brand logo

2019 දී දුම්රිය ප්‍රමාද වීම් 9718ක්

29 May 2020

දුම්රිය ධාවනයේ දි වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධව මහජනතාවගෙන් නිරන්තරයෙන් තමන්ට දුරකථනය ඔස්සේ මෙන්ම ලිපි මගින් ද පැමිණිලි ලැබෙන නිසා දුම්රිය ප්‍රමාදවීම් හා ඒවාට හේතුවන කරුණු සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රියෙන් දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබිනි. ඒ් අනුව ඒ් සම්බන්ධව වාර්තාවක් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයා වෙත ලබා දි තිබේ. දුම්රිය ප්‍රමාදයවීමට හේතු ගණනාවක් එම වාර්තාව තුළ අන්තර් ගත වේ. ඒ් අනුව නියමිත වෙලාවට දුම්රිය එන්ජින් නොමැතිවීම, මැදිරි නොමැතිවීම, එන්ජින් දෝෂ හා ක්‍රියාවිරහිතවීම, තිරිංග තදවීම, නියාමකවරු. රියැදුරන් මෙන්ම රියැදුරු සහායකයින් නොමැතිවීම, සංඤා දෝෂ, අයහපත් කාලගුණ තත්ත්වය, විශේෂ දුම්රිය ධාවන නිවේදන, මාර්ග නඩත්තු හා විශේෂයෙන් දුම්රිය වැඩ වර්ජන ද වැනි කරුණු රැසක් එම වාර්තාවේ සඳහන් කර ඇත. ඒ් අනුව 2019 වසරේ දී දුම්රිය ප්‍රමාද වීම් 9718ක් වාර්තා වන අතර ඉන් 5710ක් ම දුම්රිය ප්‍රමාදයට හේතුවී තිබෙන්නේ දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජන බව එම වාර්තාවේ සඳහන් වේ. තවද, එන්ජින් නොමැතිවීම නිසා ප්‍රමාදවීම් 1495ක්, මැදිරි නොමැතිවීම නිසා 435ක්, රියදුරන් නොමැතිවීම නිසා 164ක්, දුම්රිය පිලි පැනීම් 108ක්, විශේෂ දුම්රිය ධාවන නිවේදන 250ක් එන්ජින් දෝෂ 103ක්, නියාමකවරු නොමැතිවීම් 28ක්, එන්ජිම් ක්‍රියාවිරහිතවීම් 25ක්, ප්‍රමාණවත් පරිදි මගින් නොමැතිවීම් 91, සංඥා දෝෂ 51ක්, අයහපත් කාලගුණ තත්ත්වය 32ක්, ආරක්ෂක හේතුන් මත 381ක් වශයෙන් කරුණු ඇතුළත් වේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා දුම්රිය සේවය පවත්වාගෙන යාමට නම් සියලු දෙනාගේම කැපවීම අවශ්‍ය බවයි. විවිධ හේතුන් නිසා සිදුවන දුම්රිය ප්‍රමාද වීම් නිසා මහජනතාවගෙන් දොස් ඇසීමට සිදුව තිබෙන්නේ රජයට බව කී අමාත්‍යවරයා පොදු ප්‍රවාහණයේ දී වැදගත්ම කාර්යය පැවරී තිබෙන්නේ දුම්රිය සේවාවට බව සඳහන් කළේය. ලෝකයේ බොහෝ රටවල් සංවර්ධනය විම පසුපස එම රටේ දුම්රිය සේවාව විදිමත් වීම බලපා ඇති බවත්, අප රටේ දුම්රිය සේවාව විදිමත් කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ අවංක කැපවීම අවශ්‍ය බවත් සඳහන් කළේය.
 

More News..