brand logo

225 ගෙදර යවා අලුත් ජනපති පත්කර ගන්න පුළුවන්ද?

11 April 2022

මේ දිනවල රටේ ලොකුම සටන් පාඨය වී ඇත්තේ 'Gota Go Home' ය. සමාජ මාධ්‍යවලින් මතු කළ මේ ටැගය මහපාරේ සටන්වලටද එකතු විය. ගෝඨාභය පමණක් නොව මින් පෙර හිටපු ජනපතිවරු කීප දෙනකුට ගෙදර යන්න කියා විරෝධතා ආවේය. එම විරෝධය වැඩියෙන්ම ආවේ ජේ.ආර්. ජයවර්ධනටය. ජේ.ආර්. මරමු යනුවෙන් සටන් පාඨයද ලියැවුණේය. නමුත් ජේ.ආර්. අස් වූයේ නැත. ඔහු මියගියේ දිවියේ පරමායුෂ විඳ ස්වාභාවික මරණයකිනි. කෙසේ නමුදු රටේ එල්ල වූ විරෝධතා නිසා මීට හැට නව වසරකට ඉහතදී අගමැතිවරයෙක් නම් ගෙදර ගියේය. ඔහු ඩඩ්ලි සේනානායකය. මහත්මා දේශපාලනඥයකු හා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ප්‍රකට ඔහු 53 හර්තාලයේදී ඇති වූ සිද්ධීන්වලින් කලකිරී ඉල්ලා අස් වී ගෙදර ගියේය. ඉක්බිතිව අගමැති පුටුවේ වාඩි වූයේ සභානායක ජෝන් කොතලාවලය. අගමැතිවරයකු ඉල්ලා අස් වූ වත් ජනපතිවරයෙක් මින් පෙර ලංකාවේ ඉල්ලා අස්වී නැත. කෙසේ වුවද ජනතාව ජනාධිපතිවරයාට ගෙදර යන්නැයි කියූ සැණින් ඔහු ගෙදර යැවිය හැකිද? යම් හෙයකින් ඔහු ඉල්ලා අස්වුවහොත් ජනාධිපතිවරණයක් පවත්වා වෙනත් කෙනකු ජනාධිපති ධුරයට පත්කර ගත හැකිද? අපට පෙනෙන හැටියට විරෝධතාකරුවන් මේ ගැටලු කෙරෙහි අවධානය යොමු කර නැත. අනෙක් අතට බොහෝ විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි කියති. ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ ගැටලුව තවත් උග්‍ර වන්නේ විරෝධතාකරුවන්ගේ මෙම කොන්දේසිය නිසාය. ‘‘ජනාධිපතිවරයා අසනීප තත්ත්වයක් හෝ විදෙස් ගතවීමේ හේතුවක් මත ධුරයෙන් තාවකාලිකව ඉවත් වුණොත් වැඩ බලන ජනාධිපතිවරයා හැටියට අගමැතිවරයාට කටයුතු කරන්න පුළුවන්. හැබැයි දැන් ඉන්න අගමැතිවරයා ජනාධිපතිධුරය දෙවරක් දරා තිබෙන කෙනෙක්. එතැනදී ඔහුට ජනපති ධුරයේ වැඩ බැලීම පිළිබඳ ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. මොකද ව්‍යවස්ථාවේ කියනවා දෙවරක් ජනපති වූ අයකුට තෙවැනි වරටත් එම ධුරය දරන්න බෑ කියලා. එතැනදී කතානායකවරයාට වැඩබලන ජනාධිපතිවරයා හැටියට කටයුතු කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබෙනවා.’’ යැයි අධිකරණ අමාත්‍යාශයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කරන ආකාරයට ජනාධිපතිවරයාට පහසුවෙන් ධුරයෙන් ඉවත් වීමට හෝ ඔහු ධුරයෙන් ඉවත් කිරීමට ජේ.ආර්. ජයවර්ධන හැදූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉතා දුෂ්කර කරුණකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි පරිඡේදයේ 38 වැනි ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය හිස්වන ආකාරය දක්වා තිබෙන්නේ මෙසේය. ‘ජනාධිපතිවරයා මියගිය හොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස්වුවහොත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටීම නතර වුවහොත්, ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබූ තැනැත්තා ස්වකීය ධුර කාලය ආරම්භ වූ දින සිට මාසයක් ඇතුළත ධුරයේ කාර්ය භාරගැනීම හිතාමතාම පැහැරහැරියහොත්, ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම නිෂ්ප්‍රභබව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 130 වැනි ව්‍යවස්ථාවේ (අ) ඡේදය යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමෙහිලා තීරණය කරනු ලැබුවහොත්, වෙනත් යම්කිසි තැනැත්තකු ජනාධිපතිවරයා වශ‌ෙයන් යථා පරිදි තෝරාපත්කර ගන්නා ලදැයි තීරණය නොකළහොත් ජනාධිපති ධුරය හිස්වෙයි.’ මෙකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා ස්වේච්ඡාවෙන් ඉවත්විය යුත්තේ කතානායකට ලිඛිතව දැන්වීමෙන් අනතුරුවය. එසේ නොමැතිව ජනතාව උද්ඝෝෂණය කළැයි කියමින් ඔහුට ජනාධිපති ධුරයට ආයුබෝවන් කියා ගෙදර ගිය නොහැකිය. ව්‍යවස්ථාවේ ඉහත දැක් වූ කරුණු සඳහන් වන්නේ ජනාධිපතිවරයා විසින් ධුරය හිස් කිරීම යනුවෙනි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ගෙදර යැවීමේ මෙහෙයුමක් ආරම්භ කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීමෙන් පසු පළමුවෙන් දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ ආර්. ප්‍රේමදාසට එරෙහිවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන අයකුට ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනා කිහිපයකි. ජනාධිපතිවරයාට මානසික හෝ ශාරීරික දුබලතා හේතුවෙන් ඔහුගේ ධුරයේ කාර්ය ඉටු කිරීමට නියත වශයෙන් නොහැකි බවට චෝදනා කිරීම, චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරද, රාජ්‍ය ද්‍රෝහී වීමේ වරද, අල්ලස් සම්බන්ධ වරද, ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද හෝ යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක්. යනු එසේ මතු කළ හැකි ප්‍රබල චෝදනාය. මෙම චෝදනා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලවා පරීක්ෂා කර බලන්නැයි මන්ත්‍රිවරයකුට කතානායකවරයාට ලිපියක් මගින් දැන්විය හැකිය. කතානායකවරයාට පිළිගත හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට නොඅඩු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් එම ලිඛිත යෝජනාවට අත්සන් තබා තිබෙන්නේ නම් පමණි. එසේම දෙකෙන් එකකට නොඅඩු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් පමණක් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවට අත්සන් තබා තිබේනම් කතානායකවරයාගේ අභිමතය පරිදි එය භාරගත හැකිය. ඒ ගැන කතානායකවරයා සෑහීමකට පත් නොවන්නේ නම් එය භාර නොගෙන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටද ඇතුළත් නොකර සිටීමට කතානායකවරයාට බලතල තිබේ. එපමණක් ද නොව කතානායකවරයා ජනාධිපතිවරයාට එරෙහිව චෝදනාවක් හෝ චෝදනා කිහිපයක් ඉදිරිපත් කරන යෝජනාව භාරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ පරීක්ෂා කර ජනාධිපතිවරයාට එරෙහි චෝදනාව සාධාරණයැයි ප්‍රකාශ කළ පමණින්ද ජනාධිපතිවරයා ගෙදර යැවිය නොහැකිය. එහි අවසාන බලතල තිබෙන්නේ ද පාර්ලිමේන්තුවටය. ශ්‍රේෂ්ඨාධිකරණය චෝදනාව නිවැරදියැයි ඉදිරිපත් කළ ද එය පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රිවරුන්ද ඇතුළුව මුළුමහත් මන්ත්‍රිවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු පිරිසකගේ ඡන්දවිමසීමකින් සම්මත විය යුතුය. එසේ සම්මත වුවහොත් පමණක් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් තවම එසේ ධුරයෙන් ඉවත් කළ ජනාධිපතිවරයකු නැත. ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව හදා තිබෙන්නේ හැම වගන්තියකින්ම ජනාධිපති ධුරය ආරක්ෂාවන පරිදිය. කෙසේ වුවද එසේ ධුර කාලය හිස් වූ පසු මසක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින් එක් තැනැත්තකු රහස් ඡන්දයකින් ජනාධිපති ධුරය සඳහා පත්කරගත හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින් පත්කර ගත් එකම ජනපති වන්නේ ඩී.බී. විජේතුංගය. ආර්. ප්‍රේමදාස ජනපතිවරයා 1993.05.01 ඝාතනය වූ දින සවස අගමැති ඩී.බී. විජේතුංග වැඩබලන ජනපති ලෙස දිව්රුම් දුන්නේය. ඉක්බිතිව ඔහු ජනපති ධුරයට පත්වූයේ පාර්ලිමේන්තුවේ ඒක් ඡන්දයෙනි. ඒ වෙලාවේ විපක්ෂ නායිකා වූ සිරිමාවෝ බණ්ඩාරනායක හෝ වෙන අයෙක් ඩී.බී. සමග ඡන්දයට ඉදිරිපත් වූයේ නැත. යම් හෙයකින් විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට කන්දී ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවහොත් නව ජනාධිපතිවරයකු පත්කර ගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225න්මය. එහෙත් උද්ඝෝෂණකරුවන් කියන්නේ 225ත් එපා කියලාය. මේ අනුව පෙනෙන්නේ විරෝධතාකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යවා පාර්ලිමේන්තුවේ සිටින 225ද ප්‍රතික්ෂේප කර මෙම අවස්ථාවේ නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය ඉබ්බාගෙන් පිහාටු ගැනීමට උත්සාහ කිරීම වැනි වැඩකි. ජනාධිපතිවරණයක් වෙනුවට සමහරු මහමැතිවරණයක් ඉල්ලති. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වීමට රජයට සල්ලිත් නැත. ඡන්ද පත්‍රිකා ගන්නටත් සල්ලි නැත. ඡන්දය ගනින්නට ලයිටුත් නැත. එසේ කීවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකය. ප්‍රශ්නය වන්නේ ඔහුට තේරෙන දේ මන්ත්‍රීන් බොහෝ දෙනකුට නොතේරීමය. එබැවින් 225 ගෙදර යවා ව්‍යවස්ථානුකූලව මේ ප්‍රශ්නයට විසඳුමක් නම් ලැබෙන්නේ නැති බව සහතිකය. වරුණ අබේසේකර
 

More News..