brand logo

2020 තෙක් මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවෙන් අලුත් සැලැස්මක් - පැෆරල් හෙළිකරයි

29 December 2018

සියලුම මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට ආණ්ඩුව කර ඇති යෝජනාව සද්භාවයෙන් කළ එකක්ද එසේත් නොමැතිනම් මැතිවරණය කල් දැමීමට කළ උපක්‍රමයක්ද යන්න වහා හෙළි කළ යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. එසේ වුවහොත් 2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව ඒ මහතා සඳහන් කළේය. ඌව පළාත් සභාවේ නිල කාලය 2020 ඔක්තෝබර් මාසයේත්, පාර්ලිමේන්තුව නිල කාලය 2020 අගොස්තු 20වැනිදාත්, ජනාධිපතිවරයාගේ නිල කාලය 2020 ජනවාරි 8 වැනිදාත් අවසන් වීමට නියමිතය. කෙසේ වෙතත් මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 450කටද ජනාධිපතිවරණ සඳහා රුපියල් කෝටි 350කටද පළාත් සභා මැතිවරණය සඳහා රුපියල් කෝටි 450කටද ආසන්න මුදලක් වැය වන බැවින් එකම දිනයේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කරන්නේ නම් එය යහපත් ක්‍රියාවක් බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. එහෙත් 2020 වන තෙක් මැතිවරණ කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නිසා ආණ්ඩුව හා ජනාධිපතිවරයා එක් මතයකට පැමිණ මේ වසර ඇතුළත එම ආයතන තුනේම මැතිවරණ පැවැත්විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. ‘‘මේ යෝජනාව සද්භාවයෙන් ගේනවා කියල පෙන්නන්න ඕනනම් ආණ්ඩුව කරන්න ඕන 2/3ක යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. මොකද පාර්ලිමේන්තුවට තව වසර එක හමාරක කාලයක් තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට ද තව වසරක කාලයක් බලයේ ඉන්න පුළුවන්. එහෙත් ඔහුටත් ජනවාරි 8 වැනිදායින් පසුව මැතිවරණයක් කැඳවීමේ බලය තියෙනවා. ඒ දෙගොල්ලෝ එක මතයකට ඇවිල්ලා දැනට කාලය අවසන්ව අවුරුදු එකහමාරක් පමණ ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වන පළාත් සභා හයක මැතිවරණ එකට තියන්න පුළුවන්. එහෙම නැතුව මැතිවරණ කල් දැමීමට මෙම යෝජනා ගෙනෙනවානම් ඊට එරෙහිව අපි කටයුතු කරනවා.’’ යැයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..