිසිවකු මේ ගමේ නැත. හොඳ පපුවා විවාහ තුනක් කර ගත්තෙකි. පළමු හා දෙවන විවාහ දෙකෙන්ම දරුවන් නොසිටියත් තෙවන විවාහයෙන් දියණියක හා පුත්‍රයකු සිට ඇත. ඔහු එල්ලා මැරීමට පෙර අවසන් ඉල්ලීම වී ඇත්තේ තම දරු දෙදෙනාට යහපත් අනාගතයක් සඳහා කිසිවකුට භාර දෙන ලෙසය. බේබි සිංඤෝ පවසන්නේ හොඳ පපුවාගේ ඥාතීන් කිසිවකු ගමේ නැත්තේ මේ නිසා බවය. හොඳ පපුවගේ කෙරුම් ගැන දැන්නා අනෙක් පුද්ගලයා වූයේ බොකටුපැලැස්සේ සිරිපාල මහතාය ඔහුද මේ වන විට වයෝවෘද්ධව සිය ජීවිතය ගෙන යමින් සිටී. ඔහු පැවසුවේද ගමේ එක් කොටසකින් සිදු වූ කරදර ඉවසා ගැනීමට නොහැකිව මේ විපත සිදු කරන්නට හොඳ පපුවා පියවර ගත් බවයි. ‘‘මට මතකයි හොඳ පපුවාට පෝනියෙකු හිටියා. ඒ පෝනියාගේ පිටේ නැගලා ඔය වරාපිටිය වැව් කණ්ඩියේ යනවා.’’ ‘‘දැන් මරණීය දණ්ඩනය දෙන්න යනවා ආණ්ඩුවෙන් . සිරිපාල මාමා මොකද ඒ ගැන හිතන්නේ’ අපි ඇසුවෙමු. ‘‘වැරදිකරුවන්ට මරණීය දණ්ඩනය දුන්නට කමක් නෑ. නමුත් දැන් නඩුවලට අහු වෙන්නේ බොහෝ වෙලාවට වැරදිකාරයෝ නෙවෙයිනේ. මට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. ඒ නිසා ඕකෙන් වෙන්නේ අහිංසක මිනිස්සුන්ටත් මැරුම් කන්න වෙන එකයි.’’ සිරිපාල මාමා කීවේය. අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට [caption id="attachment_34925" align="alignnone" width="800"] හොඳ පපුවා තම පැල් කොටය අටවා ගෙන සිටි ප්‍රදේශය අද වල් බීහි වීඇති අයුරු[/caption] [caption id="attachment_34926" align="alignnone" width="800"] හොඳ පපුවා පොනියාගේ පිටේ ගිය වැව් කණ්ඩිය අද[/caption]
 

More News..