brand logo

21 වැනිදා සිට සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම්

18 January 2021

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට (21) සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සදහා ගත හැකි සහ ගත යුතු සියලු පියවර ගෙන ඇති බවයි. පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ කෙරුණු නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්‍රේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර, ඉන් මෙරටට ලැබුනු ආදායම රුපියල් මිලියන 420ක් බව අමාත්‍යවරයා සදහන් කරයි. එම නියාමන ව්‍යාපෘතියේදී හදුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සදහා සියලු පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සදහා හෝටල් 180ක් පමණ හදුනාගෙන තිබේ. මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වේ. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් අදාළ සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබේ. 21 වැනිදායින් පසු මෙටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මකවීඹට නියමිතයි. පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර, මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙක් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණි. මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කෙරේ. එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල් වලම රැදී සිටිය යුතුය. දින 5 - 7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර්. පරීක්ෂානවකට ලක්කෙරෙන අතර, හදුනාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන් ලැබෙන්නේ ඉන් අනතුරුවයි. සංචාරකයන් පැමිණෙන හෝටල් වල කාර්ය මණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ට සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.
 

More News..