නවතම ප්‍රවෘත්ති

මෛත්‍රි චන්ද්‍රිකා රනිල් දෙමළ ජනයා රැවැට්ටුවා

චමින්ද සේනාරත්න

මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින් 2015දී දෙමළ ජනතාව රැවැට්ටූ බව දෙමළ ජාතික සංවිධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්​.කේ. සිවාජිලිංගම් පැවැසීය.

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩලයේ සැසියට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වන බව ඒ මහතා සඳහන් කළේය. ‘අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට ඉඩ දෙන්නැයි’ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ ‘අරුණ’ට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

‘අපිට 2015 ජනාධිපතිවරණයේදී ඒ සිංහල නායකයින් කිව්වේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඉන්න එකම සිංහල නායකයා මෛත්‍රිපාල බවයි. ජනවාරි 08 පත්වෙලා 2015 ඔක්තෝබර් 01 දින එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේදී කිව්වේ යුද සමයේ සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න වසර දෙක්ක කල් දෙන්න කියලා. නැවත 2017දීත් තව අවුරුදු දෙකක් කල් දෙන්න නකියලා කිව්වා. ඒක 2019 මාර්තුවෙන් ඉවර වෙන්න තියෙද්දී තමයි ජනාධිපතිවරයා මෙහෙම කියන්නේ. සිංහල නායකයින් කළේ දෙමළ ජනතාව රැවැට්ටුව එකයි. අපි ආයේ සිංහල නායකයින්ට රැවටෙන්නේ නැහැ’ යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.