brand logo

2019 හොඳම ටෙස්ට් ඉනිම සහ විස්සයි විස්ස පන්දු යැවීමේ සම්මාන ලංකාවට

11 February 2020

ගෙවුනු 2019 වසරේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිමට සහ විශිෂ්ටතම විස්සයි විස්ස පන්දු යැවීමට හිමි සම්මාන දිනා ගැනීමට කුසල් පෙරේරා සහ ලසිත් මාලිංග සමත්ව තිබේ. දකුණු අප්‍රිකාව සමගින් ඩර්බන්හිදී පැවැති ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිමේ නොදැවී ලකුණු 153ක් රැස්කරගෙන තිබීම මත පෙරේරාට එම සම්මානය හිමි විය. කුසල් පෙරේරා සමගින් එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් එම සම්මානය සඳහා කරට කර සටනක නියැලුණ අතර අළු බඳුන තරගාවලියේදී ස්ටෝක්ස් නොදැවී රැස්කළ 135ක ලකුණු සංඛ්‍යාව පෙරේරාගේ ඉනිම හමුවේ දෙවැනි විය. 2019 වසරේ වාර්තා වී තිබුණු විස්සයි විස්ස පන්දු යැවීමේ දක්ෂතා හමුවේ ලසිත් මාලිංගට අභියෝගයක් එල්ල කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. ඒ හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේ නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගයේදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවා ගනිමින් ලකුණු 6ක් තුළ කඩුලු පහක් දවාගෙන තිබීම මත මාලිංගට අදාළ සම්මානය හිමි විය. මාලිංග 2007 වසරේදීත් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගයකදී පිට පිට පන්දු හතරකදී කඩුලු හතරක් දවාගෙන තිබුණු අතර විස්සයි විස්ස රටාවේද, අදාළ දක්ෂතාවය දැක්වූ එකම පන්දු යවන්නා බවටද හෙතෙම පත්විය.
 

More News..