brand logo

2016දි සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් කරුණු දක්වන්න පාඨලී අධිකරණය හමුවට

16 December 2019

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතළ රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වූ දිලුම් තුසිත කුමාර නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් පැහැර ගත් බවට එල්ලකරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව එම කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් පිළිබඳව කරුණු විමසීම සිදුකළ අවස්ථාවේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් එම දැනුම්දීම සිදු කරන ලදී. එම මෝසම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී පොලීසියෙන් ද කරුණු විමසීමක් සිදු කළ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළව පොලීසිය විසින් මේ දක්වා කිසිවකු සැකකරුවන් ලෙස නම් කර නොමැති බව විවෘත අධිකරණයේ සඳහන් කර සිටියාය. එම අවස්ථාවේ පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේය. "ස්වාමීනි, 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් මාගේ සේවාදායකයාගේ රියදුරු වරද පිළිගෙන එම නඩු කටයුතු මීට කලකට ඉහතදී අවසන් කර තිබෙනවා. එම නඩු කටයුත්තට අදාළව පොලිසිය විසින් නැවත විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඒ යටතේ මගේ සේවාදායකයා වන හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ විදේශ ගමන් තහනමක් අධිකරණය වෙතින් ලබාගෙන ඇති බව මාගේ සේවාදායකයන් මාධ්‍යවලින් දැන ගෙන තිබෙනවා. ඒ අනුව මාගේ සේවාදායකයාගේ රියදුරු වන තුසිත කුමාර නමැත්තාගේ ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍ 10.30 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය නිළධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා. එම කොට්ඨාසයට අනුයුක්ත පොලිස් පරීක්ෂක මෙත්තානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාගේ සේවාදායකයාගේ රියදුරු වන තුසිත කුමාර නමැත්තා ගේ බිරිඳත්, ඔහුගේ අවුරුදු එක හමාරක වයසැති දියණියත් ඔහුගේ මවත් අංක 64-8736 දරණ කාර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන විත් තිබෙනවා. ස්වාමීනි, මේක පැහැරගැනීමක්. මේ නිසා මගේ සේවාදායකයින් භීතියට පත්ව තිබෙනවා" යනුවෙන් සඳහන් කර සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා මෙම සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක මෙත්තානන්ද නැමැත්තා අධිකරණය හමුවට කැඳවා විමසීමක් සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් පාඨලී චම්පික රණවක මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. "ස්වාමීනි, මෙම නීතිඥවරු සඳහන් කරන අන්දමට කිසිදු ආකාරයක පැහැර ගැනීමක් සිදුවී නැහැ. මෙම විමර්ශනය ආරම්භ කිරීමෙන් පසුව තුසිත කුමාර නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපට අවශ්‍ය වුණා. අප දැන ගත්තා ඔහු ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචිව සිටින බවට. ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගියා. එම අවස්ථාවේදී තුසිත කුමාර නැමැත්තා නිවසේ සිටියේ නැහැ. ඔහුගේ බිරිඳ නිවසේ සිටියා. එහිදී පොලිස් නිලධාරීන් බිරිඳගෙන් ඉල්ලා තිබෙනවා තුසිත කුමාර නැමැත්තාට ඇයගේ දුරකතනයෙන් කතා කරන ලෙස. ඒ අනුව ඇය කතා කළා. එහිදී තුසිත කුමාර නමැත්තා ඇයට ප්‍රකාශ කර තිබෙනවා බත්තරමුල්ල ප්‍රදේශයේ සිටින බවට. එහෙත් ඔහු රැඳී සිටින ස්ථානය ගැන පැහැදිලිව සඳහන් කර නැහැ. එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ ස්ව කැමැත්තෙන්ම විමර්ශන වලට සහය දෙන්න එකඟ වුණා. ඒ අනුව ඇය කැමැත්තෙන්ම තමන්ගේ දරුවා සහ මව රැගෙන අප සමග වාහනයෙන් පැමිණියා.ඇය රැගෙන ආ අවස්ථාවේ කාන්තා පොලිස් නිලධාරිනියන් ද ඇය සමඟ පැමිණියා. අප එම තැනැත්තියන් රැගෙන ආ බව පිළිගන්නවා. ඒ විමර්ශන වලට ඔවුන් සහාය දීමට එකඟ වීම නිසා. එසේ නැතිව පැහැර ගැනීමක් සිදු වුණේ නැහැ. අප ඔවුන් කොළඹට රැගෙන ආවේ නීතිඥවරු සඳහන් කරන අංකය දරණ වාහනයෙන් නෙවෙයි. ඔවුන් දැන් ඔවුන්ගේ නිවසේ සිටිනවා. නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා- කොයි නිවසේ ද? සිටින්නේ. ස්වාමීනි, මේක පැහැර ගැනීමක්. ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා- ඔවුන් මේ වන විට ඔවුන්ගේ ගාල්ලේ නිවසේ සිටිනවා. ස්වාමීනි, අප එම තැනැත්තියන් රැගෙන ආවේ නීතිඥවරු විසින් සඳහන් කළ වාහනයෙන් නෙවෙයි. CAQ 0532 යන අංක දරණ වහනයෙන් තමයි අප ඔවුන් කොළඹට රැගෙන ආවේ. යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කිසිදු පුද්ගලයෙකු මෙතෙක් සැකකරුවන් ලෙස නම් කර නොමැති බවත් කියා සිටියේය. මෙහිදී පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවත් එම නිසා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් විවිධ ස්ථානවලට කැඳවීම අනවශ්‍ය බව සඳහන් කර සිටියේය. එම අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් පොලිසිය විමර්ශන සිදුකරන්නේ දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව සාමාන්‍ය පටිපාටි යටතේ බව දන්වා සිටියේය. මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය ද විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය තම අධිකරණයට තවත් එක් සාමාන්‍ය නඩුවක් පමණක් බවත් දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව විමර්ශන කටයුතු සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය. තම සේවාදායකයන්ට පණවා තිබෙන විදෙස් ගමන් තහනම කිසියම් අවස්ථාවකදී ලිහිල් කරගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවල කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වන්නිනායක මහතා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ එවැනි ඉල්ලීමක් තිබේනම් එය සාමාන්‍ය පටිපාටි යටතේ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 14 වනදා යළි කැඳවීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළාය. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සන්දීප් සම්පත් නැමති තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කර ඒ පිළිබඳව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් ඉකුත්දා මෙම කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබාගෙන තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..