brand logo

200 වතාවක් ගුවනින් පැන්න මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නගේ පැනිල්ල දකුණු ආසියානු වාර්තාවක්

18 January 2020

පැරෂුට් පැනිල්ලේ බොහෝ ඉසව් ඇති මුත් එවැනි ඉසව්වලට හමුදා නිලධාරීන් යොමු වන්නේ සිය තරුණ අවදියේය. ඒ අඩි දහස් ගණනක් ඉහළ අහසින් බිමට පැනීම ලෙහෙසි පහසු වැඩක් නොවන බවය. බොහෝ අවස්ථාවල දී තරුණ නිලධාරීන් පනින ස්කයි ඩයිවින් නමැති පිම්ම දෙසීය වැනි වතාවටත් මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න පැන්නේ එවැනි හපන්කමක් කළ දකුණු ආසියාවේ මුල්ම ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා බවට වාර්තාවක්ද තබමිනි. මේ වන විට සිය දිවි ගමනේ පනස් හතරවැනි සැතපුම් කණුව පසුකරමින් සිටින ඔහු තරු දෙකේ ජෙනරාල්වරයකු හෙවත් මේජර් ජෙනරාල්වරයෙකි. මතුනොව යුද හමුදාවේ තෙවැනියා නොහොත් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියාය. එවැනි නිලයක් දරන නිලධාරින් ලෝකයේ පැරෂුට් පිමි පනින අවස්ථා ඉතා විරලය. මේ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නගේ වාර්තාගත පැරෂුට් පිම්ම ගැන ලියැවුණු ලිපියකි. මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න. ඒ නම අපට කලකට ඉහතදී අසන්නට ලැබුණේ උතුරේ යුද පෙරමුණෙනි. එකල ඔහු නිලයෙන් කර්නල්වරයෙකි. සිව්වැනි ඊළාම් සටන ඇවිලෙද්දී යුද හමුදා මූලස්ථානය, පාබළ සෙබළුන්ට යෑමට නොහැකි එල්ටීටීඊයේ මර්මස්ථාන අල්ලා ගැනීමට විශේෂ බළකාය කැඳවීය. එම සෙබළු දින, සති ගණනාවක් පුරා එල්ටීටීඊ පාලන ප්‍රදේශවලට හොරෙන් රිංගා දින ගණනක් පුරා රැක සිට සිය ඉලක්කය ගැනීමට තරම් විශිෂ්ටයෝ පිරිසක් වූහ. එහෙත් එකල විශේෂ බළකායට අණ දුන් බළසේනාධිපතිවරයාගේ නම හෝ ඔහුගේ තොරතුරු කවදාවත් කරළියට ආවේ නැත. ඔහු එකල කර්නල්වරයකු වූ නිර්මාල් ධර්මරත්නය. විශේෂ බළකාය යනුවෙන් කීවාට ඔහුගේ මව් රෙජිමේන්තුව වන්නේ ගජබා රෙජිමේන්තුවය. මහනුවර ධර්මරාජ විදුහලෙන් අධ්‍යාපනය ලද නිර්මාල් ධර්මරත්න යුද හමුදාවට එකතු වන්නේ එක්දහස් නවසිය අසූපහේ ජනවාරි දහඅට වැනිදාය. සිය හමුදා දිවියේ තිස්පස් වැනි සැතපුම් කණුව පසුකරමින් සිටි ඔහුට පොතේ හැටියට ඉසිඹු ලබන්නට තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. වයස අවුරුදු පනස් හතරක් වුවත් තනතුරෙන් යුද හමුදාවේ තෙවැනියා වුවත්, නිලයෙන් තරු දෙකේ ජෙනරාල්වරයකු වුවත් ඔහු තවමත් තරුණ කාලයේ සේ පැරෂුටයට පෙම් කරන්නේය. ඒ නිසා ඔහු පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාව බලා ගුවන් යානාවට නැග්ගේ සිය දිවියේ නොමැකෙන මතක සටහන් රැගෙන යළි මව් බිමට එන්නටය. ඔහු ඔස්ට්‍රේලියාවට යන විට මෙල්බන් නුවර අහස එදින මහා දුම් වලාවකින් වැසී තිබුණේය. ඒ, මේ දිනවල ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් අහසේ ඉකුත් 7 දා ගුවන් යානයක් ඉහළට නැග්ගේය. එහි සිටියේ මේජර් ​ජෙනරාල් නිර්මාල් ධර්මරත්නය. ඒ සිය 200 වැනි ස්කයි ඩයිවින් පිම්ම පැනීමටය. මේජර් ජෙනරාල් ධර්මරත්න මුලින්ම පැරෂුටය අතට ගත්තේ මීට වසර විසි නමයකට පෙරය. ඒ පාකිස්තානයේ කමාන්ඩෝ පුහුණු පාසලේදීය. ඒ එහි ගිය පුහුණුවීමකදීය. ‘‘මම එහි ට්‍රේනින් එක ගිය වෙලාවේ එහි එක් කොටසක් තමයි පැරිෂුට් කොටස. එවර එම කොටසේ පළමුවැනියා වුණේ මම. එහි ට්‍රේනින් ඇවිත් හිටියා දෙසිය දහ දෙනා අතරින් තමයි මම පළමුවැනියා වුණේ. පැරිෂුට් කොටසේ පළමුවැනියා වුණ හින්දා මට ස්කයි ඩයිවින් කෝස් එකක් කරන්න ලැබුණා. එතැනදී මට අපූරු වැඩක් වුණා. කෝස් එක අවසානයේ පැරිෂුට් නිලධාරියකු වීමට තිබෙන විභාගයේදී මට පළමු පිමි තුනම නිසියාකාරව පැන ගන්න බැරි වූවා. ඔවුන් මට කිව්වා මේ අවස්ථාව මගහැරුණොත් ඇඳුම් ටිකත් අරගෙන ගෙදර යන්න කියලා. දුන්න අන්තිම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන නිසියාකාරව එම පිම්ම පැන්නා. ඒ අඩි අටදහසක ඉහළ අහසේ සිටය. ඔහු සිය පනස්වැනි ස්කයි ඩයිවින් පිම්ම පනින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේදීය. සියවැනි පිම්ම පනින්නේ බ්‍රිතාන්‍යයේදීය. එකසිය පනස්වැනි ස්කයි ඩයිවින් පිම්ම පැනීමට ඔහු තෝරා ගත්තේ ඩුබායි නගරයයි. මේ නිසා ඔහු සිය 200 වැනි ස්කයි ඩයිවින් පිම්ම පැනීමට ඔස්ට්‍රේලියාව තෝරා ගත්තේය. එහෙත් දුම්වලා හේතුවෙන් තුන් වරක් ඔහුට සිය උත්සාහය අතහැර දැමීමට සිද්ධ විය. සිව්වැනි වර ඔහු සිය 200 වැනි පිම්ම පනින්නට තෝරාගත්තේ ජනවාරි හත්වැනිදාය. ගුවන් යානය මේ වන විට පියාසර කරමින් සිටියේ පොළොවේ සිට අඩි දාහතර දහස් පන්සියයක (14,500) ගුවනේය. එම පිම්ම ඔහුට අභියෝග කීපයකි. ලංකාවේදී ඔවුන් ස්කයි ඩයිවින් පිම්ම පනින්නේ අඩි දසදහසක පමණ ගුවනේ සිටය. මෙදින ඔහුට ලැබී ඇත්තේ අඩි දාහතර දහස් පන්සියයක අභියෝගයය. පැනීමට සිදුව ඇත්තේ වෙනදා භාවිත කරනු ලබන පැරෂුටයටත් වඩා කුඩා පැරෂුටයකි. ‘‘ලංකාවේ නම් අපි පනින්නේ අඩි දහදාහක පමණ ගුවනේ සිටයි. මොකද ලංකාවේ උඩට යන්න යන්න ඔක්සිජන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔස්ට්‍රේලියාවේ අඩි පහළොස් දහසක් දහසය දහසක් වාගේ වෙනකම් එවැනි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා තමයි අඩි දාහතර දහස් පන්සියක සිට මට පනින්න හැකි වුණේ.’’ ඔහු කීවේය. එදින මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නට ලැබුණේ රතු පැහැති පැරෂුටයකි. ඔහු පැරෂුටයෙන් පැන අඩි එකොළොස් දහසක් වනතුරු පහළට ආවේ පැරෂුටය විවෘත නොකරය. බිමට එද්දී ඔහු ගුවනේ පිනුම් ගැසුවේය. මුහුදේ පීනනවාක් මෙන් ගුවනේ ඒ මේ අත ගියේය. එම ක්‍රීඩාව ස්කයි ඩයිවින් යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය. මේ මේජර් ජෙනරාල් ගුවනේ පිනුම් ගහන අතරේ ඔහු හැම තත්ත්පරයකට වරක් අඩි 200 ක් බිමට ඇදී එන්නේය. මෙසේ ඔහු අඩි එකොළොස් දහසක් වනතුරා නිදහසේ බිමට ආවේය. ඊළඟට තිබුණේ ඔහුට පැරෂුටය විවෘත කර ගැනීමටය. පොළොවට අඩි තුන්දහස් පන්සියයක් තිබියදී ඔහු පැරෂුටය විවෘත කළේ ය. ඉන්පසු සෑම තත්පරයකටම අඩි 20 ක් බැගින් ඔහු පහළට ආවේය. අන්තිමේදී ඔහු පැරෂුටය ආම්බාන් කර ගනිමින් පොළොවට පතිත වූවේ මහා හපන්කමක් කරමිනි. ඒ ස්කයි ඩයිවින් පැරෂුට් පිමි 200 ක් පිනූ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා බවට පත්වෙමිනි. මේජර් ජෙනරාල්වරයාගේ මේ පිම්ම වාර්තාවක් වුවත් ඔහුට ඒ ගැන වගක් නැත. ඒ ඔහුට පැරෂුටයකින් පැනීම අප පුටුවකින් බිමට පනිනවාටත් වඩා පහසු වැඩක් බැවිනි. යුද බිමේ පමණක් නොව ගුවනේද මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න නමක් තැබූ විරුවෙකි. ලංකාවේ පළමුවරට බේස් ජම්ප් කණ්ඩායමක්ද නිර්මාණය කළේ ඔහුගේ මූලිකත්වයෙනි. බේස් ජම්ප් යනු ගොඩනැගිල්ලක හෝ කුලුනක සිට පැරෂුටයක් ආධාරයෙන් බිමට පැනීමය. ඒ පිම්ම රටුන් මුලින්ම දුටුවේ ගිය නිදහස් උළෙල දින ගුවනේ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට ෂැන්ග්‍රිලා හෝටල් පියැස්සේ සිට බිමට බට සෙබළුන්ගෙනි. ‘‘අපි මේ සඳහා තිදෙනෙක් පුහුණු කළා. අවසනාවන්ත ලෙස මින් එක් අයෙක් පසුගිය වසරේ පිම්මකදී අනතුරකට පත්ව මියගියා. බේස් ජම්ප් පැනීමට ඉතාමත් හොඳ පුහුණුවීමක් අවශ්‍ය වෙනවා. දැනට මේ සඳහා පුහුණු වූ දෙදෙනෙක් අපට සිටිනවා.’’ඔහු කියන්නේය. මෙවැනි හපන්කම් කළ ඔහුට ජර්මනියේ යුද්ධ හමුදාව විසින් ලබා දෙනු ලබන ගෞරවනීය පැරෂුට් පලඳනාව පිරිනමා තිබේ. එසේම එක්සත් ජනපද පැරෂුට් සංගමයේ සාමාජිකත්වය ද ඔහු ලබාගෙන ඇත. ‘‘මෙල්බන්වලදී මට මේ සාමාජිකත්වය ඉතාම වැදගත් වූවා. ඔවුන් මේ සාමාජිකත්වයට ගොඩක් සැලකුවා. මම ඉදිරියේත් විවිධ අවස්ථාවල පැරෂුට් පිමි පැනීමට බලාපොරොත්තු වෙනවා.’’ ඔහු කියන්නේය. ස්කයි ඩයිවින් පිමි 200 කුත් අනෙකුත් පිමි සිය ගණනාවකුත් පැන අත්දැකීම් ඇති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පැරෂුට් භටයාය. වයස අවුරුදු පනස්පහ පිරීම හේතුවෙන් හමුදා දිවියෙන් ඉසිඹු ලබන්නට තව මාස තුනක් තිබුණද ඔහුගේ කල්පනාව තව කිහිප වතාවක්ම පැරෂුටයෙන් පැනීමටය. එසේ පනින පිමි අතරින් ඔහුගේ මතකයේ ඇති පිම්ම පැන්නේ අම්පාරේදීය. ‘‘අපි එදා පැරෂුට් නවයක් එක උඩ එක සිටින ලෙස අහසේ ඉනිමගක් වගේ හැදුවා. ඒක කරන්න අපහසුම කාර්යයක්. එයට විශාල පුහුණුවක් ලැබීමට සිදු වෙනවා. අපි හැමෝම එම්. අයි. 17 වර්ගයේ ගුවන් යානයක නැගලා අම්පාරේ ඉහළ අහසට ගිහිල්ලා එදා ඒ හපන්කම් කළේ. මම හිටියේ තුන්වෙනියාට. මෙය බොහෝම අවදානම් වාගේම අමාරු සන්දර්ශනමය අවස්ථාවක්. මේක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. 2017 වසරේ නිදහස් දිනය දා ජාතික කොඩිය සමග ගුවනේ සිට ජනාධිපතිවරයා අසලට පැන්න පැරෂුට් භටයාද වූයේ ඔහුය. නිලයෙන් මේජර් ජෙනරාල්වරයකු වුවත් ඔහුට පැරෂුට් ඉගැන්වීමට බොහෝ මහන්සි වූයේ මේජර්වරයෙකි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් සිරන්ජීවය. මම ඔහුව මතක් කරන්න ඕන. ඔහු මට හොඳ ගුරුවරයෙක් වුණා. මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න කියන්නේය. ශිරෝමි රත්නායක
 

More News..