brand logo

2020සේ සටනට ආවට බයිඩ්න්ට අපේක්ෂකත්වය ලැබුනේ 1980දී

07 November 2020

ඇමරිකානු ජනාධිපතිධුරයට පත්වීමට නියමිතව සිටින ජෝ බයිඩ්න් (78) පෙනිසියුලා ප්‍රාන්තයේදී උපත ලැබුවේ 1942 වසරේදීය. පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලක වැඩිමල් දරුවා වූ ජෝ බයිඩ්න්ගේ කුඩා කාලයේ ජීවිතය එතරම් සුන්දර එකක් වූයේ නැත. මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩ්න් කුඩා කාලය ගත කළේ ඔහුගේ මවගේ දෙමාපියන් සමගයි. පාසල් කාලයේදී ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහු ඇමරිකානු පාපන්දු හා බේස්‌ බෝල්වලින් දක්ෂතා දැක්වූවේය. 1965 දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඔහු නීතිඥයෙක් ලෙස සිය ජීවිතය ආරම්භ කළේය. විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව වසරකින් නිලීයා හර්ටර් සමග විවාහ වූ ඔහුට බියෝ සහ බර්ට් නම් පුතුන් දෙදෙනෙක් හා නයෝමි නමින් දියණියක් සිටියහ. 1972 වසරේදී පළමු වරට ඇමරිකානු සෙනට් සභාවට ඔහු තේරි පත්වූයේ ඇමරිකානු ඉතිහාසයේ පත්වූ පස්වැනි ලාබාලතම සෙනෙට් සභිකයා ලෙසය. සෙනට් සභාවට තේරී පත්වීමේ සතුට කඳුලක් බවට පත්වූයේ ඔහුගේ බිරිඳ නීලියා බයිඩන් සහ දරුවන් හදිසි අනතුරකට මුහුණපෑම නිසාය. බිහිසුණු රිය අනතුරකින් බිරිඳ සහ මසක් වයසැති දියණිය මරු වැලඳගත්‌තේ විනාඩි කිහිපයක් තුළ බයිඩ්න්ගේ ජීවිතය උඩු යටිකුරු කරමිනි. සිය පුතුන් දෙදෙනා සමග තනි පියෙක් ලෙස ජීවිතය ආරම්භ කළ ඔහුගේ ජීවිතය එතරම් සතුටුදායක එකක්වූයේ නැත. දරුවන් වෙනුවෙන් ජීවිතය ගත කළ ඔහු දිනපතා රැකියාවට ගියේ පැය හතරක දුම්රිය ගමනක යෙදෙමිනි. දරුවන්‌ගේ රාජකාරී තමන්ගේ අතින්ම කළ ඔහු දරුවන් වෙනුවෙන්ම කැපවූ පියෙකි. 1977 දී නැවත ජිල් ට්‍රේසි සමග විවාහ වන ඔහුට එම විවාහයෙන් තවත් දියණියක් ලැබීය. අධ්‍යාපනඥවරියක් වූ ඇය ජෝ බයිඩ්න්ගේ ජීවිත කතාව ළමා කතා පොතක් බවට පත් කළේ කාටත් ආදර්ශයක් ලබාගත හැකි ආකාරයටය. 2009 වසර දක්වාම සෙනට් සභාව නියෝජනය කළ බයිඩ්න් ඔබාමා ජනාධිපතිවරයාගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී නැවත සිය ජීවිතයට අවාසනාව කැඳවාගෙන ආවේ ඔහුගේ වැඩිමල් පුතා මොළයේ පිළිකාවක් නිසා මෙලොව හැරයාම නිසාය. ඒ 2015 වසරේදීය. බයිඩ්න් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබන්නේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ කාලයේදීමය. ඒ 80 දශකයේදීය. සෑම අවස්ථාවකදීම සිය දේශපාලන අනාගතය තවත් අයෙක් වෙනුවෙන් කැප කිරීමට දෙවරක් සිතුවේ නැත. බරක් ඔබාමා වෙනුවට තරග කිරීමේ අවස්ථාව ඔහුට තිබුණත් ඔහු එම අවස්ථාව ඔබාමාට ලබාදුන්නේය. එතැනින් නොනැවතී ඔබාමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ ඔහුට ඔබාමා ප්‍රති උපකාර දැක්වූයේ උප ජනාධිපති ධුරය ලබාදෙමිනි. තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ බයිඩ්න්ට උප ජනාධිපතිධුරය ලබාදෙන බව ඇමරිකානු ජනතාව ඉදිරියේදී පැවසූ විට බයිඩ්න් පිටුපසට වී කඳුළු සැලුවේ සිය සංවේදීත්වය පෙන්වමිනි. සංවේදී දේශපාලන නායකයෙක්වන බයිඩ්න් දේශපාලනයේදී වැඩිම අවධානයක් යොමු කර ඇත්තේ විදේශ සම්බන්ධතා ක්ෂේත්‍රය කෙරෙහිය. 2001 වසරේදී ඇමරිකානු සෙනට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපතිත්වයට පත්වූ ඔහු 2003 වසර දක්වා එම තනතුර දැරුවේය. 2007 වසරේදී නැවත වරක් විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපතිත්වයට පත්වන ඔහු 2009 වසරේදී උප ජනාධිපතිධුරයට පත් වනතෙක් එම තනතුර දැරුවේය.   සංජය නල්ලපෙරුම
 

More News..