brand logo

2019දී කොළඹ නගර සභාවට සංචාරක හෝටල් විසිඅටක් විනෝද බදු පොලු තියලා

02 February 2020

පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින රාත්‍රියේ කොළඹ නගරයේ සංචාරක හෝටල් තිහක පමණ පැවැති සංගීත ප්‍රසංගවලදී කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු විනෝද බදු මුදල් ලබා දී ඇත්තේ සංචාරක හෝටල් දෙකකින් පමණක් බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. මේ නිසා අපේක්ෂිත බදු මුදල් නොලැබී ගොස් ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග විනෝද බදු ලැබීමේ විවිධ ක්‍රමවේද ඇහිරී යාම නිසා පසුගිය වසරේ අපේක්ෂිත විනෝද බදු මුදල වන රුපියල් මිලියන එකසිය විස්ස සොයා ගැනීම අසීරු වී ඇති බව කොළඹ මහ නගර සභා වාර්තා පෙන්වා දෙයි. කොළඹ නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග, පාසල් ක්‍රිකට් තරගවලින්ද විනෝද බදු අයවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් වාර්ෂිකව රුපියල් මිලියන විස්සක පමණ විනෝද බද්දක් මහ නගර සභාවට ලබා දෙයි. කොළඹ නගරයේ පාසල් ක්‍රිකට් තරගවලින්ද විශාල විනෝද බදු මුදලක් ලැබෙයි. කෙසේ වෙතත් මෙලෙස ලැබෙන විනෝද බද්ද බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන අමාත්‍යවරුන් නිසා නොලැබී යන තත්ත්වයක්ද මහ නගර සභාවට නිරීක්ෂණය වී ඇත. ඇතැම් උත්සව විනෝද බද්දෙන් නිදහස් කිරීමට ඔවුන් කටයුතු කිරීම ඊට හේතුවයි. මේ නිසා වාර්ෂිකව රුපියල් මිලියන තිහක පමණ විනෝද බදු මුදලක් අහිමි වන බව ගණන් බලා ඇත. විවිධ උත්සව සහ ක්‍රීඩා තරග, සංගීත ප්‍රසංග සඳහා කොළඹ මහ නගර සභාව සියයට පහේ සිට පහළොව දක්වා වූ ප්‍රමාණයක විනෝද බදු අය කෙරේ. උදයජීව ඒකනායක
 

More News..