නවතම ප්‍රවෘත්ති

සැකකාර ඉන්දියානුවා රෝ ඔත්තුකරුවෙක්ද?

චමින්ද සේනාරත්න

ජනාධිපති හා හිටපු ජනාධිපති ඇතුළු ඔවුන්ගේ පවුල්වල අයට ජීවිත තර්ජනයක් ඇති බව සඳහන් කළ ඉන්දියානු ජාතික මර්සිල් තෝමස් නමැත්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහු පදිංචි කොළඹ 07 විජේරාම නිවසට ගොස් ඇති බව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

එහෙත් ඔහුට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ඇතුළුවීමට අවස්ථාව හිමිව නැත.
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සැලසුම් කරන බවට හෙළි කළ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාරගේ සිටින නිවසට අවස්ථා දෙකකදී මෙම ඉන්දියන් ජාතිකයා පැමිණ තිබේ. පසුව ඔවුහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සැකකරු 2014 වසරේ සිට මානසික රෝගයකින් පෙළෙන බවට ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත. ඒ අනුව ඔහු පිළිබඳ සැක මතුවී ඇති නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක රඳවා ගැනීමේ නියෝග අධිකරණයෙන් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

සැකකරුට මානසික රෝගයක් ඇති බවට සනාථ කිරීමට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම නිසා ඔහු මානසික වෛද්‍යවරයකු වෙත ලබන සතියේ ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සැකකරු සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර වීසා කාලය ඉක්ම ගිය අයකු වෙනුවෙන් ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය පෙනී සිටීම සැක උපදවන කරුණක් බව වාර්තා වේ. ඔහු ඉන්දීය ඔත්තු සේවයේ හෙවත් ‘රෝ’ සංවිධාන​​යේ සාමාජිකයකු ද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.