brand logo

2011 ලෝක කුසලානය පාවාදීම ගැන මෙතෙක් නොකියූ කතාව

22 June 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට තමන් හට සාක්ෂි ඇතැයි එවක ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය බට කැලේට ගිනි තැබුවේය. ඒ කථාව ‘පට පට’ ගා රටද නොරටද පැතිරී යමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත්ව විශේෂ විමර්ශනයක් පිණිස කටයුතු සකස් විය. නමුත් මහින්දානන්ද කියූ ඒ කථාවේ පැහැදිලි පදනමක් වේද? නැතිනම් තම පුද්ගලික මතයක් පමණක්ද? එසේත් නැතිනම් හිතළුවක්ම පමණ ද? එය නිශ්චය කරගැනීමට නම් එකී අවසන් මහා තරගය ක්‍රියාත්මක අතරතුර මෙන්ම එයට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන්, තේරීම් කමිටුව මෙන්ම ක්‍රිකට් බලධාරීන් අතර සිදුවූ සිදුවීම, කථා බහ, තරග සැලසුම් ආදී සියල්ල එකිනෙක ගෙන විමසිය යුතුය. මේ දිගහැරෙනුයේ 2011 අප්‍රේල් මස 02 වැනිදා මුම්බායි හී වන්කඬේ ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවැති එකී අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සූදානමක්ම ඉතාම සමීපයේ සිට ඇසින් දුටු, කනෙන් ඇසූ චරිත කිහිපයක මතක ගොනුවකි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද මහතාගේ අදාළ චෝදනාව සමාජයේ කථාබහට ලක්වීමත් සමගින් ‘සති අග අරුණ’ සිදුකළ එම මතක එකතුවේදී අප ඉදිරියේ එම මතක විවර කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශයින් සමීපව සිටි ඔවුන් කී දෑ අතර පරස්පරයන් නොවීය. එබැවින් ඒ සියල්ල එක් කථාවක් ලෙසින් මෙසේ ඔබට පිළිගන්වමු. එහිදී තරග පාවාදීමක් සිදුවීද නැතිනම් එය ක්‍රීඩාවේ ජීවගුණයට කිසිදු හානියක් නොවූ තවත් තරගයක් වූයේද යන්න එය කියවා අවසානයේ තීරණය කිරීම අනාගතයට අයිති කාර්යයක් වනු ඇත. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ශ්‍රී ලංකාව එතෙක් පැමිණි ගමනේදී සමස්තයක් වශයෙන් ගත්විට සියලු සැලසුම් සාර්ථක විය. සමබර කණ්ඩායමක්, තම උපරිම කැපවීම දක්වද්දී හැමවිටම හොඳම කණ්ඩායම තෝරාගැනීම පිණිස අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ක්‍රියා කළේය. මේ තේරීම් කමිටුවට යනු ක්‍රීඩා ඇමැතිතුමන් විසින් පත්කළ කමිටුවකි. මෙම ලෝක කුසලාන වෙනුවෙන් වූ ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය ලබාදෙනුයේද ක්‍රීඩා ඇමැතිතුමන්ගේ අත්සනින් යුතුවය. ලෝක කුසලාන අතරතුර මෙම සංචිතයේ ක්‍රීඩක ආදේශනයක් සිදුවී නම් එය සිදුවූයේද ක්‍රීඩා ඇමැතිතුමන්ගේ අත්සනින්ම යුතුවය. එපමණක් නොව ලෝක කුසලානේ අවසන් මහා තරගය සඳහා නම් කළ අවසන් 11 දෙනා කව්රුන්ද යන්න සම්බන්ධයෙනුත් ක්‍රීඩා ඇමැතිවරයා කල් ඇතිව දැනුවත්ය. ඒ අනුව මෙම ලෝක කුසලානේ ශ්‍රී ලංකා නියෝජනයේ ක්‍රීඩකයන් තෝරාගැනීමේ බලය පැවරෙන උදවිය පමණක් නොව තෝරාගන්නා ක්‍රීඩකයා කව්රුන්ද යන්න සම්බන්ධයෙන්ද ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැනුවත්ව සිටියේය. ඔහුගේ අත්සනක්, අනුමැතියක් තොරව සිදුවූයේ නම් ඒ තරගය ක්‍රියාත්මක අතරතුර සිදුවූ යමක්ම පමණි. තරගාවලියක් ක්‍රියාත්මක අතරතුර තරගයක් සඳහා කණ්ඩායමක් තේරීමේදී තේරීම් කමිටු සාමාජිකයන්, කණ්ඩායම් කළමනාකරු, පුහුණුකරු (සමහරවිටක සහය පුහුණුකරුවකුද මෙයට එක්වේ) නායකයා, උපනායකයා සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ද ඒ සඳහා එක්වී සකච්ඡා කරයි. ලෝක කුසලාන තරගාවලියක තරගයක් වෙනුවෙන් කණ්ඩායම තෝරාගැනීමේදී මේ සියල්ලන්ගේ එකතුවෙන් සිදුවන සකච්ඡාව ඉතාම වැදගත්ය. මෙහිදී පුහුණුකරු කණ්ඩායම් නායක ඇතුළු අයගේ අදහස් ගැනීම සිදුවුවත් කණ්ඩායම පිළිබඳ අවසන් තීරණය ගනුයේ තේරීම් කමිටුවයි. මෙම 2011 ලෝක කුසලාන තරගාවලියේදී ද හැම තරගයක් සඳහාම ක්‍රීඩාකරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තීරණය වූයේ මෙම සියලු පාර්ශ්ව වල එකතුවෙන් පැවැති සකච්ඡාවකින් අනතුරුවය. එම සාකච්ඡාව අවසානයේ එයට සහභාගීවූවන් පොතක අත්සන් කළ යුතුය. අනතුරුව එය තරගය සම්බන්ධ වාර්තාවක් ලෙසින් කළමනාකරු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකරයි. ලෝක කුසලානක් වැනි වැදගත් ඉසව්වකදී මෙකී වාර්තාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට යැවීමේ හැකියාවද ඇත. ඒ අනුව මීළඟ තරගයට සහභාගීවන කණ්ඩායම කව්ද? එම කණ්ඩායම තෝරාගැනීමට හේතු මොනවාද යන්න කල් ඇතිවම දැනගැනීමේ හැකියාව ක්‍රීඩා අමාත්‍යවරයා සතු බව මෙයින් යළිත් තහවුරු වෙයි. ලෝක කුසලාන 2011 තරගාවලියේ අවසන් පූර්ව තරගය දක්වා ශ්‍රී ලංකාව පැමිණි ගමනේදී පරාජය වූයේ මූලික වටය යටතේ පාකිස්තානය සමග පැවැති තරගය පමණි. ඉතා සමබර කණ්ඩායමක් මනා දක්ෂතා දක්වමින් එතෙක් දුර පැමිණි අතර අවසන් මහා තරගය සඳහා විශේෂ සැලසුම් සූදානම් විය. ඒ අනුව අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීම පිණිස කණ්ඩායමේ කළ යුතු වෙනස්කම් ලෙසින් සැලසුම් වී තිබුණේ දිල්හාර ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවීමයි. මුරලි සිටි බැවින් දඟ පන්දුවේ බර ඔහුට පවරා, වේග පන්දු බලඇණියේ ශක්තිය වැඩි කිරීමට තීරණය වූයේ ප්‍රතිවාදී ඉන්දියානු පිතිකරුවන් දඟ පන්දුවෙන් මෙල්ල කිරීම පහසු නොවූ බැවිනි. එසේම ඉන්දියාව සමග අවසන් මහා තරගයක් යෙදී කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහරදීම වෙනුවට ලකුණු හඹායෑම වඩාත් උචිත බව කණ්ඩායමේ හැඟීම විය. මන්ද එවක ඉන්දීය පිල ලකුණු හඹායෑමේ කැමැත්තකින් පසුවූ කණ්ඩායමක් වූ බැවිනි. නමුත් නොසිතූ ලෙසින් මේ බොහෝ තරග සැලසුම් වෙනස් කිරීමට සිදුවිය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වූයේ අවසන් පූර්ව තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීමයි. අවසන් පූර්ව තරගයෙන් පසු දිනක ඇන්ජලෝගේ ශාරිරික යෝග්‍යතාව බලනු පිණිස ඔහුව පිටියට කැඳවූ විට ඔහුට දුවාගැනීමට පවා අපහසු බව පෙනීගියේය. ඒ අනුව ඇන්ජලෝව අවසන් මහා තරගයේදී යොදැගැනීමේ කිසිදු ඉඩක් නොමැති බව පැහැදිළි විය. නමුත් එය කණ්ඩායමට තදින් දැනුණු පාඩුවක් විය. මන්ද ඇන්ජලෝ මැතිව්ස් යනු කණ්ඩායමේ සමබර බව රැඳී තිබූ අක්ශය වූ බැවිනි. පිතිකරුවකු ලෙසින්ද, ආදේශක වේග පන්දු යවන්නකු ලෙසින්ද ඔහුගේ කාර්යය කණ්ඩායමෙ පිතිකරු අංශයේ බර සහ පන්දුයැවීමේ අංශයේ බර සමසමව තබාගැනීමෙහි අතිශයින් වැදගත් වුණි. අවසන් පූර්ව තරගයත් අවසන් මහා තරගයත් අතර ගෙවී ගිය දවස්වලදී කණ්ඩායම් සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව වූයේ ඇන්ජලෝගේ අඩුව පුරවන්නේ කෙසේද යන කරුණය. ඒ අනුව අවසන් මහා තරගයේදී පිතිකරුවන් 7ක් සහ පන්දුයවන්නන් 4ක් යොදාගන්නේ ද, නැතිනම් පිතිකරුවන් 6ක් සමග තිසර පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් සහ පිතිහරඹයේ හැකියාව සහිත පන්දු යවන්නෙක් ලෙසින් නුවන් කුලසේකර ද යොදාගනිමින් වෙනත් සංයුතියකට යන්නේ දැයි ශ්‍රී ලංකා කඳවුර තුළ ගැඹුරින් කථා බහට ලක්විය. ඇන්ජලෝ ආබාධයකට ලක්වුණා පමණක් නොව, දඟ පන්දු යැවීමේ අංශයේ බර කරට ගෙන සිටි මුරලිදරන්ද ඒ වන විට සිටියේ අවසන් මහා තරගයේ දායකත්වය ලබාදීම අවිනිශ්චිත තැනකය. මුරලිද අර්ධ අවසන් පූර්ව තරගයේ සිට ආබාධයකට ලක්ව සිටි නමුත් ආබාධය දරාගෙන අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. නමුත් අවසන් තරගය ක්‍රියාත්මක අතරතුර යම් ලෙසකින් මුරලිගේ ආබාධය දරුණු වී ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් දඟ පන්දු යැවීමේ අංශයට අවශ්‍ය දායකත්වය ලබාදෙන්නේ කව්රුන්ද යන්නත් මෙහිදී අවධානයට යොමුව තිබුණි. ඒ අනුව ආදේශක ක්‍රීඩකයන් ලෙසින් සුරාජ් රන්දීව් සහ චමින්ද වාස් ඉන්දියාවේ මුම්බායි වෙත ගෙන ඒමට කටයුතු යෙදිණි. එය සිදුවූයේද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේමය. මෙම ක්‍රීඩකයන් දෙදෙනාද ශ්‍රී ලංකා සංචිතයට එක්වූ පසු අවසන් මහා තරගය සඳහා ඔවුන් අතුරින් තෝරාගන්නේ කව්රුන්ද යන්න තීරණය කළයුතු විය. එහිදී මුරලිගේ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගෙන දඟ පන්දුවෙන් ‘සූදානම් ශරීරේ’ ලෙසින් මෙන්ම, එයට ප්‍රථම වසර 1 1/2ක කාලය තුළ ඉන්දියාවට එරෙහි පන්දුවෙන් දක්වා ඇති දක්ෂතා සැලකිල්ලට ගනිමින් සුරාජ් රන්දිව් අවසන් 11 දෙනා අතරට කැඳවිය යුතු බවට තීරණය විය. එයද පහසු තීරණයක් නොවීය. ඒ වන විට සංචිතයේ දඟ පන්දු යවන්නන් ලෙසින් රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් ද සිටියහ. මෙහිදී රංගනට සාපේක්ෂව ඉන්දියාව හමුවේ වඩා දක්ෂ ලෙස පන්දු යවන්නා වූයේ අජන්තය. අජන්ත සහ සුරාජ් රන්දිව් අතරින් කළ යුතු තෝරාගැනීමේදී රන්දිව් පිතිකරුවෙකු ලෙසින් දක්වන දක්ෂතාද එකී තීරණයට උත්තේජනයක් විය. යම් ලෙසකින් තරගයේදී ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ පිතිකරුවන් අඩු ලකුණු වලට දැවීගිය හොත් තිසර පෙරේරා, නුවන් කුලසේකර සමග එකතුව පසුපෙළ පිතිහරඹය ශක්තිමත් කිරීමේ හැකියාව රන්දිව්ට ඇති බව ශ්‍රී ලංකා කඳවුරේ විශ්වාසය විය. මෙම ලෝක කුසලාන තරගාවලිය ඇරඹුමේදී සිදුවූ චාමර සිල්වාගේ සහෝදරියගේ වියෝව හේතුවෙන් ඔහු කණ්ඩායමට එක්වූයේ පකිස්තානය සමග තරගයේදීය. එහිදී චාමර අර්ධ ශතකයක් ලැබුවද අනෙක් තරගවලදී ඔහුට පිත්තෙන් සාර්ථකවීමට නොහැකිවීම මත ඔහුට අවසන් තරගයේදී පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිවිය. චාමර කපුගෙදරට එම අවස්ථාව හිමිවිය. ඒ වන විටත් සමස්ත ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර නායක කුමාර සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන සහ උපුල් තරංග පෙරමුණේ රැඳුණි. ශ්‍රී ලංකා පිතිහරඹයේ එකී විශ්වසනීයත්වය මත පිහිටා ප්‍රබල ඉන්දීය පිතිහරඹයට පහරදීම පිණිස පන්දුවෙන් වැඩි බලයක් යෙදිය යුතු බව අවසන් කණ්ඩායම තේරීමේදී බහුතර මතය විය. ඒ අනුව කණ්ඩායමට වැඩිපුර පන්දු යවන්නකු එක්විය යුතු යැයි තීරණය වුණි. පිතිකරුවන් 6ක් සහ පන්දුයවන්නන් 5 ගෙන් යුතුව ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කණ්ඩායම තීන්දු වූයේ එසේය. කාසියේ වාසිය දිනාගතහොත් පළමුවෙන් පන්දුවට පහරදිය යුතු බවද ඒ අනුවම තීරණය විය. කණ්ඩායමක සංයුතියේ පන්දු යවන්නන්ට ලැබෙන අවස්ථාව වැඩිනම් එම කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පෙළඹෙයි. එවිට ඔවුන්ගේ පන්දු යැවීමේ බලය යොදමින් ප්‍රතිවාදීන්ගේ ලකුණු හඹායෑම පාලනය කළ හැකිය. කණ්ඩායමක පිතිකරු අංශයේ සංයුතිය වැඩි නම් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගනිමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ප්‍රතිවාදී ලකුණු හඹායෑම මත වැඩි පීඩනයක් පැටවීම අරමුණ වේ. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේ මෙම සිද්ධාන්තයට අනුවය. නමුත් කණ්ඩායමේ ඇන්ජලෝ හිටියා නම් තත්ත්වය මෙයට වඩා වෙනස් වීමට තිබුණි. ඔහු අංක 7 ස්ථානයේ පන්දුවට පහරදෙන අති දක්ෂ පිතිකරුවෙකි. එසේම පන්දු යවන්නෙකි. ඔහු කණ්ඩායමේ සිටියා නම් ඒ මොහොතේ ඇති තත්ත්වයන්ට අනුව පන්දුවෙන් හෝ පිතිහරඹයෙන් අවශ්‍ය දායකත්වය ලැබෙන බැවින් ශ්‍රී ලංකාවට පෙර කී සිද්ධාන්තයේ පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොවන්නේය. ඇන්ජලෝ මෙම අවසන් 11 දෙනා අතර සිටියානම් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම වෙනුවට ලකුණු හඹායෑමට තීරණය කරනවා නියතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ හැම අවසන් තීරණයක්ම ගනු ලැබුවේ ඇන්ජලෝගේ අඩුව පිරිමැහෙන අයුරිනි. එම තීරණ ගත්තේ කිසිවෙකුගේ තනි කැමැත්තට නොවේ. තේරීම් කමිටු සාමාජිකයන්, පුහුණුකරු ට්‍රෙවෝ බේලිස්, කළමනාකරු අනුර තෙන්නකෝන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් වන නායක සංගක්කාර, මහේල, මුරලි සහ ඩිල්ෂාන් ආදී සියලුදෙනාම එක්වය මෙම තීන්දු තීරණ ගනු ලැබුවේ. අවසන් තරගයට පෙර දිනද සුපුරුදු පරිදි පුහුණුවීම් සිදුවිය. ඇන්ජලෝ අවසන් තරගයට සුදුසු ශාරිරික යෝග්‍යතාවක සිටීදැයි එදිනද පරීක්ෂාවට ලක්විය. එවක ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන් විසින් ඒ අතර කාලයේදී ඇන්ජලෝව ප්‍රතිකාර පිණිස වෛද්‍ය එලියන් වයිට් වෙතද යොමුකර තිබුණි. නමුත් සෑහිමකට පත්විය හැකි තරමට ඔහු සුවයක් ලබා නොතිබුණි. ඒ අනුව ඇන්ජලෝ පිළිබඳ බලාපොරොත්තු ඈතින් ඈතටම ගියේය. අනතුරුව කණ්ඩායම් සාකච්ඡාවක් සිදුවිය. පසුදා තරගය පිළිබඳ විශ්ලේශනය ඉදිරිපත් විය. සැලැස්මද සාකච්ඡා කෙරුණි. සමාන්‍යයෙන් තරගයක පැවැත්වෙද්දී පෙරදිනම අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තීරණය කිරීම හෝ පෙරදින ක්‍රීඩකයන් 12ක් නම්කර තරගය පැවැත්වෙන දිනයේ තත්ත්වය අනුව ඉන් 11ක් තෝරාගැනීම සිදුවේ. නමුත් මෙම තරගයේදී පෙරදිනම අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තීරණය වී තිබුණි. කණ්ඩායමේ සියලුදෙනා එකට සිට රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව නින්දට ගියේය. වෙනදා දින චර්යාවෙන් වෙනස් දෙයක් සිදු නොවීය. කණ්ඩායම් සංයුතිය අනුව කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහරදීමට තීරණය වී තිබුණද, ඉන්දියාව හමුවේ ලකුණු හඹායෑමේ කැමැත්ත අවසන් මොහොත දක්වාම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන්ගේ සිත් තුළ හොල්මන් කළේය. කාසියේ වාසිය උරගා බැලීමට මොහොතකට පෙරත් නායක සංගක්කාර සහ ඩිල්ෂාන් පුහුණුකරු බේලිස් වෙත ආහ. ‘මොකද කියන්නෙ කෝච්. ටොස් එක දිනුවොත් ඒගොල්ලන්ට ගහන්න දෙමුද? අන්තිම මොහොත වුනාට කමක් නැහැ. ප්ලෑන් එක් වෙනස් කරමුද?’ කියා සංගා ඇසුවේය. ‘නැහැ. නැහැ. මතක තියාගන්න මේක ෆයිනල් එකක්. අපි ආත්මවිශ්වාසයෙන් කටයුතු කරන්න ඕනේ. ප්ලෑන් එක වෙනස් කරන්න එපා. ටොස් එක දිනුවොත් ලකුණු පුවරුවේ හොඳ ලකුණු ටිකක් දාගන්න. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට පීඩනය දෙමු’ කියා බේලිස් කීවේය. ඒ අනුව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව සටනට බැස්සේය. මහේලගේ ශතකයත් සමගින් බලාපොරොත්තු අවදිවිය. ලකුණු 275ක ඉලක්කයක් හඹායෑමට පැමිණි ඉන්දියාවේ පළමු කඩුල්ල ලෙසින් ෂෙවාර්ග් කිසිදු ලකුණක් ලබාගැනීමට පෙරතුරව දැවී යද්දී ද, මුළු ලකුණු 31 දී තෙන්ඩුල්කාර් දැවී යද්දීද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු මහා ඉහළකට නැංවුණි. දිගු ඉනිමකට සැරසෙමින් සිටි කෝලිව දවාගැනීම පිණිස ඩිල්ෂාන් ලබාගත් විශිෂ්ට ගණයේ උඩපන්දුව යළි බලාපොරොත්තු රැගෙන ආවේය. නමුත් ගෞතම් ගාම්භීර් සහ නායක එම්.එස් දෝනි ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව දෙසට හැරවූහ. මේ අතරවාරයේ ලකුණු 16ක් ලබා සිටියදී ගාම්භීර් විසින් ලබාදුන් උඩපන්දුව කුලසේකර අතින් ගිලිහීයෑම ඉන්දියාවට වාසනාව පිණිස විය. 2007 එක්දින ලෝක කුසලානේද, 2009 පන්දුවාර 20 ලෝක කුසලානේද තමන්ට අහිමිවූ කුසලාන සොයා පිටියට ගොස් 2011 දීද එම ප්‍රතිඵලයම ලද ක්‍රීඩකයෝ මැළැවුණු මුහුණින් යුතුව පැමිණ නින්දට ගියෝය. කිසිවෙකු රාත්‍රී ආහාරය හෝ නොගත්තේය. ඒ වේදනාව සමස්ත කණ්ඩායම දරුණුවට වෙලාගෙන තිබූ බව නම් පැහැදිලිව දිස්විය. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..