විශේෂාංග

2020 කැලැන්ඩ‌රේ සුන් – අලුත් පරම්පරාව ෆේස්බුක් – ඉන්ටනෙට් ගිහින්

දින දර්ශන ගැන අපූරු තීන්දුවක් ගැන කියැවෙන පුවතක් පසුගියදා වාර්තා විය. ඒ අමාත්‍යවරුන්ගේ ලේකම් සංසදයේ ලේකම් අජිත් ජයසුන්දරගෙනි. ලේකම්වරයාගේ ඉල්ලීම වුණේ නව රජයේ කැබිනට් රාජ්‍ය ඇමැතිවරු 76 දෙනාට රජයේ වියදමින් අලුත් අවුරුදු සුබ පැතුමින් දින දර්ශන මුද්‍රණයට ඉඩ නොදෙන ලෙසය. ලේකම්වරයාගේ මේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ මෙතෙක් රජයේ සිටි ඇමැතිවරුන් ආණ්ඩුවේ වියදමෙන් හා මූණත් තහඩුව දමා කැලැන්ඩර් හා නිව්ඉයර් කාඩ් මුද්‍රණය කළ බව නොවේද?

අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ගේ ඇස්තමේන්තුවට ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 76කගේ කැලැන්ඩර් වියදම ඇතුළත්ය. ඔවුන් කියන්නේ එක අමැතිවරයකු ලක්ෂ දහයක් මේ කටයුත්තට වියදම් කළහොත් අවම කැලැන්ඩර් මුද්‍රණය වියදම පමණකන් ලක්ෂ හත්සිය හැටක් වන බවය. තේරෙන භාෂාවෙන් කිවහොත් හත්කෝටි හැට ලක්ෂයකි. මේ කෝටි ගණන විනාශ කිරීමට සූදානම්ව සිටියේ මාස 4කට නොහොත් අප්‍රේල් මාසය වනතුරුය. අමාත්‍යවරුන්ගේ ලේකම් සංසදය තවදුරටත් පෙන්වා දුන්නේ මේ වියදමේ නියම වටිනාකම ලක්ෂ 1520ද ඉක්මවා ගිය හැකි බවය.

2020 වසර උදාවන්නේ අනූ නම සියක් වසකට පසු උදාවන අවුරුද්දකි. එවැනි ගැළපීමක් ඇති අවුරුද්දකි. එවැනි ගැළපීමක් ඇති අවුරුද්දක් ඇතිවන්නේ නව වසර 100කට පසු 2121 වසරේදීය. 1919 දී නම් ඉපදුන අය නම් අප අතර තවමත් සිටී.

ලංකාවේ කැලැන්ඩරය වෘත්තීයමය ස්වරූපයෙන් කළ එළි බැස්සේ 1977 විවෘත ආර්ථිකයක් සමග මෙරට මුද්‍රණ තාක්ෂණයද දියුණුවක් සමග බව එතෙක් කලක් මෙරට මුද්‍රණ ව්‍යාපාරයේ වඩාත් ව්‍යාප්තව පැවැතියේ උයනල මුද්‍රණය නොහොත් ‘‘ලෙටර්ප්‍රෙස්’’ ක්‍රමයයි. විවෘත ආර්ථිකයත් සමග මෙරට මුද්‍රණ ලොවම වර්ණවත් කරමින් වෛර්ණ ඔෆ්සෙට් ක්‍රමයට කැලැන්ඩර් මුද්‍රණය ඇරඹිණි.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ ලලිත් ඇතුලත් මුදලි මහපොළ කැලැන්ඩරයේ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමාගේ උදාගම් කැලැන්ඩරයත්, ගාමිණී දිසානායකගේ මහවැලි කැලැන්ඩරයත් යන ආණ්ඩුවේ කැලැන්ඩර් අතර තවත් තරගකරුවකු වූයේ රොනිද මැල්ගේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකුවල කැලැන්ඩරත්ය. වරක් මහපොළ කැලැන්ඩරයේ පෙනී සිටියේ පාඩම් කරමින් සිටි නිල් පැහැති ටයිපටියක් පැලඳ සිටි සුන්දර පාසල් සිසුවියකගේ ඡායාරූපයකි. මේ ඡායාරූපය කෙතරම් මෙරට ජනතාව වැලඳ ගත්තදැයි කිවහොත් එම සිසුවියගේ ඡායාරූපය කපා මෙරට සෑම පෞද්ගලික බස් රථයකම පසුපස වීදුරුවේ අලවන තරමට එය ජනප්‍රිය විය.

අන්තිමට එම කැලැන්ඩරය මුද්‍රණය සතොස ප්‍රින්ටරස් ආයතනය බස් රථ සඳහා අලෙවියට වෙනමම එම කැලැන්ඩරයේ පිටුව මුද්‍රණය කරන ලදී.

රජයේ වියදමෙන් කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස ඉල්ලීම ඉදිරිපත් වූයේ දෙසැම්බර් 9 වැනිදාය. එහෙත් ප්‍රායෝගික සත්‍ය නම් බහුතරයක් රාජ්‍ය ආයතන තම කැලැන්ඩර් මුද්‍රණය හමාර කොට තිබීමයි. ලංකාවේ කැලැන්ඩර් කර්මාන්තය ආරම්භ වන්නේ ඉදිරි වර්ෂය සඳහා නිවාඩු ගැසට් නිවේදන නිකුත් වීමත් සමගමය. ගැසට් නිවේදය නිකුත් වන්නටත් පෙර ඇතැම් මුද්‍රණාල තම මුද්‍රණ යන්ත්‍ර, සර්විස් කිරීම ආරම්භ කරන්නේ ‘‘කැලැන්ඩර් සටනට’’ එළඹීම සඳහාය. එහිදී ඇතැම් මුද්‍රණාල හිමියන්ගේ තමන්ගේ මුද්‍රණ යන්ත්‍රය මුළුමනින් ගලවා ගෙවීගිය කොටස් ලියන පට්ටලයක් ලවා ලියවා, රබර් රෝල් අලුතින් පුරවා දමා මුද්‍රණයන්ත්‍ර හොඳ හැටි ඔයිල් ග්‍රීස් දමා ‘‘බබා වගේ දුවන්නට’’ මුද්‍රණ යන්ත්‍රය පෙර සූදානම් කරගන්නේ සුළු හෝ කාර්මික දෝෂයකින් තමන් භාරගත් කැලැන්ඩර් ඇණවුමට හානියක් වන නිසාය.

මුද්‍රණ යන්ත්‍රවල කොටස ලියන්නට දෙන්නේ ඒ ගැනම විශේෂඥ දැනුමක් ඇති ලේත් මැෂින් හිමියන්ටය. මෙවර කැලැන්ඩර් සූදානම ගැන අප විමසා සිටියේ ග්‍රැන්පාස්හි පිහිටි කලම්බෝ ලේන් හිමිකරු හෙට්ටිආරච්චි මහතාගෙනි.

‘‘මෛත්‍රි පාලන සමය තුළ සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම කඩා වැටීම තුළ මුද්‍රණ කර්මාන්තය බේරුණේ නැහැ. වෙනදාට සැප්තැම්බර් අගට මැෂින් ගලවන්නේ සාහිත්‍ය මාසේ පොත් ඔක්තෝබර් ඉවර වුණාම තමයි වැඩේ පටන් ගන්නේ. පසුගිය වසර කිහිපය තුළ බොහෝමයක් මුද්‍රණාල පවත්වාගෙන යන්න බැරුව වහල දැම්මා. දැන් ප්‍රින්ටර්ස් මැෂිමක ගෙවිච්ච කොටස් සීසන් එකට ලියවල දානවා තියා ප්‍රෙස් තියෙන කට්ටිය පඩි ගෙවන්නෙත් අමාරුවෙන්. අපි වාගේ ප්‍රින්ටර් මැෂින් කෑලි ලියවන ලේත් මැෂින්වලට මේ අර්බුදය කෙලින්ම දැනිල තියෙනවා.

මෙරට කලකට ඉහත විජය, ගාමිණි, මාලනී, සබීතා වැනි නළු නිළියන්ගේ රූප සහිත කැලැන්ඩර් පේමන්ටුවේ උණු කැවුම් මෙන් විකුණුවේ නව වසරක් ආරම්භයේදීය. එහෙත් අද නළු නිළියන්ගේ පින්තූර කැලැන්ඩර් විකුණන්නට ඇත්තේම නැති තරම්ය. ඒවා බොහෝ විට මිටි පිටින් ‘‘අපායට’’ යවා තිබෙන නිසා විය යුතුය. එමෙන්ම එදා කැලැන්ඩර් ගැසීමට නම් දරා සිටි මල්පියලි, දුමින්ද එරන්ද, ට්‍රාන්ස් ප්‍රින්ට්, මිහැන්ඩන් ඇපලේ, කවිතාන් ආදී ව්‍යාපාර අතරින් මෙවර අපට සොයාගත හැකි වූයේ අන්තිමට කියූ වෙළෙඳාම නාම තුන පමණි.

කොළඹ කැලැන්ඩර් රජ දහන බවට අද පත්ව ඇත්තේ පීපල්ස් පාක් භූමියයි. එහෙත් මේ ව්‍යාපාරයේ මුල් කාලීන ජය භූමිය වූයේ මැලිබන් වීදියයි. මේ කොයි හැටි වෙතත් මේ කැලැන්ඩර් මුද්‍රණය කරන මුද්‍රණාල බොහෝමයක් ඇත්තේ ආදුරුප්පුවීදිය, සංඝමිත්තා මාවත, වේල්ලවීදිය, පියර් සයිවු වීදිය, කොටහේන හා මරදාන ආශ්‍රිතවය.

මේ කැලැන්ඩර් හිමියන් දැවැන්තම අර්බුදයට පත් වූයේ දින 52 ගිය වසරේ ආණ්ඩුවේදීය. නව ඇමැති ධුරන්දර ඇමැතිතුමාගේ රූපය දමා කැලැන්ඩරය නිමකරන්නටත් පෙර ආණ්ඩුව පෙරළී යාමට තරම් ඇතැම් මුද්‍රණාල හිමියන් අවාසනාවන්ත විය.

මෙවර කැලැන්ඩර් අලෙවිකරුවන් බොහෝ දෙනකු පවසන්නේ ගියවර තරම්වත් මෙවර කැලැන්ඩරේ අලෙවියේ වර්ධනයක් හෝ ප්‍රබෝධයක් නැති බවය. ඔවුන් කී කරුණු අනුව මෙම කැලැන්ඩර් කර්මාන්තයේ කඩා වැටීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයකි. පාස්කු ප්‍රහාරයෙන් පසු බොහෝ ව්‍යාපාරිකයන් කැලැන්ඩර් මුද්‍රණයට පෙර මෙන් යොමු නොවීම, අනතර්ජාලය හා ජංගම දුරකථන හරහා ජනතාව කැලැන්ඩරයේ විස්තර ලබා ගැනීම සහ කැලැන්ඩර් මාධ්‍ය ගරා වැටෙන මාධ්‍යයක් බවට නව පරපුර අතරින් දුරස් වීම මේ ප්‍රධාන කරුණු 3යි.

පසුගිය සතියේ කැලැන්ඩර් වෙළෙඳපොළ වරණයෙන් ආට් පේපර් කඩදාසියේ මුද්‍රිත අඟල් 23×17 කැලැන්ඩරයක් අලෙවි වූයේ රු. 18කටය. අඟල් 23×17 ප්‍රමාණයේ මාසෙකට එක් පිටුවක් බැගින් ඇති ලොකු ඉලක්කං ඇති කැලැන්ඩරයක මිල රු. 90කි. මාගලක් මෙන් දිග අඩි 2×3 ප්‍රමාණයේ පිටු 12 තඩි ඉලක්කම් කැලැන්ඩරයක් රු. 220කි. මෙවර මුස්ලිම් කැලැන්ඩර් මුද්‍රණය කොට ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකි. අඟල් 17×11 ප්‍රමාණයේ ද්වි වර්ණයෙන් මුද්‍රිත පිටු 12ක කැලැන්ඩරයක මිල රු. 60කි. සිවිලී බුද්ධ රූපය කාඩ්බෝඩයේ මුද්‍රණය කොට ඊට යටින් දිනයකට කොළය බැගින් ඉරන කැලැන්ඩරයක මිල රු. 300කි. මේ වෙළෙඳපොළට මෙවර ඉන්දියන් හා චීන කැලැන්ඩර් පැමිණ ඇත.

ඩයරි අලෙවි වන්නේ ඉතා සුළු වශයෙනි. එක් අලෙවිකරුවකු පසුගිය යුගය හැඳින්වූයේ වැඩිම චෙක් රිටන් වූ යුගය ලෙසය. කෙසේ නමුත් අවසානයේ අප මතකයට නගාගන්නේ කාලයට අනුව යාවත්කාලීන නොවුනහොත් කැලන්ඩරය මෙරට පොදුජන සමාජයෙන් තුරන් වනු ඇති බවය. කැලැන්ඩර් ගැන සින්දු පවා ඇති බව මතකයට ආවේ අවසානයේය.

දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අතු එනවා දින දසුනේ
මොහොතින් මොහොත මා ගැන සටහන් වියැකී යනවා ඔබ මනසේ

වජිර ලියනගේ