brand logo

2015න් පසු භික්ෂූන්ව මානසිකව ඝාතනය කරලා- අගමැති කියයි

02 June 2020

බුද්ධ ශාසනයට අඳුරු දසාවක් ළඟා කරමින් ත්‍රස්තවාදීන් සිදුකළ කායික ඝාතනයට නොදෙවෙනි ලෙස 2015 වසරෙන් පසුව භික්ෂුන්ව මානසිකව ඝාතනය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. අරන්තලාව භික්ෂු ඝාතනය සිදුව අද (2 වැනිදා)ට වසර තිස්තුනක් සපිරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේද සඳහන් කරයි. මේ මහා භික්ෂු සංහාරය අප හැඳින්විය යුත්තේ රාජධානි යුගවල ලංකාව යටත්කර ගැනීමට ආ පරසතුරන් විසින් සිදුකළ මහා භික්ෂු සංහාරවලින් පසු සිදුවූ දරුණුතම සංහාරය ලෙසයි. මෙම භික්ෂු සංහාරය සිදුවන විට ශ්‍රී ලංකාව මුළුමනින්ම පැවැතියේ ආරාජික තත්ත්වයකය. පුරාණ දිගාමඩුල්ල රාජධානිය හැටියට සැලකෙන අම්පාර ප්‍ර​දේශයේ සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරමින් දරුවන්, කාන්තාවන් අමු අමුවේ මරා දමමින් ඔවුන් එම ප්‍ර​දේශවලින් පලවාහැර තිබිණි. ලාහුගල, උහන, දමන, දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව හා මහඔය ආදි ප්‍රදේශවල ගම්මානවල ජනතාව නිරන්තරයෙන් කපාකොටා මරා දැමිණි. බුදුදහම ආරක්ෂා කිරීමට සහ එය පෝෂණය කිරීමට ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව බැඳී සිටියද මහා සංඝරත්නයටවත් ආගමික ස්ථානවලටවත් එදා කිසිදු ආරක්ෂාවක් හෝ පෝෂණයක් ලැබුණේ නැත. එබඳු තත්ත්වයක් යටතේ හෑගොඩ ඉන්ද්‍රසාර හිමි අම්පාර ප්‍රදේශයට වැඩම කර අම්පාර මහාවාපී පිරිවෙන හා විද්‍යානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් රාශියක් ගොඩනංවා බිඳවැටෙමින් තිබූ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළා. අරන්තලාව ආදී ගම්මානවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හෙළා දකිමින් කටයුතු කළ උන්වහන්සේ නිහඬ කිරීමට එදා කොටි ත්‍රස්තවාදීන් තීරණයක් ගත්තේය. තම ශිෂ්‍යවරයන් වහන්සේලා 41 නමක් රැගෙන වන්දනා ගමනක යෙදී සිටියදී ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ලකොට භික්ෂුන් වහන්සේලා 31 නමක් එතැනම මරා දැමූහ. අවසාන මොහොතේ ද හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඉල්ලා ඇත්තේ තමන් ඝාතනය කරන ලෙසත් තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හානියක් නොකරන ලෙසත්ය. එබඳු ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදුවුවද එකල පැවැති රජය භික්ෂුන් වහන්සේලාගේ ශාසනය සහ විහාරස්ථානවල ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 2005 වසරේ අප විසින් සාමය ගෙන ඒම සඳහා මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන තුරු කිසිවකුට ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැත. 2009 වන විට අප රුදුරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා බෞද්ධ, හින්දු, මුස්ලිම් හා කතෝලික සියලුදෙනාට නිදහසේ ජීවත් විය හැකි අභය භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කළෙමු. මහා සංඝරත්නය අනන්ත නින්දා විඳිමින් පැවැති තත්ත්වය වෙනස්කර ගැනීමේ ප්‍රාර්ථනයෙන් යුතුව නව නායකයෙක් රටට ලබාදී මේ වන විටත් ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බළකායක් පිහිටුවා ඇත. හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාර පිණිස වේවා යැයි ප්‍රාර්ථනා කරමි.
 

More News..