brand logo

2005 ප්‍රතික්‍ෂේප වූ'ලොක්ඩවුන්' නවකතාව වසර 15 කට පසු මුද්‍රණය කෙරේ

09 April 2020

පීටර් මේ (PeterMay) යනු ස්කොට්ලන්ත ජාතික නවකතාකරුවෙකි. ඔහු විසින් 2005 වසරේ, එනම් මෙයට වසර 15 කට පෙර ලියන ලද 'ලොක්ඩවුන්' (Lockdown) නැමැති නවකතාව ට පසුබිම් වන්නේ අද කොවිඩ් වසංගතය නිසා ඇතිව තිබෙන තත්ත්වයට සමාන තත්ත්වයකි. එම නවකතාවට අනුව මෙයට සමාන වසංගතයක් ලෝක පරිමාණයෙන් පැතිරෙන්නට පටන් ගන්නා අතර එහි කේන්‍ද්‍රස්ථානය බවට පත්වන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයයි. වෛරසය නිසා විශාල පිරිසක් මිය යනු ඇති බවට ද අනාවැකි පලවෙයි. මෙම තත්ත්වය තුළ ලන්ඩනය මුළුමනින් වසා දැමීමට බලධාරීහු පියවර ගනිති. 'ලොක්ඩවුන්' නවකතාවෙන් නිරූපනය වන්නේ මේ ආකාරයෙන් වසා දැමුණු නගරය තුළ සිදුවන කුතුහලය දනවන සිදුවීම් දාමයකි. වසර 15 කට පෙර ලියැවුණු මෙම නවකතාව හා බැඳුණු අපූරු කාරණාවක් වන්නේ එම අවස්ථාවෙහි එරට ග්‍රන්ථ ප්‍රකාශකයන් මෙම නවකතාව ප්‍රකාශයට පත් කිරීමට අකැමැති වීමයි. ඔවුන් පවසා තිබුණේ මෙය කිසිසේත් සිදුවිය නොහැකි, අතාත්වික සහ 'අසාධාරණ' කතාවක් බවයි. කෙසේ නමුත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබේ. කොවිඩ්-19 වසංගතයේ පැතිරීමත් සමග නවකතාවෙන් නිරූපනය වූ බොහෝ දේ යථාර්ථයක් බවට පත්වීමට පටන් ගනිද්දී දශක එකහමාරකට පසු Lockdown නවකතාව ප්‍රකාශයට පත් කිරීමට බ්‍රිතාන්‍යයේ ප්‍රකාශකයකු පියවර ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 02 වැනි දින එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. නවකතාව පිළිබඳව පසුගිය දා පීටර් මේ ට නැවත මතක් වී ඇත්තේ ඔහුගේ රසිකයකු විසින් එවන ලද ට්විටර් පණිවිඩයක් නිසාය. එම රසිකයා ඔහුට පවසා ඇත්තේ කොවිඞ් වසංගතය පසුබිම් කරගෙන යමක් ලියන ලෙසයි. තමා දැනටමත් එවැනි නවකතාවක් ලියා තිබෙනවා නොවේදැයි පීටර් ට මතක් වී ඇත්තේ එම අවස්ථාවේ ය. ඉන්පසු ඔහු එහි පැරණි අත්පිටපත සොයාගෙන එය ප්‍රකාශකයකු වෙත ඉදිරිපත් කර තිබිණි. අත්පිටපත කියැවූ ප්‍රකාශකයා එය වහාම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බැව් සඳහන් වේ.   සහන් වික්‍රමගේ
 

More News..