brand logo

2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

05 February 2019

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබාගැනීමට බලය දීම සඳහා ද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි. ඒ අනුව 2019 වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450ක්. ඉන් රුපියල් බිලියන 2232ක් මුදලක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අමාත්‍යාංශ සඳහා සිදු කර ඇති මුදල් වෙන් කිරීම්වලින් වැඩිම මුදල වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහ වන අතර එය රුපියල් බිලියන 392ක්. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 291ක්. රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 216ක් සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් වෙන් කර තිබෙනවා. මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 175ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104ක්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 183ක්.
 

More News..